විසල් ජල ව්‍යාපෘති 6කින් පවුල් ලක්ෂ 15කට ජලය | Page 3 | සිළුමිණ

විසල් ජල ව්‍යාපෘති 6කින් පවුල් ලක්ෂ 15කට ජලය

 පසුගිය වසර 2 1/2 ඇතුළත මෙරට ඇතුළත මහා පරිමාණයේ විසල් පානීය ජල යෝජනා ක්‍රම හයක් රුපියල් කෝටි 10521ක වියදමින් ඉදිකළ බවත් ඉන් පවුල් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයකට නව ජල සම්බන්ධතා ලබා දී ඇති බවත් ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි. සෙත සැලැසුණු පිරිස ලක්ෂ 50කට අධිකය. ඒ අනුව මහනුවර, මාතලේ, දඹුල්ල, මාතර, බදුල්ල, පස්සර යන ප්‍රදේශවල මේ විසල් ජල ව්‍යාපෘති ක්‍රියාත්මකය.

මේ ජල යෝජනා ක්‍රමවල සමහර ඒවා ජනතා අයිතියට පත්කර ඇති අතර සමහර ඒවායේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. මේ අනුව විසල් මහනුවර උතුර නව ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 470000කට අලුතින් ජලය ලැබෙන අතර මාතලේ විසල් ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 394317කට ජලය ලැබීමට නියමිතය.

මහනුවර උතුර පානීය ජල ව්‍යාපෘතියේ වියදම දසලක්ෂ 33400ක් වන අතර මාතලේ ජල ව්‍යාපෘතියට වියදම් වූ මුදල රුපියල් දසලක්ෂ 26834 කි. මීට අමතරව බදුල්ල විසල් ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් දසලක්ෂ 11880ක් වියදම් කර පවුල් ලක්ෂයකට ජලය ලබා දී ඇත. විසල් දඹුල්ල ජල ව්‍යාපෘතියෙන් පවුල් 120000කට ජලය ලැබී ඇත. එහි වියදම රුපියල් දසලක්ෂ 26834 කි. විසල් මහනුවර ජල ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම රුපියල් දසලක්ෂ 4200ක් වන අතර ඉන් පවුල් 249500කට සෙත සැලැසේ. මාතර ජල ව්‍යාපෘතිය මඟින් පවුල් 90000කට ජලය ලැබෙන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් දසලක්ෂ 18200 කි. 

Comments