අලි සහ අපි ඇත්තම කතාව | Page 2 | සිළුමිණ

අලි සහ අපි ඇත්තම කතාව

 “මම ගොරකා ටික ඇහිඳලා ගෝනියකට දාලා ගේන්න සූදානම් වුණා විතරයි පිටි පස්සෙන් අතු කැඩෙන සද්දයට ආපසු හැරිලා බැලුවා. අලිය ළඟටම ඇවිත්. දුවනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ. මම දුවන්න පටං ගත්තා. අලියා පස්සෙන් පන්නාගන අවා. මාව බයටම පය පැටලිලා වැටුණා. අලියා ආපු පිම්මට නවතින්න බැරිව මගේ ළඟින් ඉස්සරහට ගියා. මම පඳුරු අස්සෙන් බඩගාලා වෙනත් පැත්තකට දුවලා බේරුණා. ඒ වෙලාවේ අලියාගේ කකුලක් නළලේ ගැවිලා නියපොත්තකට තුවාල වෙලා මැහුම් 8ක් දැම්මා“

මෙලෙස පවසන්නේ බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මුල්ගම කනියාමුල්ල ගම්මානයේ පොඩ්ඩේ ගොවි මහතාය.

2015 නොවැම්බර් මාසයේ 75 හැවිරිදි ගොවියකු වන ඒ. එම්. කරුණාරත්න ගොවි මහතා වන අලි පහරදීමෙන් මිය ගියේය. ඒ සිය මුණුපුරා පාසල වෙත රැගෙන යමින් සිටියදීය උදෑසන 7.15ට පමණ මුල්ගම පාසැල ආසන්නයේදීය.

මියගිය කරුණාරත්න මහතාගේ බිරිය වන එම් එම් හීන්මැනිකා පවසන්නේ මෙවැනි කතාවකි.

“අලි හැම දාම අවා. වගා හානි කළා. හම්බේගමුව ආදි ප්‍රදේශවල කැලෑ එලි කිරීමයි මේ තත්ත්වයට බල පෑවෙ. දැන් අලි වෙඩි ගහලා අලි එලවන්න බෑ. මගේ මහත්තවය මරලා දැම්මා. මුල්ගම වලවේ ඟෙට එපිටින් බෝගහ පටිටිය කියන ප්‍රදේශවල අලි මංකඩවල් ණෙනාවක් තියනවා. අලි වෙඩි දැම්මාට අලින් දැන් යන්නේ නෑ හවස පහමාරෙන් හයෙන් පස්සේ සැකයක් නැතිව එලියට බහින්න බෑ. සතෙක් සර්පයෙක් කෑවත් ලෙඩා ගෙනියන්න බෑ. ගෙදර හිටියොත් ලෙඩේ නිසා මැරෙනවා. වෙදකමට ගෙනිච්චොත් අලියා ගහලා මැරෙනවා“

මේ වන විට ගම්වදින අලින් එම ගම්මානද පසු කරමින් බලංගොඩ කොළඹ මාර්ගයට පැමිණෙන තත්ත්වයක් දක්වා මෙම ප්‍රශ්නය උග්‍රවී තිබේ. එම මාර්ගයේ මරංගහවල හන්දියට වන අලින් පැමිණෙ බව එම ස්ථානයේ ත්‍රීරෝද රථ රැකියාවේ නිරත මරංගහවෙල හන්දියේ තරුණ පිරිස පවසති.

“හවස 5 පස්සේ ගම ඇතුලට යන්න බෑහැ. අලි කොතනින් මතු වෙනවාද දන්නේ නෑ. අනික ත්‍රීවීල් එකක ලයිට් එකක් හයිකර ගන්න බහැ. පොලීසිය අල්ලනවා. අලි නිසා ලයිට් එකක් නැතිව පාරේ යන්න බෑ. ලයිට් එකක් හයිකරලා දවල්ට පොලීසිය නිසා පාරේ යන්නත් බෑ. මේ මරංගහවල හන්දියට අලි එනවා. පසුගිය දවසක මේ කඩේ පිටුපස්ස කඩලා අලියා වී ගෝනි දෙකක් කාලා ගියා. ගමක ලෙඩෙක් ගෙනියන්න බැරි තත්ත්වයට පත්වෙලා“

