යුගයේ පුරෝගාමී ශාස්ත්‍රඥයකු පිළිබඳ සමරු සටහනක් | සිළුමිණ

යුගයේ පුරෝගාමී ශාස්ත්‍රඥයකු පිළිබඳ සමරු සටහනක්

වසර 91ක් ආයු වලඳා පසුගිය 07 වැනිදා දැයෙන් සමුගත් ආචාර්ය අමරදාස වීරසිංහයන්ට පිදෙන උපහාරයකි.

ආචාර්ය අමරදාස වීරසිංහයන්ගේ අභාවය විශේෂයෙන් මෙරට වැඩිහිටි පරපුරට අයත් සාහිත්‍ය - කලාකාමී බොහෝදෙනාගේ දැඩි සංවේගයට හේතු විය. මේ පුවත සැල වූ සැණෙන් පශ්චාද් උපාධිලාභී විශ්‍රාමික විදුහල්පතිවරයකු “ඔහු අපේ පරපුරේ ගුරුවරයා” යි සඳහන් කෙළේ කඳුළු පිරි ‍දෑසින් යුතුව ය. විදුහල්පතිවරයා එයින් අදහස් කළේ තමා වීරසිංහයන්ගෙන් විශ්වවිද්‍යාලයේ දී භාෂා ශාස්ත්‍ර හදාළ බව නො වේ. ‘සංස්කෘති’ නමින් පළ වූ ශාස්ත්‍රීය සඟරාවෙන් තමා අධ්‍යාපනයක් ලත් බව ය; එමඟින් තමා ඥානාන්විත වූ බව ය.

1953 වර්ෂයේ මාර්තු මාසයේ ‘සංස්කෘති’ සඟර‍ාවේ මංගල කලාපය ප්‍රකාශයට පත් කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හදාළ තරුණ උපාධිධාරීන් පිරිසක් විසිනි. ඔවුනතර අමරදාස වීරසිංහ, ගණනාථ ඔබේසේකර හා එස්.ජී. සමරසිංහ ප්‍රමුඛත්වය දැරූහ. සඟරාවේ පළමුවන කලාපය කොතෙක් ජනප්‍රිය වී ද යත්, එහි දෙවන මුද්‍රණයක් ද නිකුත් කිරීමට සිදු විය. 1965 වර්ෂය වන විට සඟරාවෙන් පිටපත් 5000 ක් පහසුවෙන් ම අලෙවි වූ බව ද, පිටපත් 3500 ක් පාසල් පුස්තකාල සඳහා මිලදී ගන්නා ලද බව ද කියැවේ.

‘සංස්කෘති’ සඟරාවේ 2009 ඔක්තෝබර් කලාපයේ පළ වූ ලිපියක දැක්වුණු අන්දමට පෙර කී තරුණ පිරිස මේ සඟරාව ආරම්භ කොට එකල සමාජයේ ප්‍රබුද්ධ පිරිස් අතර ස්වකීය සංස්කෘතිය පිළිබඳව පැවති කුතූහලය කුළුගන්වා ලූහ. භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, කලාශිල්ප, සිනමාව හා නාට්‍ය කලාව පිළිබඳ ලිපි එහි පළ විය. ඊට අමතරව සංස්කාරකවරු ආර්ථිකය හා සමාජ ජීවිතය විෂයය කොට ගත් ලිපි ද, ස්වතන්ත්‍ර කෙටිකතා හා පද්‍ය රචනා ද, අනුවාදිත සම්භාව්‍ය ජගත් කෙටිකතා ද එහි පළ කළ හ.

පාසල් පුස්තකාලවලින් ‘සංස්කෘති’ සඟරාව කියවා ගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව සැලසුණි. ප්‍රබුද්ධ උපාධිධාරී ගුරුවරු මේ සඟරාව සඟරාව නොකඩවා පරිශීලනය කිරීමෙහිලා ශිෂ්‍යයන් පෙලඹවූහ. ප්‍රමාණයෙන් කුඩා වුව ද, එකල ‘සංස්කෘති’ සඟරාවට සම කළ හැකි වෙනත් ශාස්ත්‍රීය සංග්‍රහයක් මෙරට හෙළ බසින් පළ නොවී ය. පාසල්වලින් පළ කෙරුණු සඟරා ද, ‘සංස්කෘති’ සඟරාව මූලාදර්ශ කොට ගෙන සම්පාදනය කෙරිණ. ‘සංස්කෘති’ සඟරාව පාසල්වල ජනප්‍රියත්වයට පත් වූ පරිමාණය එයින් හැඟවෙයි.

