
සාහිත්‍යයට නිර්වචනයක් ඉදිරිපත් කිරීම කළ නොහැක්කක් වනුයේ සාහිත්‍යය යනු විවිධ ආකාරවලින් පෙනී සිටින්නක් නිසා ය යන්න පිළි ගැනීමට මෙහි දී සිදුවේ. හරියට පලා මල්ලක් වැනි ය. ඒවායේ පොදු ලක්ෂණය නම් සියලු පලා ආහාරයට ගන්නා බව ය. සමහර පලා වර්ග මැල්ලුම් පමණක් සෑදීමට උපයෝගී කැර ගන්නා අතර සමහර පලා වර්ගයක් ව්‍යංජන සෑදීමට උපයෝගී කැර ගැනේ. ව්‍යංජන පොල් කිරි හෝ පොල් තෙල් හෝ යන එකක් යොදා පිස ගන්නවා විය හැකි ය. මේ දෙආකාරයට ම පිස ගන්නා පලා වර්ග ද වේ. සමහර පළා වර්ගයක් පරිප්පු‚ කොස් ඇට වැනි දෙයක් සමග එක්ව පිස ගන්නවා විය හැකි ය. එක් එක් පලා වර්ගයට ආවේණික ලක්ෂණ අනුව ඒවායේ පිසින ක්‍රමය මෙන් ම රස ද වෙනස් ය. ඒ අනුව පලා යන පොදු ප්‍රවර්ගයට වැටෙන දේවල විවිධ ගති ලක්ෂණ තිබේ. ඒ ගැන දීර්ඝ විස්තරයක් අනවශ්‍යය ය. මන්ද මෙහි පෙන්වා දෙනු ලබන දැය ඕනෑම අයකු දන්නා නිසා ය.
සාහිත්‍යය යන්නට නිශ්චිත නිර්වචනයක් නොමැති වුව ද සාහිත්‍ය යනු ප්‍රධාන වශයෙන් ම කියවන්නට ඇති දෙයක් බව ඒ ගැන උනන්දුවක් දක්වන සියල්ලෝ අවිඥානක ව ම දනිති. එහෙත් කියවන්නට ඇති දේ අතරින් කුමන ඒවා සාහිත්‍ය ද කුමන ඒවා ඊට අයත් නොවන්නේ ද යනුවෙන් කිසිවකු විසින් විමසන ලදහොත් ඊට පිළිතුරක් සොයා ගැනීම අපහසු කාරණයක් වන්නට පිළිවන.
සාහිත්‍ය යනු කිමැයි හදිසියේ ම විමසන ලද හොත් ක්ෂණික ව ලැබෙනු ඇත්තේ පාඨකයාගේ/රසිකයාගේ දෘෂ්ටිකෝණය අනුව දෙන පිළිතුරක් මිස විග්‍රහාත්මක පිළිතුරක් නොවේ. පිළිතුර ඔහු ඒවා ප්‍රතිහණය කැර ගන්නා අන්දම අනුව වෙනස් විය හැකි ය.
සාහිත්‍ය යනු ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීමේ අභිප්‍රායයෙන් කෙරෙන පරිකල්පනීය ලියැවිල්ලක් ලෙස ද හඳුන්වා දෙනු විය හැකි ය.
මේවායින් අදහස් කෙරෙන්නේ පොදු වශයෙන් බොහෝ ජනයාට සාහිත්‍ය යනු කිමැයි තමන්ගේ ම ආකෘතිගත මතයක් ඇති බවයි. සරසවි සිසුවකුට එය සිය පාඨමාලාවේ දී අධ්‍යයනයට මැනව යැයි පාඨමාලාවෙන් නියම කෙරෙන ඒවා විය හැකි ය. තවත් කෙනෙකුට එය තමා ප්‍රිය කරන කතුවරයකුගේ කෘති විය හැකි අතර තවත් කෙනෙකුට එය තමන් අප්‍රිය කරන ප්‍රවර්ගයක ඒවා විය හැකි ය. ඇතැමකුට සාහිත්‍ය යනු කවි පමණක් විය හැකි අතර තවකෙකුට එය නවකතා පමණක් විය හැකි ය. මේ නිසා ජනයා සාහිත්‍ය අර්ථ දක්වනු ඇත්තේ ඒ ගැන තමන් සතු ප්‍රතිරූපය අනුව ය.
මේ අනුව කිව හැක්කේ ලිඛිත දෑ මහා සාගරයක් තරම් නම් සාහිත්‍ය ය යනු ඉන් ගත් දියදෝතක් තරම් අල්පයක් බව ය. පුවත්පතක් ඊට හොඳම උදාහරණයකි. ඒවායේ ලිඛිත දේ බොහෝ ඇතත් සාහිත්‍යය ඇත්තේ සාපේක්ෂ ව ඉන් අංශුවක් පමණි.
ලන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෙරී ඊගල්ටන්ට අනුව සාහිත්‍යය සමාන්‍ය බැවහර බස පරිණාමනය කරන අතර ම තීව්‍ර ද කරයි. හරියට ගොඩනැගිලි ඉදිකිරීම්වල දි වාස්තු විද්යාශව කරන්නාක් මෙනි. එය භාෂාව නිර්මාණය කිරීම සඳහා මනුෂ්‍ය ශක්‍යතාවලින් පැන නැඟෙන කලාත්මක විලාසයයි. ඔහුට අනුව මූලික වන්නේ භාෂාව වන අතර සාහිත්‍යයේ දී භාෂාව භාවිත කෙරෙන ආකාරය සාමාන්‍ය ව්‍යවහාරයට වඩා උසස් ස්වභාවයක් පෙන්නුම් කරයි.