අද වන විට සබරගමු පළාතේ බලංගොඩ හා ඉඹුල්පේ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ජනතාව වන අලින්ගේ තර්ජනයට ලක්වීම සම්බන්ධ කෙටි උදාහරණ කීපයකි ඒ. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 50කි. බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 52කි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2 තුළ වී වගාව ඇතුළු මිශ්‍ර බෝග වගා බිම් අක්කර දෙදහසකට ආසන්න වන අතර ගොවි පවුල් සංඛ්‍යාව 1500 ඉක්මවයි. වී වගාව හැරුණු කළ එළවළු පලතුරු හා ගම්මිරිස් කුරුඳු හා වෙනත් බෝගද මෙම ගොවීහු වගා කරති. සත්ත්ව හානිවලට ගොදුරු වී ඇත්තේ මෙම වගාවන් වන නමුත් ඒ සඳහා තමන්ට වන්දියක්වත් නොලැබෙන බව මෙම ගොවූහු චෝදනා කරති.

දැනට වසර 15 සිට තමන් මෙම ප්‍රශ්නයට මුහුණ දී සිටින බව එම ජනතාව පවසන අතර වන අලින් ගම් වැදීමට ඔවුන් ඉදිරිපත් කරන හේතු රැසකි.

සීග්‍රයෙන් වන ගහනය අඩුවීම මෙම ප්‍රශ්නයට ප්‍රධානම හේතුව වී තිබේ. අනෙක් ප්‍රධානම කාරණය මෙම සතුන් මෙම ප්‍රදේශවල වන වගාවන් වශයෙන් වවා ඇති ටර්පන්ටයින් සහ ඇකේෂියා ශාක ඇති වනාන්තර තුළට ඇතුළු නොවීමය. ඊට ප්‍රධානම හේතුව එම සතුන්ට එම ප්‍රදේශවලින් ආහාරයට කිසිවක් නොමැති වීමය. දෙවැන්න දල බෑවුමක් සහිත මෙම වනාන්තර ප්‍රදේශවල ඇකේෂියා ශාකවල කොල තට්ටු මතින් අලින් ඇවිද යමේ දී ලිස්සා යාමයි. සතුන්ට ආහර හා සෙවණ සැපයූ ස්වභාවික වාසභූමි අහිමි වීමත් කෘත්‍රිමව වවන වන වගාවන්වලට සතුන් ඇතුළු නොවීමත් නිසා මෙම සතුන් ආහාර සොයා ගම්මානවල වගාවන්ට කඩා වැදීම වැඩි වෙමින් ඇත .

තවත් කාරණයක් වන්නේ ගම් වදින අලි වැඩි ප්‍රමාණයක් විවිධ ආපදාවන්ට ලක්ව ඇත් අතරු සෙවණ වැනි ස්ථානවල ඇති දැඩි කර වනාන්තරවලට මුදා හැරි සතුන් වීමය. එම සතුන් ගම් වැදීමට හේතු දෙකක් තිබේ. පලමුවැන්න වනාන්තරයෙන් ආහාර සොයා ගැනීමට පුරුද්දක් නොමැති කමයි. දෙවැන්න වනාන්තරවල අලි විසින් වනයට මුදා හරින සතුන්ට පහර දී පිටතට එලවා දැමීමය. වනාන්තර එලිකිරීමට හේතු රැසකි. ඉන් ප්‍රධානම කාරණයක් වන්නේ පෟද්ගලික අංශය විසින් ඉදිකරනු ලැබූ කුඩා ප්‍රමාණයේ විදුලි බලාගාරය. මෙවැනි බලාගාර තුනක් ඉදිකර ඇත්තේ නිරන්තරයෙන් අලි ගැවසුණ ස්ථානවලය. අනෙක් පසින් සොරගුණේ වන රක්ෂිතයේ ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් බදු දීමෙන් පසු එලිකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇත. සොරගුණේ දේවාලයේ එලෙස වගාකළ ඉඩම්වලට අදාළ ව්‍යාපාරික ආයතන මගින් පුද්ගලිකව අලි වැටවල් ඉදිකිරීම නිසා එම වගාවන් ඇති ප්‍රදේශවලට සතුන් පැමිණිම වැළකී ඇතත් අලි මෙම ප්‍රදේශ කරා සංක්‍රමණය වී තිබේ.

මෙම තත්ත්වය මත ඇතැම් ගම්මානවල ගොවියන් ගම්මාන පිටින් අතහැර වෙනත් ගම්මාන වෙත පදිංචියට ගොස් ඇත. සමන් ඇල්ල එලෙස අතහැර ගිය ගම්මානයකි. එසේ ගම අතහැර දැමීම ඔවුන්ගේ ගැටලූවට විසඳුමක් ලැබී නැත. ගම්මානය අතහැර වෙනත් ස්ථානවල පදිංචිවීමෙන් පසු එම වගාබිම්ද අලි හානි කරමින් තිබේ. නිත්‍ය මළුව ගම්මානයද මෙලෙස අතහැර දමමින් තිබෙන ගම්මානයකි. වී වගාවට අමතරව පොල් වගාව අලින් විසින් හානි කර ඇති අතර එය අක්කර 25කට ආසන්න බව ගොවීහු පවසති.

