වෙළඳපොළ අභියෝග ජයගත හැකි වෘත්තීය පුහුණුව නොමිලේ ලබා දෙනවා | Page 2 | සිළුමිණ

වෙළඳපොළ අභියෝග ජයගත හැකි වෘත්තීය පුහුණුව නොමිලේ ලබා දෙනවා

 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානය ලබන 19 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්වේ. එය නිමිති කරගෙන එහි සභාපති ඉංජිනේරු ආචාර්ය ලයනල් පිංතු මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින්මෙම ලිපිය සකස් කෙරිණි.

වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ වූයේ කුමන වසරේද?

වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ වුයේ 1995 වසරේදී. ඒ කියන්නේ 1995 අගෝස්තු මස 16 දින අංක 12 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කළා. ඒ කියන්නේ වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කරලා දැනට වසර 22ක් වෙනවා.

ඩිප්ලෝමා ප්‍රදානයට වසර කීයක පුහුණුලාභීන් ඇතුළත් වෙනවද?

වසර තුනක සිසු කණ්ඩායම් තුනකට ඩිප්ලෝමා ප්‍රදානය කරනවා. එනම් 2014,2015,2016 යන වර්ෂ තමයි මේ සඳහා තෝරාගෙන තියෙන්නේ. අපි ඩිප්ලෝමා ප්‍රදානය වාර්ෂිකව කළේ නැහැ. එහෙත් අපි ඉදිරියේදී මේ කාර්තව්‍යය වාර්ෂිකව කිරීමට බලාපොරොත්තු වෙනවා. සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 470ක්. ඒත් මේ උලෙළට සහභාගි වන්නේ 440ක් පමණයි. විශ්වවිද්‍යාලයට යාමට ලකුණු ප්‍රමාණයක් මදි වුණත්, උපාධියක් ලබාගැනීමට කැමැත්තක් දක්වන සිසුන්, තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, ප්‍රමාණ සමීක්ෂා, විලේපනවේදය යන අංශවල ඩිප්ලෝමා ලැබීමට නියමිතයි.

වෘත්තීය පුහුණු අධිකාරියෙන් මේ පුහුණුලාභීන්ට සාධාරණත්වයක් ඉටුවෙනද?

ඔව්. ඒ සඳහා NVO ලෙවල් අනුව සාධාරණයක් ඉටු වෙනවා. උපාධි ලබාගැනීමේ අවශ්‍යතාව මෙන්ම ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවටත් සාධාරණයක් ඉටු වෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට නම් ශක්තිමත් ශ්‍රම වෙළෙඳපොළක් තිබියයුතුයි. මේ අපේක්ෂාව සාක්ෂාක් කරගැනීම තමයි අපේ බලාපොරොත්තුව.

පාසල් මට්ටමින් වෘත්තිකයන් කැඳවීමක් කරනවාද?

ඔව්. අපි අපේ වෘත්තීය මාර්ග උපදේශක මඟින් පාසල් මට්ටමින් සිසු සිසුවියන් දැනුවත් කරනවා. එහිදී වෘත්තීය පුහුණුවක් ලැබීමෙන් ඇති වන වාසි සහගත තත්ත්වය අපි පැහැදිලි කරනවා. වෘත්තියක් අරබයා දරුවෙක් සූදානම් කිරීම එතරම් පහසු නැහැ. ඒ සඳහා මනා කැපවීමක් තිබිය යුතුයි. වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් රජයේ භාණ්ඩාගාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා.

පාසල්වලින් නික්මෙන දරුවන් අතර ජනප්‍රිය පාඨමාලාව කුමක්ද?

ඇත්තටම අයි. සී.ටී. පාඨමාලාව ජනප්‍රියයි. මේ වන විට දරුවන් 5000ක් පමණ මෙහි පුහුණුව ලබමින් සිටිනවා. වැඩ ලෝකය වෙනුවෙන් දරුවන් විශේෂඥයන් කිරීම මෙයි අපේක්ෂාවයි. අනිත් විශේෂත්වය තමයි මේ පාඨමාලා සියල්ල නොමිලේ හැදෑරීමට දැන් අවකාශය ලබාදී තිබීම.

මේ වන විට වෘත්තිකයන් කොපමණ ප්‍රමාණයක් ශ්‍රම වෙළෙඳ පොළ සඳහා මුදා හැර තිබෙනවාද?

මේ වන විට වෘත්තිකයන් හාරලක්ෂයකට ආසන්න පිරිසක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ කරා මුදා හැර තිබෙනවා. වෘත්තිකයන් කියන්නේ ලංකාවට විදේශීය විනිමය ගලාගෙන එන එක මාර්ගයක්. මේ වෘත්තිකයන්ට වෘත්තීයමය වශයෙන් පිළිගැනීමකුයි අවශ්‍ය වන්නේ.

ආර්ථික ගෝලීකරණය තුළ වැඩ ලෝකයේ විවිධ අභියෝග තියෙනවා. මේ අභියෝග ජය ගැනීම උදෙසා ඔබ ආයාතනය වෘත්තිකයන් බිහි කරනවාද?

ඇත්තටම රැකියා සම්බන්ධයෙන් සමාජයේ තියෙන්නේ විවිධ ආකල්ප. හැම කෙනෙකුට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වීමට හැකියාවක් නැහැ. ඒ පුද්ගල දක්ෂතා අනුව ඔවුන් තෝරා ගනු ලබන වෘත්තීන් ඉදිරියට යන්න අවකාශයක් තියෙන්න අවශ්‍යයි. සමාජ ආකල්ප මේ සඳහා හරස් වෙන අවස්ථා තියෙනවා. එවැනි බාධ නැති කිරීම උදෙසා තමයි අපි මේ වෘත්තීය සුදුසුකම සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කරන්නේ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තේමා පාඨය ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක් යන්නයි. මේ අනුව සෑම පුද්ගලයකුගේම හැකියාවක්ම ජීවිතයට බද්ධ වූවක් ලෙස සලකා එය විශේෂඥ දැනුමක් බවට පත් කිරීම ඔබ ආයතනයේ මෙහෙවරයි. ඒ වගකීම ඔබ ආයතනය ඉටු කරන්නෙ කොහොමද?

අද වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා සිදු කරන්නේ නොමිලේ. මේ නිසා ඕනෑම තරාතිරමකම පුද්ගලයකු වෘත්තිය පාඨමාලාවක් හැදෑරිමට අවකාශ තියෙනවා.

ඔබ ආයතනය මඟින් ක්‍රියාත්මක වෙන රාජ්‍ය-පුද්ගලික සහයෝගිතාව කියන්නේ කුමක්ද?

අපි මේ මඟින් කරනු ලබන්නේ රාජ්‍ය-පුද්ගලික අංශ සතු නවීන තාක්ෂණික දැනුම හා කළමනාකරණ උපායමාර්ග හුවමාරු කර ගනිමින් පුහුණු ලාභීන්ගේ දැනුම හා කුසලතා යාවත්කාලීන කිරීමයි. මෙයිනුත් අපි අදහස් කරන්නේ අද වෙළෙඳ පොළට ගැළපෙන ආකාරයට රැකියා උත්පාදනය කිරීමයි.

සේයා රූ රුවන් ද සිල්වා
රූපාන්ති බුලත්සිංහල

Comments