පාරේ දේශපාලනය හා වර්තමාන භික්ෂු සමාජය | Page 2 | සිළුමිණ

පාරේ දේශපාලනය හා වර්තමාන භික්ෂු සමාජය

 ගෙවුණ සතියේ මල්වතු මහ නා හාමියන්ට කළ නිග්‍රහ ගැන අසන්නට ලැබිණ. ඒ අතර භික්ෂුව නිග්‍රහයට ලක්කර බෞද්ධ සමාජය නිහඬ කිරීමක් ගැනද කරුණු සාකච්ඡා විය. බෞද්ධ භික්ෂූන් වහන්සේ කිසිවෙකුගේ නිග්‍රහයට ලක් විය යුතු නැත යන්න අවිවාදිත ය. බෞද්ධ භික්ෂුව යනු ලංකාවේ අනන්‍යතාව දේශීය සංස්කෘතික ලකුණ බවට කිසිදු සැකයක් නැත. පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීතියටත් වඩා සංස්කෘතිය බලවත් බව කීවේ ලාංකේය භික්ෂු උරුමයත් සංස්කෘතික හැඩයත් ගැන ගැඹුරු අවබෝධයෙනි. නීතියටත් ඉහළින් සංස්කෘතිය පවති යයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙහි අරමුණ වල්බූරු නිදහසක් සහතික කිරීම විය නොහැකිය. ලාංකේය සංස්කෘතිය යනු රටේ සදාචාරය සමාජ පැවැත්ම නීතිය සුරක්ෂිත කිරීමය. එකී ප්‍රකාශයේ දේශීය සංස්කෘතික දේහයේ පැවැත්මට තමන් ලබාදිය යුතු දායකත්වය මහා සංඝයා වහන්සේ තේරුම් ගත යුතුවේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සමාජ දායකත්වයේ ප්‍රමාණය සහ ස්වරූපය නිතර ප්‍රශ්න කෙරෙයි. රාවනාකන්දේ ඉඳුරාගාරේ හාමුදුරුවරුන් මල්වතු මහ නාහිමියන් ගැන කළ ප්‍රකාශ පිළිවෙත් සරු මහ සඟ රුවනට කළ ගැරහීමකි. මල්වතු මහ නා හිමියන් පිළිබඳ කළ එකී ප්‍රකාශ ගැන අස්ගිරි මහා විහාරය තවම නිහඬය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස කිරීමක් ගැන අස්ගිරි මහා විහාරය දැක්වූ ප්‍රතික්‍රියා මෙහිදී සිහිපත් කළ යුතුවේ. එකී අස්ගිරි ප්‍රකාශය අනුව, හැසිරීම ක්‍රියාව කුමක් වුවද ගිහි ජනතාව බෞද්ධ භික්ෂූන්ට අවමන් වන කතා නොකළ යුතුය යන්න දැඩි සේ අවධාරණය කර තිබිණ. එය කියවූ සමහරු එකී අස්ගිරි නිවේදනය අනුව අගමැති බණ්ඩාරනායක ඝාතනය කළ බුද්ධරක්ඛිත සෝමාරාම දෙදෙනා ගැන දැක්විය යුතු ශාසන ගෞරවය අනුව අස්ගිරි අර්ථ කථනය විමසා සිටියහ. එකී විමසීම් දෙපිට කැපෙන ආයුද වැනිය.