තවත් මතයකට අනුව සාහිත්‍යයට අර්ථ නිර්ණයක් ඉදිරිපත් කිරීමේ දී ප්‍රධාන ක්‍රම තුනක් වෙති. ඒවා නම් සාපේක්ෂතාවාදය (relativism) ආත්මීයවාදය (subjectivism) සහ අඥෙයවාදය (agnostism)යි. සාපේක්ෂතාවාදයෙන් කියැවෙන්නේ සියල්ල සාපේක්ෂ බවයි. කිසිවක් අංග සම්පූර්ණ නොවන බවත්‚ සම්පූර්ණ සාහිත්‍ය කියා යමක් නොමැති බවත් කිසියම් දෙයක රුව ගුණ කිව හැක්කේ අනෙක් යමකට සාපේක්ෂ ව බවත් මෙයින් අදහස් කෙරේ. ආත්මීයවාදයෙන් කියැවෙන්නේ සියල්ල ආත්මය මුල් කොට ගත් අත්දැකීම්වල ප්‍රතිඵල බවයි. කෙනෙකුගේ අත්දැකීම්වල අවිවාදිත‚ සැකයකින් තොර ව පිළිගත යුතු සාධකය වනුයේ ස්වීය අත්දැකීම් පමණක් බවයි. අඥෙයවාදය යනු භෞතික ව නොදන්නා දෑ - උදා: දෙවියන් වහන්සේ,‚ විවිධ දෙවිවරුන්‚ මීළඟ ආත්මභවය - ගැන කිසිවක් කිව නොහැකි බවයි. නොඑසේ නම් නොදන්නා බවයි. මෙය දෙවියන් වහන්සේගේ පැවැත්ම අරභයා බටහිර බුද්ධිමතුන් විසින් 18වන සියවසේ ඉදිරිපත් කළ තර්කයකි. එහෙත් මේ මතය බුදුන්ටත් පෙර සිට පැවැති බවත්‚ ඍග් වේදයේ ඒ සඳහන් ශ්ලෝක ඇති බවත්‚ බුදුන් සමයේ වුසූ ශාස්තෘන් සය දෙනාගෙන් එක් අයකු වූ බෙල්ලට්ඨි පුත්ත සංජය මරණින් මතු පැවැත්ම නොපිළිගත් බවත් සඳහන් ය.
ඒ අනුව සාහිත්‍යය යනු සාපේක්ෂ දෙයක් වන අතර එය පෞද්ගලික අත්දැකීම්වල ප්‍රතිඵලයකි‚ එහි ප්‍රතිඵලය භෞතිකව පෙන්වා දිය නොහැකි ය.
ලිඛිත වීම සාහිත්‍යයක මූලික අවශ්‍යතාවක් නොවන බව පෙර සඳහන් කැරිණි. එහෙත් සාහිත්‍යය යන මාතෘකාවට යටතේ සාකච්ඡා කෙරෙනවිට මුලින් ම කෙරෙන්නේ අලිඛිත සාහිත්‍යය බැහැර කිරීමයි. මුඛ පරම්පරාගත දෑ මෙන් ම චිත්‍රපට‚ නාට්‍ය වැනි ඒවා ද ඊට අයත් ය. ඊළඟට නිර්මාණාත්මක නොවන සාහිත්‍යයමය බැහැර කෙරෙනු ඇත. නිර්මාණාත්මක සාහිත්‍යයට ප්‍රබන්ධ නොවන වෙනත් කෘති ද ඇතුළත් වෙයි. උදාහරණ ලෙස පර්යේෂණාත්මක නිබන්ධ ගත හැකි ය. එබන්දක් අර්ධ නිර්මාණාත්මක ස්වභාවයක් ගන්නවා විය හැකි ය.
ප්‍රබන්ධ මූලික වශයෙන් දෙ ආකාර ය. ගද්‍ය සහ පද්‍ය වශයෙනි. ඇතැම්විට ගද්‍ය‚පද්‍ය සහ නාට්‍ය ලෙස තුන් ආකරයකින් ද දක්වනවා විය හැකි ය. ගද්‍ය යනු ව්‍යාකරණානුකූල ව ලියන ලද වැකියක් හෝ වැකි වන අතර පද්‍ය යනු මූලික වශයෙන් විරිතකට අනුව රචිත වචන සමූහයක් ලෙස සැලකේ. නාට්‍ය පෙළ සහ චිත්‍රපට සහ සෝප් ඔපෙරාවල තිර පිටපත් නිර්මාණාත්මක ගද්‍යය යටතට ගැනේ. එහෙත් සාහිත්‍ය විචාර සාහිත්‍ය කෘති ලෙස සැලකෙන්නේ ද යන්න ගැන නිශ්චිත නිගමනයක් නොමැත.
අප මේ සාකච්ඡා කරන දැය හැඳින්වීම සඳහා බටහිරුන් භාවිත කරන අකුර මුල් කැර ගත්‚ අකුරෙන් පැවත එන්නේ යැයි අර්ථ දැක්වෙන literature යන පදයට වඩා ඉන්දියා උප මහාද්වීපයේ රටවල් භාවිත කරන සහිත බව යන අරුත් ඇති සාහිත්‍ය යන පදය වඩා නිශ්චිත අර්ථ දැක්වීමක් ඊට ලබා දෙන බව මේ අනුව නිගමනය කළ හැකි ය.