1961 වර්ෂයේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ප්‍රකාශයට පත් කෙරුණු ‘ප්‍රදීපා’ සඟරාව එහි සංස්කාරකවරුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ‘සංස්කෘති’ ශාස්ත්‍රය සංග්‍රහයට පිළිගන්වා තිබුණේ මෙසේ ය:

“ලංකා සමාජ දේහය තුළ කෙමෙන් මෝරන බොරු හට එළිපෑදුම් කිරීමට පසුගිය පුරා අටවස තුළ නිරහංකාර, අඛණ්ඩ ප්‍රයත්නයක යෙදුණු සංස්කෘති සඟරා රැජිනට මේ ප්‍රදීපාව උපහාරයක් වේවා!”

1958 වර්ෂයේ සංස්කෘති ප්‍රකාශන සංගමය මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ විශේෂ කලාපයක් පළ කෙළේ ය. වික්‍රමසිංහයන් ගේ පුවත්පත් කලාව, නවකතා, විචාර ග්‍රන්ථ හා ථේරි ගී සිංහලානුවාදය පිළිබඳ ලිපි එහි පළ විය. ආනන්ද කුමාරස්වාමි (1955) හා සෙනරත් පරණවිතානයන් (1972) පිළිබඳව ද මෙවැනි ම විශේෂ කලාප ද්වයක් පළ කෙරිණ. ආනන්ද කුමාරස්වාමි විශේෂ කලාපය පළ කරන ලද්දේ ඔහුගේ අභාවයෙන් අට වසරක් පිරීම නිමිත්තෙනි. මහාචාර්ය හේමචන්ද්‍ර විජේසේකර එයට විශේෂ පණිවිඩයක් සපයමින් “ආනන්ද කුමාරස්වාමි සුධීන්ගේ චරිතය නිතර ම අප සිහි කරන්නේ, අප ජීවිතයට අමුතු මඟක් පාදා දුන් මහඟු ආදර්ශයක් වශයෙනැ” යි සඳහන් කොට තිබුණි. මෙය සංස්කරණය කළ අමරදාස වීරසිංහයන් ‘ආනන්ද කුමාරස්වාමි හා පෙරදිග සංස්කෘතියක රටාව’ යන මැයෙන් සැපයූ මාහැඟි ලිපියක් ද මෙහි ඇතුළත් විය. ඊට අමතරව මෙහි අන්තර්ගත වූ ආනන්ද කුමාරස්වාමිගේ දීර්ඝ ලේඛන නාමාවලිය පර්යේෂකයනට හා විද්‍යාර්ථීන්ට ද බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව සඳහන් කළ යුතු ය.

සංස්කෘති ප්‍රකාශන සංගමය මඟින් ප්‍රකාශයට පත් කරන ලද අවශේෂ විශේෂ කලාප අතර ආයු‍ර්වේද අංකය (1959), නාට්‍ය අංකය (1963), චිත්‍රපට අංකය (1961) හා විශ්වවිද්‍යාල අංකය (1965) ද විය. මේ විශේෂ කලාපවලට ලිපි සම්පාදනය කළෝ අදාළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණිකයෝ ය.

රුසියානු සාහිත්‍යය පිළිබඳව මෙරට පාඨකයන් තුළ උද්යෝගයක් දල්වාලීමෙහි ලා ‘සංස්කෘති’ සඟරාවෙන් සැපයුණු දායකත්වය අතිමහත්ය. ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතාවල සිංහල පරිවර්තන ‘සංස්කෘති’ සඟරාවේ කලාප ගණනාවක පළ විය. 1960 වර්ෂයේ ඇන්ටන් චෙකොෆ් පිළිබඳ විශේෂ කලාපයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.

‘සංස්කෘති’ සඟරාවේ සංස්කාරකවරුන් අතර ඒ ඒ විෂයයන් පිළිබඳ ප්‍රාමාණිකයෝ වූහ. අමරදාස වීරසිංහ හා ධර්මසිරි ඒකනායක සාහිත්‍ය විචාරය ප්‍රගුණ කළවුන් අතර ප්‍රමුඛ වූහ. අමරදාස වීරසිංහ සාහිත්‍ය විචාරයට අමතරව සිනමා හා නාට්‍ය විචාරයෙහි ද නියැළුණේ ය. රෙජී රණසිංහ, සුසිල් සිරිවර්ධන හා පියල් සෝමරත්න ද සිනමා කෘතීන් විචාරයට පාත්‍ර කළහ. නූතන චිත්‍ර ශිල්පීන් විසින් අගනුවර හා ඒ ආශ්‍රිතව පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශන කෙරෙහි ද සංස්කාරකවරු සිය අවධානය යොමු කළහ. බොහෝවිට චිත්‍ර කලා විමර්ශනයෙහි නියැළුණේ පියදාස මහින්දසිරි ය. වින්සන්ට් සෝමපාල, ඒ. රංජිත් අබේසිංහ හා ඩබ්ලිව්. බී. මකුලොලුව ආදීහු සඟරාවට සංගීත ක්ෂේත්‍රය විෂය ‍කොට ගත් ලිපි සැපයූහ. ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා බොහොමයක් සිංහලයට නඟන ලද්දේ කේ.සී. පෙ‍රේරා විසිනි.