‍එසේ හෙයින් භික්ෂුත්වයට නිගා දුන් බුද්ධරක්ඛිතලා සෝමාරාමලා පසෙකට දමා අස්ගිරි ප්‍රකාශය විග්‍රහ කිරීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ම උදාහරණයට ගැනීම කාලෝචිතය. දැනටමත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් විභාග වේ. වරක් මත්පැන් බී රියදුරු බලපත්‍ර රහිතව රිය පදවා අනර්ථයක් කිරීම ගැන ගලගොඩඅත්තේ හාමුදුරුවෝ අධිකරණයෙන් දඬුවම් ලැබූහ. පෙර වැරදි ඇතද, ගලගොඩඅත්තේ ඥානසාරහිමියන්ට කෙරෙන නිගරුව සංඝ සමාජයට කෙරෙන නින්දාවක් බවට අස්ගිරි සංඝ සභාව විශ්වාස කරති. එසේම ලලිත් වීරතුංග අනුෂ පැල්පිට නඩු තීන්දුවේ දඩ ගෙවීම පිණිස පිණ්ඩපාතයෙහි වැඩීම මේ වන විට විනය විරෝධි ක්‍රියාවක් බව මත්පැන් බී රියදුරු බලපත්‍ර රහිතව රිය පදවා අනර්ථයක් කිරීම ගැන අධිකරණයෙන් දඬුවම් ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවා ප්‍රකාශ කළහ. එහෙත් එකී පිණ්ඩපාත සිද්ධිය ගැන අස්ගිරිය තවමත් නිහඬය. අභයාරාමය සුනේත්‍රාදේවි පිරිවෙන මුල්වූ පිණ්ඩපාත අභ්‍යාසය රටේ නීතිය අධිකරණය සමච්චලයට ලක් කිරීමකි. නීතිය අධිකරණය සමච්චල් කිරීමෙන් සම්මත සමාජ සුරක්ෂණය ජනතාවට අහිමිවේ. සිල් රෙදි සඳහා මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගැනීමද මුල්‍ය අපරාධයකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය මෙහිදී භික්ෂූන් වහන්සේට ‍ෙදන පණිවිඩය වැදගත් වේ.

ශ්‍රමණ සාරුප්‍යට නොගැළපෙන හැසිරීම් ඇති භික්ෂූන්ට චීවරධාරීන් කීම වරදක් නම් අධිකරණ තීන්දුවක් උපහාසයට ලක් කරමින් පිණ්ඩපාතේ වැඩීම ගැන කෙරෙන විග්‍රහය කුමක්ද? රෝහින්ග්‍යා සරණාගතයන්ට පහර දීමේ ක්‍රියාවලියෙහි පෙරමුණ ගත්තේ ර‍ෙට් ප්‍රකට භික්ෂූන් වහන්සේලා කිහිප නමකි. එකී පහරදීම දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියද උල්ලංඝනය කිරීමකි. සරණාගතයන් වූ පටාචාර හෝ සෝපාක අදහන ආගම ගෞතම බුදුන් වහන්සේ විමසූ බවක් බෞද්ධ සාහිත්‍යයෙහි නො දැක්වේ. එහෙත් රොහින්ග්‍යා සරණාගතයන් මුස්ලිම් නිසා පහර දුන් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ප්‍රකාශ කළහ. ගල්කිස්සේ සිද්ධ වුණේ අර්හත් චීවරය හා භික්ෂුකම කඩු කස්තාන ලෙස පාවිච්චි කිරීමකි.

කිහිප දෙනෙකු කරන වැරදි වලට සමස්ත සංඝ සමාජයම නිග්‍රහයට ලක් විය යුතුදැයි සමහරු ප්‍රශ්න කරති. මෙහිදී මකුණාගේ උපහැරනය වලංගු නොවේ. වර්තමාන සමාජයේ කිසිවෙකු කෙලෙස් නසා නැති හෙයින් භික්ෂූන් අතින් පවා වැරදි සිදුවිය හැකිය. ඒ හේතුවෙන් කිහිප දෙනෙකුගේ තක්කඩි හැසිරීම් නිසා සුපේශල ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේ පරිභවයට ලක්විය යුතු නැත. ප්‍රශ්නය මතු වන්නේ මෙතනදීය. සංඝ සමාජයට වින කටින මේ කිහිප දෙනා කවුද? ඔවුන් දමනය කිරීමට අවශ්‍ය පියවර නො ගන්නේ ඇයි? නිදන් හෑරීම, දරුවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, මිනිසුන්ට වංචා කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවන්ට හසුවූ භික්ෂූන් කිහිප දෙනෙකු මේ වනවිට නීතියට කොටුවී ඇත. එකී සිද්ධි අතර, ජනතාව පුද පූජා කළ පුරාණ බෝධියක් කපා විකුණු භික්ෂුවක් ගැන ද වාර්තා වේ. ඊට සමගාමිව, පන්නිපිටියේ මාර්ග සංවර්ධනයට අදාළව කපා ඉවත් කළ යුතු බෝ ගසකට සිවුරු පොරවා විරෝධතා දැක්වීමක්ද සිහි කළ යුතුවේ. ඉහතින් කී පරිදි දැව සඳහා බෝ ගසක් කපා විකිණීම සහ මහ පාර අවහිර කළ බෝ ගසකට සිවුරු පෙරවීම යන දෙකම එකම විදියේ අදාන්ත හැසිරීම් වෙති. බෝධීන් වහන්සේ කපා විකුණූ චීවරධාරියා පිළිබඳ ශාසනික පියවරක් නොගන්නා තෙක් පන්නිපිටියේ බෝ ගසකට සිවුරු පෙරවීමේ රටේ ප්‍රගමනයට එරෙහිව සිවුර පාවිච්චි කිරීමකි. මේ අවස්ථාවේ මහ නා හිමිවරු සහ සංඝ සභා කළ යුත්තේ වැරදිකරුවන් රැකීම නොවේ. චීවරයේ ගෞරවය ආරක්ෂා කිරීමය.