සබරගමුව හා ඌව පළාත් මායිම්වන සොරගුනේ වනාන්තරයේ දේවාල ඉඩම් බදු දීමත්, මොනරාගල දිස්ත්‍රික් මායිමවන හම්බේගමුව වැනි ප්‍රදේශවල වනාන්තර එලි වීමත් අවිධිමත් වනවගාවත් සමනල වැව ජලාශයට සැලකියුතු ඉඩම් යටවීමත් විදුලි බලාගාරවලට භූමිය යටවීමත් මෙම තත්ත්වයට හේතුවී තිබේ. එමෙන්ම මෙම ප්‍රදේශවල සැලකිය යුතු ආකාරයකින් පාරිසරික සමතුලිතතාවය බිඳවැටි තිබේ. වගාවන්ට දැඩි ලෙස හානි කරන මොනරා වැනි සතුන් බෝවීමට කපුටු ගහණය හා නරි ගහණය අඩුවීම බලපා ඇත. මෙම පාරිසරක වෙනස් වීම සම්බන්ධයෙන් කිසිවකුත් අවධානය යොමු කර නැත.

පරිසරය ගැන උනන්දුවක් දක්වන සතුන්ට කරුණාව දක්වන පරිසරවේදීනට ගොවියන් පවසන්නේ මෙම ප්‍රශ්නය කතා කිරීමට නම් තම ප්‍රදේශයට පැමිණ මෙම ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්නා ලෙසයි. පරිසරවේදීන්ට හෝ මෙම ප්‍රශ්නය තේරුම් ගැනීමට නොහැකිනම් මෙම ප්‍රදේශවලට පැමිණ පදිංචි වී ගොවි ජනතාව මුහුන දී සිටින වගා හානිය සහ ජීවිත අවදානම තේරුම් ගන්නා ලෙස ඔවුහු පවසති

මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා - ජේ. එල්. ඩී. කේ. ජයසිංහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්

හල්පේ නිත්‍යමළුව කුඹල්ගම හා බුදුන්වෙල කියන වසම 4 තමයි දැනට වන අලි තර්ජනයට ලක්වෙලා තියෙන්නේ. මීට පෙර මේ සතුන් එන්නේ හල්දුමුල්ල ප්‍රදේශීය ලෙකම් කොට්ඨාසයේ ඌව පරණගම ප්‍රදෙශීය ලේකම් කොට්ඨාසයේ සිට බව හඳුනාගෙන තියෙනවා. මේ කියන ගම්මානවල පමණක් පවුල් 400 විතර ජීවත් වෙනවා. සියලුම නිලධාරීන් අලි එලවන්න යනවා. ජිවිත හානිවලට රුපියල් ලක්ෂයක් ගෙවනවා. නමුත් වගා හානිවලට මුදලක් ගෙවන්නේ නෑ. රිලවා මොනරා ගෝනා වඳුරා මේ සතුන් වගා හානි කරනවා. වල් ඌරා ආරක්ෂිත සතෙක් නොවේ කියලා තමයි දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමෙදි කතා කරන්නේ. නමුත් මිස් විකිණීම තහනම්. උයලා තියෙන මස් ඇතිලිය අරගන ගිහිල්ලා නඩු දාපු අවස්ථා තයෙනවා. මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. මේ වන සතුන් බෝවීම පාලනය කළ යුතුයි. මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා. එකක් අපි මිනිස්සු හැටියට සතුන්ගේ භූමිය අල්ලගන තියෙනවා. දැන් වන අලි ගම් වදින ප්‍රමාණය වැඩි ඉඹුල්පේ කොට්ඨාසයේ ග්‍රාම සේවක වසම් 50යි කෘෂිකර්ම කමිටු 12 තියනවා. මේ හැම කමිටුවකම ප්‍රධාන ප්‍රශ්නය මේකයි.