‘සංස්කෘති’ සඟරාවේ සංස්කාරකවරුන් ප්‍රවීණයන්ගේ ලිපි පළ කළ අතර ආධුනික ලේඛකයන් ද නොතකා හළේ නැත. එච්.එම්. රණසිංහ හා දයා කහවල වැනි ආධුනික ලේඛක - ලේඛිකාවන්ගේ කෙටිකතා ද එහි පළ කෙරිණ. ඊට අමතරව ආධුනික ලේඛක සංගමයක් ද ආරම්භ කරන ලදී. මේ ආධුනික ලේඛක සංගමය මඟින් කැඳවන ලද කෙටිකතා අතරින් තෝරා ගත් නිර්මාණ දහයක් 1965 වර්ෂයේ ‘අසරණව වැතිර ගත් සිතාරය’ යන නමින් ප්‍රකාශයට පත් කෙරිණ. එහි සංස්කාරකවරයා වූයේ අමරදාස වීරසිංහ ය. එවකට ආධුනික ලේඛකයන්ව සිටි එච්.ඒ. සෙනෙවිරත්න, සෝමවීර සේනානායක, පියල් සෝමරත්න හා ජිනදාස දනන්සූරිය යන අය සැපයූ කෙටිකතා එහි ඇතුළත්ව තිබිණ.

ධර්මසිරි ඒකනායක හා අමරදාස වීරසිංහ තමන් අනුදත් සාහිත්යික න්‍යාය වූ භාවිත විචාරය උපයෝගී කොට ගනිමින් සාහිත්‍ය විචාරයෙහි නියැළුණහ. ‘සංස්කෘති’ සඟරාව ආරම්භ වූ තැන් සිට ම එහි සාහිත්‍ය විචාරකයන් කෘතිය විනා එය නිර්මාණය කළ පුද්ගලයා සැලකිල්ලට නොගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි.

මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව පළ වූ විශේෂ කලාපයෙහි, අමරදාස වීරසිංහ කතුවරයාගේ තුන්ඈඳුතු නවකතාවල විද්‍යමාන දුර්වලතා කිසිදු පැකිළීමකින් තොරව පෙන්වා දුන්නේ ය:

“ඔහු (මාර්ටින් වික්‍රමසිංහ) වර්තමාන මධ්‍යම පන්තිය ගැඹුරු ලෙස පත්ලට ම දුටු එක ම නූතන සාහිත්‍යකාරයා ලෙස සැලකිය හැකි නමුදු ඒ පිළිබඳ පැහැදිලි දැක්මක් ඔහුගේ කෘතිවලින් නොහැ‍ඟේ....”

“වික්‍රමසිංහ නවකතාවේ විකාශනය විභාග කර බලන විචාරකයෙකුට ඔහු වාණිජත්වයේ බලපෑමෙන් මුළුමනින් ම මිදී ඇතැ යි සිතිය නො හැකි ය. මගේ වැටහීමේ හැටියට කලියුගය හා යුගාන්තය ඔහු විසින් වෙළඳපොළට යැවීම සඳහා කඩිමුඩියේ නිපදවන ලද කෘති දෙකකි.” (‘සංස්කෘති’ - වික්‍රමසිංහ අංකය, පි. 160).

 

මෙසේ මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා පිළිබඳව සිය අදහස් ඍජුව පළ කළ අමරදාස වීරසිංහ, තමා නිතර නිතර මාර්ටින් වික්‍රමසිංහයන් මුණගැසීමට ගිය බව ද, ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බව ද සඳහන් කොට ඇත. මාර්ටින් වික්‍රමසිංහ ද සිය විචාර ග්‍රන්ථයක අමරදාස වීරසිංහ තැන්පත් විචාරකයකු ලෙස හඳුන්වා තිබුණි.