මල්වතු පාර්ශ්වය

මෙහිදී ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ට පැවරෙන ශාසනික වගකීම අප්‍රමාණය, භික්ෂූන්ට අපහාස කළා කියා ගිහියන්ට දෝෂාරෝපණය කිරීමෙන් සසුන පිරිසුදු කළ නොහැකිය. සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වයට අයත් ගලගොඩඅත්තේ හාමුදුරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ අස්ගිරි පාර්ශ්වය නොවේ. මෙයට පෙර අයහපත් පැවැත්ම නිසා මල්වතු පාර්ශ්වයෙන් උපසම්පදාව දීම ප්‍රතික්ෂේප කළ අදාන්ත භික්ෂුවකට අස්ගිරි විහාරය නායක තනතුරක් ප්‍රදානය කළේය. පසුව ඒ භික්ෂුව අපරාධ වරද රැසකට මැදිව සිටිති. මෙය බෙහෙවින් ඛේදජනක තත්වයකි. මේ අභ්‍යාසය පමණක් ගත් කල මල්වතු පාර්ශ්වය මේ සමාජ අර්බුදයේදී ශාසනික කාර්ය භාරයක් ඉටු කරන බව‍ පෙනේ.

ලාංකේය සමාජය කිසි විටෙක නිකරුණේ බෞද්ධ භික්ෂූන් ගරහා නැත. අනවසර ඉදිකිරීම් චෝදනා මත අධිකරණයට පැමිණි මල්ලාකම් විහාර වාසි භික්ෂූන් වහන්සේලාට චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේදී ලැබුණ තීන්දුව මෙන්ම හින්දු භක්තික චාවකච්චේරි විනිසුරුතුමිය සැලකූ ආකාරය බෞද්ධ භික්ෂූන් වහන්සේ මැනවින් හදාරා නැති බව පෙනේ. උතුරේ බුදු පිළිම විනාශ කරති. සමහර බෞද්ධ භික්ෂූණ් වහන්සේලා නගන චෝදනාව මල්ලාකම් සිද්ධිය සමඟ තක්සේරු කළ යුතුව තිබේ. ඉහත දැක්වෙන කරුණු සහ සිද්ධි පිළිබඳ කිසිවෙකු පොදුවේ සංඝ සමාජයට නින්දා අපහාස කර නැත. එකී සිද්ධීන් බෞද්ධයෝ නෑසූ කනින් ඉවසති. හේතුව ශාසන ගතව සිටින දාන්තයන් චබ්බග්ගි භික්ෂූන් ‍තෙයිය සංවාසිකයන් බුදුන් සමයේද සිටීමත් ඔවුන් හඳුනාගත හැකි නිර්නායක බුද්ධ දේශනාවේ අන්තර්ගතව පැවතීමත් නිසාය.

