බුද්ධරක්ඛිත සෝමාරාම නිකාය යළි ක්‍රියාත්මක වේද? | Page 2 | සිළුමිණ

බුද්ධරක්ඛිත සෝමාරාම නිකාය යළි ක්‍රියාත්මක වේද?

 දිනේෂ් ගුණවර්ධන මල්වතු මහ නා හිමියන් හමුවූ අවස්ථාව මාධ්‍ය හරහා වාර්තා විය. මෙයට පෙර දිනේෂ් ගුණවර්ධන මෙන් ම විමල් වීරවංශ ද, මල්වතු මහා විහාරයට ගිය ගමනක් මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. දිනේෂ් විමල් දෙදෙනාම මල්වතු මහා විහාරයට ගියේ අනුශාසනා ලබාගැනීමට නොවේ‍. මල්වතු මහ නා හිමියන්ට ව්‍යවස්ථාව ගැන පාඩමක් කියාදීමට ය. දිනේෂ් ගුණවර්ධනත් විමල් වීරවංශත් දෙදෙනාම මල්වතු මහ නා හිමියන් හමුවේ පසු බැස ගිය බව රහසක් නොවේ. එය හරියට ම බෞද්ධ සාහිත්‍යයේ විස්තර කෙරෙන සච්චක දමනයට සමාන වේ.

දේශපාලන වශයෙන් ගත් කල දිනේෂ් සහ වීරවංශ යනු කීර්තිමතුන් විශිෂ්ටයන් නොවේ. ඔවුන් දෙදෙනාට ලංකාවේ උපන් සිංහල බෞද්ධයන් සතු හික්මීමක් තිබුණා නම් මල්වතු පන්සලට යාමේ කොන්ත්‍රාත්තුව භාර ගන්නේ නැත. දිනේෂ්ලා වීරවංශලා මල්වතු පන්සලට ගියේ හොඳ හිතින් නොවේ. මහින්ද රාජපක්ෂගේ පිරිහුණ දේශපාලන බලිය මල්වතු පන්සලේ බිත්තියටත් හේත්තු කිරීම පිණිස ය. ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් එක්ව සකසා රජයට ඉදිරිපත් කළ කතිකාවත් අනුව ථේරවාදී පනත සැකසිණ. එය එක් රැයින් නතර කිරීමට මහින්ද රාජපක්ෂ සමත් විය. සත්‍ය ලෙසම බුද්ධාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ ආණ්ඩුව නොවේ.

වර්තමාන පාර්ලිමේන්තුවේ අගනා කාලය විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා දිනේෂ් කරන සටන නාඩගමකි. දිනේෂ් ගුණවර්ධන සභානායකව සිටි කාලයේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුට සන්සුන්ව ප්‍රශ්නයක් අසන්නට ඉඩ දුන්නේ නැත. පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නේ නැත. සමහර අවස්ථාවල අපි උත්තර දෙන්නේ නැහැ. තමුන්නාන්සේ මොනවා කරන්නද? යනුවෙන් ඇසූ අවස්ථා බොහෝ ය.

බුද්ධරක්ඛිතලා සෝමාරාමලා වෙඩි තබා විනාශ කළ ශ්‍රීලනිපයෙන් විලියම් පිලිප් ඉවත් වුණේ ප්‍රතිපත්ති ගරුක වූ නිසා ය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ නිවැරැදි මගට පිවිසී ඇත. දිනේෂ්ලා මේ රඟන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුද්ධරක්ඛිතලා සෝමාරාමලා අල්ලා ගත් කෑල්ලය. බුද්ධරක්ඛිතලා සෝමාරාමලා උසාවි ගියේ බණ්ඩාරනායකට වෙඩි තියලා ය. අදත් සමහර හාමුදුරුවරු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හිරේ යති. ඒ පිරිස් මෙහෙයවනු ලබපන්නේ දිනේෂ්ලා වීරවංශලා විසිනි. ඔවුන් තම ව්‍යාපාරයට ඔබින ලෙස පැපිලියානත් අස්ගිරියත් පෙළ ගස්වා ඇති හැටියකි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට නම නොකීම ගැන උදහස්ව සංඝ සභා ආඥාවක් නිකුත් කළ අස්ගිරිය කීවේ බෞද්ධ භික්ෂූන්ට නිගරු කිරීම වැරදි බව ය. එහෙත් අස්ගිරි පාර්ශ්වය සිල් රෙදි නඩුවේ වැරදි කරුවන් වෙනුවෙන් වස් කාලයේ පිණ්ඩපාතේ ගිය භික්ෂූන් ගැන කතා නොකරති. සරණාගතයන්ට පහර දුන් භික්ෂූන් ගැන කතා නොකරති. අස්ගිරි පාර්ශ්වය එසේ නොකරන්නේ එකී භික්ෂූන් ශ්‍රමණ සාරුප්ප්‍ය භික්ෂූ විනය නොතකා ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නිසා ය. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට වෙනුවෙන් පිණ්ඩපාත සඳහා ඡන්ද බලය නැති කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා මතු දවසක දම්බරාවේ රතනසාර හිමියන් මෙන් වෙඩි කනවා විය හැකි ය. එවිට භික්ෂුවක් මැරුවා කියා ජනතාව කුපිත කිරීම පහසු වේ. ඒ සාමණේරවරුන්ගෙන් කොටසක් බුද්ධරක්ඛිතලා සෝමාරාමලා වීම වැළැක්විය නොහැකි ය. ගිනස් වාර්තා තැබීමට රෙදි පොටක් අල්ලා ගෙන සිටි පාසල් සිසුන් වෙනුවෙන් පෙනී සිටි අපේ මාධ්‍ය මේ කුඩා ශිෂ්‍ය භික්ෂූන් වෙනුවෙන් පෙනී නොසිටීම ඛේදජනකය.

