පාසල් මලල ක්‍රීඩාවේ අනාගතය කොයිබටද? | සිළුමිණ

පාසල් මලල ක්‍රීඩාවේ අනාගතය කොයිබටද?

 තිස් තුන්වැනි සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ වැඩිම අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩා තරගාවලිය දියගමදී වැස්සට සේදී ගිය නමුත් එහිදී මතුවූ දක්ෂතා වැස්සකට දියකර හැරිය නොහැකි බව රහසක් නොවේ. එහෙත් එකී දක්ෂතා අනාගතයට රැගෙන යාමේ අභියෝගයට ඇති පිළිතුර නම් අභියෝගයකි.

ඒ පිළිබඳ විවාදයක් නැත. ටෂ්මන් කොලිං, ප්‍රේමසිරි රත්නායක, උදාන ලිවේරා, චාමිනි රිද්මා, ඒ. මහේෂා, තමාරා රුක්මාලි ඇතුළු තවත් දිග් ගැස්සිය හැකි නම් පෙළක් බොහෝ දෙනකුට නුහුරු නුපුරුදු බවට වාද විවාද ඇවැසි නැත. එපමණක් ද නැත. මනෝජ් පුෂ්පකුමාර, දහම් මාධව ද සිල්වා, ප්‍රදීප් රණසිංහ, ඔෂාන් රංජිත්, ඉන්දික පරණගම, ළහිරුනි පීරිස්, බී. සී. ජයමාන්න, ශලනි මහලියන, මේනකා නිලන්ති කලුපහණ, කලනි සෙනෙවිරත්න වැනි ලාංකේය මලල ක්‍රීඩා කෙත පෝෂණය කිරීමට හැකියාවක් තිබූ මෙකී නම් පෙළ සිහිපත් වන විට ඇතිවන්නේ ද කනගාටුවකි. මන්ද යත් ඔවුහු සිය අතීතයම ලාංකේය මලල ක්‍රීඩාව වෙනුවෙන් දියත්කර හැරි නිසාවෙනි.

එහෙත් ඒ ගැන එදා සිතන්නට කිසිවකු නොසිටි නිසාත්, ක්‍රීඩාවේ නිරතවීමට ඇවැසි අත්වැල නොලැබීම නිසාත්, ජීවත්වීම වෙනුවෙන් ක්‍රීඩාව කැප කරන්නට සිදුවිය. මෙවර සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ වයස් කාණ්ඩ වෙනස් වුවද, 17 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වට ටානියා වැන්හියර් 1986 වාර්තා කළ තත්පර 25.00 ට අදටත් අභියෝගයක් නැත. එකී වසරේ එම වයස් කාණ්ඩයේම මීටර් 800 ඉසව්වට කුෂානි කුලරත්න වාර්තා කළ විනාඩි 2:13.45 මෙවර වයස් කාණ්ඩ වෙනස්වන විට ද නොබිඳී පැවැති වාර්තාවකි. එනම් එකී වාර්තා දශක තුනක් ද ඉක්මවා තිබීම තුළ අපේ මෙතෙක් ගමන් මඟ පැහැදිලිය.

අදටත් සුගත් තිලකරත්නගේ, සුසන්තිකා ජයසිංහගේ, දමයන්ති දර්ශාගේ හෝ ශ්‍රියානි කුලවංශගේ දක්ෂතා අසලට පැමිණීමටවත් වැඩ පිළිවෙළක් නැති නිසාම ඔවුන්ට එදා සිදුවූයේ සිය ලේ ඇට මස් නහර ක්‍රීඩා පිටිවලට දියවී යන තෙක්ම දුවන්නටය. මොවුන් පවා සිය ජයග්‍රහණ එදා රටට අත්පත්කර දුන්නේ භෞතික පරිසරය යම් පමණකට හෝ පරිපූර්ණ වූ වටපිටාවක් තුළය. එස්. බී. දිසානායක සහ සුනිල් ගුණවර්ධන මහතුන්ගේ යම් යම් ක්‍රියාදාමයන් පිළිබඳ විවේචන එල්ල වුවද ජයග්‍රහණයන්ට පදනම එස්. බී. සහ සුනිල් දෙපළගේ සුසංයෝගයේ ව්‍යාපෘති බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.

එහෙත් අද සිදුවෙමින් පවතින්නේ බල අරගලයන්ට මැදිව මහා පුටුවට පොර බදන්නන් බුරුතු පිටින් එකිනෙකා ඇනකොටා ගැනීම් පමණි. එදා සුසන්තිකාගේ ජයග්‍රහණයට තෙත් වූ දෙනෙත්වලට අද සිදුවී තිබෙන්නේ පණ අදින ජයග්‍රහණයන් දෙස බලා අඬා වැළපෙන්නට බව මේ කල්ලි ගැසී බල අරගලයන්ට පොර කන්නන්ට නොතේරීම අපේ ක්‍රීඩාවේ කරුමය මිස වෙනකක් නොවේ.

Comments