එහෙත් රටේ බෙදුණ දේශපාලනයක එක් පිලක් වෙනුවෙන් භික්ෂූන් වහන්සේ ශ්‍රමණ සාරුප්‍ය අමතක කර සිදු කරන මැදිහත්වීම් නො තකා හැරිය නොහැකිය. මහනුවර ඒ 26 පාර දිගු කලක් ආරක්ෂක හේතු මත වසා තිබිණ. ඒ ගැන නිරංජන් විජයරත්න දියවඩන නිලමේව සිටි යුගයේ පවා බරපතළ සමාජ විවේචන මතු විය. සිවිල් යුද්ධය අතරද මේ අත්‍යාවශ්‍ය ප්‍රධාන මාර්ගය වසා දැමුණේ තාවකාලිකව පමණකි. 2002 අප්‍රේල් 12 දින මෙම පාර උත්සවාකාරයෙන් විවෘත කෙරිණ. 2009 දෙසැම්බර් මස 22 දින ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගය අනුව පාර විවෘත විය. මෙකී ප්‍රකට අවස්ථා දෙකෙහිදීම කිසිදු ආගමික විරෝධයක් මතු නොවිණ. භික්ෂූණ් හෝ බෞද්ධ සංවිධාන ඊට හරස් වුණේ නැත. එහෙත් 2010 මහින්ද රාජපක්ෂ මහතා හොර රහසේ මධ්‍යම රාත්‍රියක ඒ 26 පාර වසා දැමීය. අද අස්ගිරි භික්ෂූන් පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ කළ ඒ තක්කඩිකම වෙනුවෙනි. මල්වතු මහ නා හිමියෝ අදටත් පාර විවෘත කළ යුතුය යන ස්ථාවරයේ සිටිති. ප්‍රධාන ආයතන දෙකේ දෙපරාදුව අනුව ඒ26 පාර පිළිබඳ තීරණය ගැනීමේදි භික්ෂූන් සාධකයක් ලෙස සැලකිය යුතු නැත.

ඒ 26 පාර විවෘත කළොත් පාරේ නිදා ගන්නා බවට එක් අස්ගිරි මහ නා හිමි නමක් තර්ජනය කළහ. ඒ මහ නාහිමියන් වහන්සේම තව වරෙක දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධ ප්‍රශ්නයකදී පාරේ නිදන බවට තර්ජනය කළහ. ඒ මහ නා හිමියන්ම දියවඩන නිලමේ නිලංග දෑලට එරෙහි අපරාධ පරීක්ෂණ සිදු කිරීමට එරෙහිව ප්‍රසිද්ධ ප්‍රකාශ කළහ. ඉහතින් දල්වා ඇති පරිදි නිදන් හෑරීම, ලිංගික අතවර කිරීම, මුදල් වංචා කිරීම බෝ ගස් කපා විකිණීම පුද්ගල බද්ධ සිදුවීම් ලෙස සලකා ගිහි සමාජය බෞද්ධ භික්ෂූන්ට පොදුවේ චෝදනා නො කරති. ඒවා පුද්ගල විනය තම මහණකම පොරවාගෙන සිටින අර්හත් සිවුරු පිළිබඳ වගවීමක් නොමැතිකම් ප්‍රතිපල බව දන්නා හෙයිනි.

එහෙත් මිනිසුන් යන පාරක් වැසීම උසාවියට පැන කලබල කිරීම, පාරේ නිදා ගැනීම ප්‍රසිද්ධ ස්ථානවල පොලිසියට තර්ජනය කිරීම, අල්ලස් කොමිසම් භූමියේ පිරිත් දේශනා කිරීම උන්හිටි තැන් අහිමි අසරණයන්ට හිංසා කිරීම ආදි ක්‍රියාවන් ශාසනික ක්‍රියාවක් ලෙස සලකා ඊට යම් වටිනාකමක් ලබා දීම භික්ෂු සමාජය රටේ සංස්කෘතිය විනාශ කිරීමකි. එකී හැම ක්‍රියාවක්ම රටේ නීතිය විසින් දඬුවම් පැමිණවිය හැකි වරදක් ලෙස හඳුනාගෙන ඇත. එකී නීති තත්වයේදී ගිහි පැවිදි භේද නො සැලකේ. මෙවැනි හැසිරීම් සමාජ සම්මතයන්ට එරෙහිව භික්ෂුත්වය පාවිච්චි කිරීමකි. සසුන කෙළෙසීමකි. පාර වසා සිටීම තුළ හැම තත්පරයකම රෝගීන් මරණ බියෙන් තැති ගනිති. පුද්ගල ඝාතන ගැන සැක කරන අයවලුන් වෙනුවෙන් සාහසික ලෙස ප්‍රසිද්ධියේ හැසිරීමෙන් කුමක් සිදුවේද? ඝාතනයන්ට ගොදුරුවූවන්ගේ අඹු දරුවන්ගේ පාපයට ලක්වේ. අර්හත් ධජයෙන් සැරසී මාර්ග හරස්කොට පාලකයන්ට සාප කරමින් භික්ෂූන් කරන මැදිහත්වීම් ා නිදන් සොරකමකින්, ලිංගික අපයෝජනයකින් ලබන වාසියට වඩා බරපතළ සමාජ ව්‍යසනයකි. ඔවුන් මේ කරන්නේ යම් දේශපාලනයක් ශක්තිමත් කිරීමය. දේශපාලන අයිතිය භික්ෂූන්ට ඇත. ඔවුන් ඒ සඳහා රටේ නීතියට අභියෝග නොකළ යුතුවේ.