දිනේෂ් මේ කරන්නේ තම පියා යථාර්ථවාදී දේශපාලනය වෙනුවෙන් කළ කැප කිරීම් රාජපක්ෂලා වෙනුවෙන් විකිණීම ය. පිලිප් ගුණවර්ධන තුප්පහි වැඩ සහ තුප්පහියන් යැයි එදා කීවේ දිනේෂ්ලා අද දේශපාලනයේ මුවාවෙන් කරන තත්කඩිකම් වැනි දේ හෙළා දකිමිනි. විශේෂයෙන් මෙහිදී පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්. කොල්වින් ලෙස්ලිට වඩා වැදගත් ප්‍රවීණයෙකි. ඒ තිදෙනාම බුද්ධරක්ඛිතලා සෝමාරාමලා වෙඩි තබා විනාශ කළ ශ්‍රීලනිපය සමඟ නැවත නැවත දීග කෑහ. එහෙත් පිලිප් ගුණවර්ධන 1965 ඩඩ්ලි සේනානායක සමඟ එක්ව දේශපාලනය කරන තරමට පරිණත විය. නිර්භය ‍ විය. හිතට එකඟව කරන දේශපාලනය වෙනුවෙන් කැප වූ පිලිප් ගුණවර්ධන කිසි විටෙක මැදමූලන රාජපක්ෂලා ළඟ දණ ගැසුවේ නැත. රුහුණේ සිංහයා කියන්නේ ඩී.ඒ. රාජපක්ෂට නොවේ. ඩී.ඇම්. රාජපක්ෂට ය. රුහුණේ සිංහයාගේ අතිජාත පුත්‍රයන් දෙදෙනාම හැදුණේ වැඩුණේ පිලිප් ගුණවර්ධන ළඟ ය. අද මැදමූලන ඩී.ඒ. රාජපක්ෂගේ පුතාලා අහන කිසිදු කුණු කතාවක් රුහුණේ සිංහයාගේ පුතුන් දෙදෙනා එනම් ලක්ෂ්මන් රාජපක්ෂ හෝ ජෝර්ජ් රාජපක්ෂ ඇසුවේ නැත. ඩී.ඇම්. රාජපක්ෂ හදිසියේ මිය ගියේ ය. ඔහු මිය ගොස් තෙමසක් ඉක්ම යන විට දරුවන්ට පාසල් ගාස්තු ගෙවීමට ඩී.ඇම්.රාජපක්ෂ මැතිනිය අපොහොසත් වූ බව රුහුණේ පැරැන්නෝ දනිති. එහෙත් ඩී.ඒ. රාජපක්ෂගේ පුත්තු සිල් රෙදි දන්දීමට නිලධාරින් ලවා රාජ්‍ය භාණ්ඩාගාරය බින්ද වූහ. මවු පියන්ගේ සොහොන් තැනීමට බදු කාසි කෝටි ගණන් වැය කළහ. දිනේෂ් ගුණවර්ධන තම පරම්පරාවට, කීර්තිමත් මවුපියන්ට නිගා කරමින් මේ කැප වන්නේ ඒ රාජපක්ෂලා නැවත බලයට ගෙන ඒම පිණිස ය.