සිනමාව, නාට්‍යය හා සංගීතය වැනි දෘශ්‍ය, ශ්‍රව්‍ය සන්නිවේදන කලා මාධ්‍ය මෙන් ම පුවත්පත් වැනි වෙනත් ජන සන්නිවේදන මාධ්‍ය ද වීරසිංහයන්ගේ විමර්ශනයට පාත්‍ර විය. සමකාලීන ප්‍රවෘත්තියක් දෙස ඔහුගේ විමසුම් ඇස යොමු විය. ‘සංස්කෘති’ සඟරාවේ 1959 අප්‍රේල් - ජුනි කලාපයට ‘වර්තමාන ලංකාවේ සංස්කෘතික රටාව හා ප්‍රවෘත්ති පත්‍රය’ යන මැයෙන් සැපයූ දීර්ඝ ලිපියෙහි ඔහු ප්‍රවෘත්තියක් හුදු දැන්වීමකින් වෙනස් වන ආකාරය මෙසේ පැහැදිලි කෙළේ ය:

“පාසල් ගොඩනැඟිල්ලක් විවෘත කිරීම නොව අධ්‍යාපනය පිළිබඳ සාරවත් මතයක් පළ කිරීම ප්‍රවෘත්තියකි. මැති ඇමතිවරුන් විසින් ආ‍රෝග්‍යශාලාවක් විවෘත කිරීම හෝ දේශපාලන නායකයකු තවත් දේශපාලන නායකයකු හෙළා දැකීම ප්‍රවෘත්තියක් නොවන්නේ ය. බහුජනයාගේ යහපත උදෙසා යම්කිසි දේශපාලන මතයක්, සැලැස්මක්, වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීම ප්‍රවෘත්තියකි. ස්ත්‍රී දූෂණයක්, මං පැහැරීමක්, වෙඩි තබා ගැනීමක් ආදිය දැන ගැනීමෙන් මිනිස් සිතේ වැඩීමට හෝ සංවර්ධනයට හෝ ප්‍රයෝජනයක් නොවන්නේ ය. එවැනි ඕපාදූපයකින් කිසිවෙකුට කිසි විටෙක ප්‍රයෝජනයක් නැත. එබැවින් ඒවා ප්‍රවෘත්ති නො වේ” (31 පිටුව)

කාලය හා සමාජය (1959), රජ්ජුරුවෝ නිරුවතින් (1967), ජනශ්‍රැති කථා (1967), සිංහල ජනශ්‍රැතිය හැදෑරීම (1986), කැඩපතක් නැති ජාතිය (2009) හා සිංහල නාට්‍ය හැදෑරීම (2009) අමරදාස වීරසිංහයන්ගේ ශාස්ත්‍රීය කෘතීහු වෙති. ඔහු 1956 වර්ෂයේ ගණනාථ ඔබේසේකරයන් හා එක්ව හෙන්රික් ඉබ්සන්ගේ ‍‍‘ඩෝල්ස් හවුස්’ නමැති නාට්‍යය සිංහලයට නඟා ප්‍රකාශයට පත් කෙළේ ය. 1950 වර්ෂයේ පළ වූ මොකද අප්පේ මේකෙ තේරුම, අමරදාස වීරසිංහ හා ධර්මසිරි ඒකනායක යන දෙපළගේ නිර්මාණ ඇතුළත් කෙටිකතා සංග්‍රහයකි.

අමරදාස වීරසිංහ සිය මුළු ජීවිත කාලය ම ශාස්ත්‍රය වෙනුවෙන් කැප කළ විද්වතෙකි. ඔහුගේ ජීවිතය වූයේ ‘සංස්කෘති’ සඟරාව ය. එහි කටයුතු සොයා බැලීම සඳහා අනූ විය පසු කර සිටියදීත් ඔහු දිනපතා ම බොරලැස්ගමුවේ පිහිටි කාර්යාලයට යෑම් ඊම් කෙළේ ය. කිසිවෙකුගේ ඍජු අනුග්‍රහයකින් තොරව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ‘සංස්කෘති’ සඟරාව පවත්වා ගෙන ආ පිරිසෙහි නියමුවා වූයේ ඔහු ය.

මේ අනුව සලකන කල ආචාර්ය ‍අමරදාස වීරසිංහ මෙරට පරපුරක් ඥානාන්විත භාවයට පත් කළ පුරෝගාමී ආචාර්යවරයකු වශයෙන් සැලකීම යුක්ති යුක්ති බව පෙනීයයි. එහෙයින් ම ‘සංස්කෘති’ සඟරාවෙන් හා වීරසිංහයන්ගේ පතපොතින් තමා එතෙක් නොදත් බොහෝ දෑ දැන කියා ගනිමින් බහුශ්‍රැතයකු බවට පත් වූ විශ්‍රාමික විදුහල්පතිවරයා‍ගේ දෑසට ඔහුගේ අභාවය සැල වූ සැණෙන් කඳුළු නැඟීමෙහි කවර නම් විස්මයක් ද?

Comments