කිහිප දෙනෙකු කරන වැරදි වලට සමස්ත සංඝ සමාජයම නිග්‍රහයට ලක් විය යුතුදැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා හිමියෝ ප්‍රශ්න කරති. (මේ කියන බෞද්ධ භික්ෂූන් කිහිප දෙනා ඉහතින් විස්තර වේ.) පසුගිය මාර්තු දෙවෙනිදා මහනුවර මඟුල් මඩුවේ පැවති රාජ්‍ය උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ හිමියන්ට සිදුවූ අගෞරවය අපහසුව ගැන රජය වෙනුවෙන් ප්‍රකාශයක් ද නිකුත් විය. එදා නිසි ආසන නොපැනවීමෙන් කල් තබා ආපසු හැරී හුරිකඩුවට වැඩීමට සිදුවීමෙන් අතිගරු නාපාන පේමසිරි මහ නා හිමියෝ අපහසුවට ලක් වූහ. එය සිදුවුණේ නිකාය භේදය නිසාද කුල භේදය නිසාද යන්න රටම දනිති. මේ ආරවුල හමුවේ වර්තමාන බෞද්ධ භික්ෂූන් වහන්සේ කළ යුත්තේ ‍ථේරවාද පනත් කෙටුම්පත අනුමත කරවා ශාසනයේ අභිවෘද්ධීය සහතික කරවා ගැනීමය. ලාංකේය බෞද්ධ භික්ෂු සමාජයේ අල්පේච්ඡතාවයට දිය හැකි නිර්මල සහ එකම නිදසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වේ. පෙළගැසෙන බුද්ධරක්ඛිත සෝමාරාම නිකායට බද්ධව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අපකීර්තියට පත් නොවේවායි සැදැහැතියන්ගේ ප්‍රාර්ථනාවයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යනු මිල මුදල් ස්පර්ශ නො කිරීම ආදි බුද්ධ කාලීන පැවතුම් පාදක කරගත් සංඝ සමාජයකි. ස්වකීය ඉතිහාසය පුරාම පුද්ගල හේතු මත නිකාය කෑලි කඩා වෙන් කර නොගෙන ලාංකේය භික්ෂු ශාසනයේ පරමාදර්ශය බව අවිවාදයෙන් පිළිගැනෙති. එකී නිකායික සංඝ සභාව වස් සමයේ භික්ෂූන් මුදල් අපේක්ෂාවෙන් පිඬු සිඟා වැඩීම ගැන, රොහින්ග්‍යා සරණාගතයන්ට පහරදීම ගැන නිහඬව සිටිති. භික්ෂු ගෞරවය ගැන කෙටුම්පත හෝ දැක නැති ව්‍යවස්ථා ගැන පමණක් ප්‍රකාශ නිකුත් කරති. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට නිගරු ලෙස හැඳින්වීමෙන් කෝපවූ අස්ගිරි මහා විහාරය මේ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙමුයි කෝපයෙන් තර්ජනය කළහ. එහෙත් මල්වතු මහ නා හිමියන්ට මතයක් දැරීමට ඇති හිමිකමට බැට දෙමින් කෙරෙන අගෞරවය ගැන අස්ගිරි මහා විහාරය නිහඬව සිටිති.