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මල්වතු මහ නා හිමියන්ට පාඩම් කියා දීමට ගිය විමල් වීරවංශ ගැන කියන්නට දෙයක් ඇත්තේ ම නැත. දිනේෂ්ගේ නම් මහ ගෙදර ගම ගැන රට දනිති. එහෙත් විමල් වීරවංශ යනු නිතර හැඩ වෙනස් කරන පංචස්කන්ධයකි. එහෙම කියන්නේ විමලසිරි ගම්ලත් විමල් වීරවංශ වූ නිසා නොවේ. නම වෙනස් කර ගැනීම මෙන් ම ජෙල් කොණ්ඩය හදා ගැනීම වටිනා කමිස ඇඳීම නිසා ද නොවේ. උපන් දිනය වෙනස් කර නිල ලේඛන හදා තිරිහන් වන තරමේ මානසික මට්ටමක් ඇති නිසා ය. විමල් වීරවංශ දිනේෂ්ට සමාන වන සමහර අවස්ථා නැතිවාම නොවේ. තම දේශපාලන වාසිය වෙනුවෙන් පාවාදීම සම්බන්ධව දිනේෂ් සිටින්නේ ද විමල් වීරවංශ ලැග සිටින අත්තේම ය. ඇන්.ඇම්. ට එහා ගිය විශිෂ්ට දේශපාලන දර්ශනයක් නියෝජනය කළ පිලිප්ට නිඟා දෙමින් අද දිනේෂ් මැදමූලන වෙනුවෙන් බුරන හපන තත්ත්වයට පත්ව සිටී. වීරවංශ යනු ජනතා විමුක්ති පෙරමුණේ නාමයෙන් පාරට බැස බස් ගිනි තබා මහින්දට එකතු වූ කෙනෙකි. දිනේෂ් යනු කීර්තිමත් පියෙකුට අපහාසයකි.

දිනේෂ් වීරවංශ දෙදෙනාටම අනන්‍ය පැවැත්මක් මතවාදී දේශපාලනයක් නැත. දෙදෙනාම කරන්නේ කොන්ත්‍රාත් එකකි. පිලිප් ගුණවර්ධනගේ දේශපාලන ආශ්වාදය දන්නා කිසිවෙකු දිනේෂ් ගුණවර්ධනට අනේ අපොයි නො කියති. හේතුව අදටත් කල් ඉකුත් නොවූ බොරලුගොඩ දේශපාලනය දිනේෂ් කෙළෙසා ඇති බැවිනි. 1956 විප්ලවයට කර දුන් පිලිප්ගේ දේශපාලනය ඔහු මැරෙන තෙක් නැතිකර ගත්තේ නැත. මාක්ස් ලෙනින් ඉගැන්වූ සමාජ සාධාරණත්වය දේශීය හර පද්ධතීන් හරහා සමාජ ගත කිරීම, රටේ යහපතට යෙදවීම පිලිප්ගේ දේශපාලනය විය. බණ්ඩාරනායක කැබිනෙට්ටුවේ පිලිප් සහ විලියම් සිල්වා දෙදෙනාටම ඇමැතිකම් දෙකක් ලැබිණ. පිලිප් සහ විලියම් යනු විප්ලවකාරී සමසමාජ පක්ෂයේ නායකයන්ව සිටියහ. කොතරම් සැලකිලි ලැබුණත් පිලිප්, විලියම් සිල්වා දෙදෙනාම බණ්ඩාරනායක විනාශ වීමට පෙර ආණ්ඩුවෙන් පිටවූහ. ඒ අර්ථයෙන් ගත් කළ 2014 දී මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ආ යුතු පිරිස අතර, දිනේෂ් සිටිය යුතු විය. එහෙත් පිලිප්ට තිබුණ පිට කොන්ද දිනේෂ්ට තිබුණේ නැත.

දිනේෂ්ලා වීරවංශලා සියල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ මේ රටේ දෙවරක් ජනාධිපති පදවියට තේරී පත්වූ චරිතයකි. සිය පරාජ‍යෙන් පසුව, මහින්ද රා‍ජපක්ෂ පක්ෂයේ නායකත්වය හෙවත් සභාපති ධූරය රටටම ඇසෙන පරිදි නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා ගෙදර ගියේය. පසුව පක්ෂ නායකත්වය උදුරා ගත් බවට චෝදනා කළේ ය. මෙවැනි පරිසරයක දිනේෂ්ලාගේ වීරවංශලාගේ මේ හැසිරීම බෙහෙවින් බරපතළය. තමන් කළ කී දේ මතක නැති පුද්ගලයෙකු ගැන රටේ බහුතර මතය පැහැදිලි ය. ජනවාරියේ හැට හත් ලක්ෂයක ඡන්ද පදනම අගෝස්තුවේ දස ලක්ෂයකින් පහළ වැටුණේ ඒ නිසා ය. ඒ තත්ත්වය දැන දැන මහා සංඝයා වහන්සේ ස්වකීය වාසිය පිණිස පාවිච්චි කිරීමෙන් නතර නොවන මේ කණ්ඩායම මල්වතු මහ විහාරය වැනි ආයතනවලට කරන මේ බලපෑම බරපතළ තත්ත්වයකි. ඔවුන් මේ උත්සාහ කරන්නේ රට අල්ලන්න නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අල්ලා ගැනීමට ය. ඒ සඳහා අතීතයේ බණ්ඩාරනායක විනාශ කළ බුද්ධරක්ඛිත සෝමාරාම නිකාය පෙළ ගස්වමින් සිටිති.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන

Comments