භික්ෂු සමාජයේ වෙනස

භික්ෂු සමාජය කාලීන වශයෙන් බොහෝ සෙයින් වෙනස්ව ඇත. බුද්ධ කාලයේ පටන් මේ දක්වා සමාලෝචනය කරන්නෙකුට මේ බව දැකිය හැකිය. නච්ච ගීත වාදිත ආදියෙන් දුරුව සිටීම සාම්ප්‍රදායික භික්ෂු සාරුප්‍ය වේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් නාට්‍ය සහ චිත්‍රපට නැරඹීම ගැන සමාජය නිහඬ විය. එහෙත් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට භික්ෂුන් ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් මඟින් වළක්වා ඇත. එකී අධිකරණ මතය ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් අනුදැන වදාළහ. මෙසේ භික්ෂු සමාජයේ සමහර විකෘතින් සම්බන්ධව රටේ අධිකරණ නියෝග පිළිගැනීම යනු බුදුන් වදාළ පරිදි රාජ නීතියට භික්ෂූන් යටත් විය යුතුය යන්න යළි පිළිගැනීමක් බව ගිහි බෞද්ධයන්ගේ නිගමනය වේ. අදාන්ත ලෙස හැසිරෙන කාසාව කන්ටකයන් තෙයිය සංවාසිකයන් සසුනෙන් පළවා හැරීමට අවශ්‍ය කතිකාවත් නීති ගත කිරීමට ත්‍රෛනිකාසික මහා නා හිමිවරු එකඟව සිටියහ. එකී එකඟතාවය නීතියක් බවට පත් කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කළේ නැත. යහපාලන ආණ්ඩුව ඒ සඳහා ථේරවාද පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය. යහ පාලන රජයේ හැම ක්‍රියාවකටම එරෙහි වන මහින්ද රාජපක්ෂ කල්ලිය ථේරවාද පනත් කෙටුම්පතට එරෙහි විය. ඔහු සමඟ සිටින කාසාව කන්ටකයන් තෙයිය සංවාසිකයෝ ථේරවාද පනත් කෙටුම්පතට එරෙහිව පාටර බැස්සාහ. ඒ සමඟ මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ නිකායික මහ නා හිමිවරු එකී කෙටුම්පත තම නිර්දේශයන් බවට ප්‍රකාශ නිකුත් කළහ. ඒ අවස්ථාවේ ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමියන් අස්ගිරි පාර්ශ්වික විහාරාධිපතින් වහන්සේ කැඳවා ථේරවාද පනත් කෙටුම්පතට එරෙහිව යෝජනා සම්මත කළහ. මේ තත්වය හරහා වර්තමාන සංඝ සමාජය බෙදී වෙන්වී සිටීම ගැන බෞද්ධ ජනතාව කම්පා වෙති. මහින්ද රාජපක්ෂ දේශපාලනය රටේ බොහෝ වටිනාකම් විනාශ කර හමාරය. යුද වීරයන්ට හොරකම් කළ හැකිය යන්න බොහෝ සංඝයා වහන්සේ අනුමත කරති. යුද සෙබලුන් සිදු කරන මිනිස් ඝාතන ස්ත්‍රී දූෂණ පැහැර ගැනීම් වලට මුක්තිය ලැබිය යුතු යයි බුද්ධරක්ඛිත සෝමාරාම නිකායික භික්ෂූහු අපේක්ෂා කරති. ඉහතින් කී සමහරක් භික්ෂූන් අතුරුදන් කිරීමේ නීතියට එරෙහි වන්නේ ඒ නිසාය. දහම් පාසලක ඉගැන්වූ කතරගම මනම්පේරි තරුණිය දූෂණය කර නිරුවතින් මහ පාරේ ඇවිද්දවා වෙඩි තබා මරා දැමූ සොල්දාදුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක විය. ඒ සිද්ධිය සිදුවුණේ හමුදා ක්‍රියාන්විත අතරය. ක්‍රිසාන්ති කුමාරස්වාමි අපරාධය ද රටේ නීතිය අච්චු කළ තවත් අපරාධයකි. මේ අධිකරණ ක්‍රියාදාමයන් අතර, කිසිදු භික්ෂුවක් දේශපාලනඥයෙකු විදියට අභියෝග කළේ නැත. හේතුව ඒ කාලයේ රට පාලනය කළ නායකයන්ගේ හැදිච්චකම නිසාය. ජනවාරි පරාජය තෙක් සොල්දාදුවන්ට එරෙහි කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයකට කිසිවෙකු අකුල් හෙළුවේ නැත.

මේ කෙටි සාරාංශ කිරීම් අනුව සමහරක් භික්ෂූන්ගේ විසූක දස්සනවල අරමුණ කුමක්ද යන්න පැහැදිලිය. මේ තත්වය තේරුම් ගන්නා ලෙස අප මහා නා හිමිවරුන්ගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමු. බුදුන් දවස පවා භික්ෂු ප්‍රතිරූපකයන් ශාසනය තුළ විවිධ අලකලංචි කිරීමට වෙහෙස ගත් බව දහම් පාසල් සිසුහු පවා දනිති.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන 

Comments