වන අලි ප්‍රශ්නය දවසින් දවස උග්‍රවෙනවා - හරංකාවේ පංඤාවංශ හිමි ධර්මරත්නාරාමය

අලි ඉස්සර හිටපු තැන් දෙකකම විදුලි බලාගාර දෙකක් තියනවා. බෝගන්දෙ සහ වදවල කියන ප්‍රදේශයේ. වදවල අහුවෙන්නේ රත්නපුරයට. මේ ස්ථාන අලි ගැවසුණ ප්‍රදේශ ඊට පස්සේ තමයි මේ ආසන්නවට එන්න ගත්තේ පසුගිය මාසයේ කුඹුරක් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා කොතරම් කාලයක ඉඳලද මේ ගොවියන් කියන්නේ. වගා හානිය විතරක් නෙවෙයි ජීවිත අවදානමත් එහෙමමයි. වන අලියාගේ ප්‍රශ්නය ලොකුවට පෙනුණට අනික් වන සතුනුත් මේ සිද්ධ කරන වගා හානිය බරතලයි. නමුත් එහෙම කියලා සත්තු මරන්න අපිට කියන්න බෑ. කවුරුත් එහෙම කියන්නෙත් නෑ මේ ගම්වල සිටින ජනතාව බහුතරයක් බෞද්ධයන්. ගොවියන් එහෙම කල්පනා කරන්නේ නෑ. ඒක අපි දන්නවා. හැමෝම මතු කරන්නේ මේ ප්‍රශ්නයයි. සතුන් සිදුකරන වගා විනාශය ගැනයි. ගොවියන් ණය අරගන වගා කරනවා. ඔවුන්ට තියෙන එකම ජීවන මාර්ගය ගොවිතැන. ඒ අස්වැන්න විකුණන අදායමෙන් තමයි ජීවත් වෙන්නේ. ණයක් අරගන ගොවිතැනක් කරලා ඒක සත්තු විනාශ කරලා දැම්මාට පස්සේ මේ මිනිස්සු කොහොමද ණය ගෙවාගන්නේ.

ගොවියන් වගා බිම් අතහරිමින් සිටිනවා - පී.එම්.ජයතිලක කු.ප.නි.ස

මොනරු එන්න පටං ගත්තේ සමනල වැව හැදුවයින් පස්සේ. රතුලූනූ පාත්තියක් තියා කරවිල පාත්තියක් වත් හිටුවා ගන්න බහැ. නැඳුන්ගමුවේ වගාවන් තරමකට ගොවියන් බේරාගන තියෙනවා. අලියයි මොනරායි එන්න පටං ගත්තේ එකම කාලෙයක. සමන් ඇල්ල සහ වටවල කියන ගම්මානවල කුඹුරු යායවල් අත ඇරලා ගිහිල්ලා තයෙනවා. සමන් ඇල්ල අය ගම්මාන ඇරලා දැන් මෙහාට අවිත් තියෙනවා.

දැන් ඒ මිනිසුන්ට මෙහෙත් අත ඇරලා යන්න වෙලා. නිත්‍යමළුව ගම්මානයේ අක්කර 20 විතර සම්පූර්ණයෙන්ම අත හැර ගිහින්. නිත්‍යමළුව හා ගම්මාන අවට අක්කර 15 විතර තියෙනවා. පොල් අක්කර 25 වැඩි පොල් වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා. මේ ප්‍රදේශයේ කුඹුරුවලට ට්‍රැක්ටර් දාන්න බෑ හරක්ගෙන් තමයි බිම හදා ගන්න වෙන්නේ. ගොයම් පාගන්න වෙන්නේ හරක්ගෙන්. ඒකට හරක් දාන්න තලාවල් තිබුණා. දැන් ඒ තලාවල් මිනිස්සුන්ට අහිමි වෙලා. වන වගාවන්ට කලින් මාන තාවල් තිබුණා. දැන් ඒ සියල්ල අහිමි වෙලා. දැන් හරක් පට්ටි ගණන් අතහැරලා. සොරගුනේ දේවාලයේ ඉඩම් බදු දුන්නා අක්කර 16000ක් විතර.

ගොවියන්ට ණයවෙලා හරි වගා කරලා අස්වැන්න ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ - ඩබ්ලිව්. අසංක බණ්ඩාර ගොවිජන සේවා ප්‍රදේශීය නිලධාරී

මගේ බල ප්‍රදේශය ගත්තොත් කුඹුරු අක්කර 1200ක් තියනවා. එලවලූ සහ අතිරේක බෝග වවන ගොවින් 1000කට වැඩි සංඛයාවක් සිටිනවා. ගොවීන් සියලු දෙනාටම මුහුණ පාන්න වෙලා තියන තත්ත්වයක් තමයි සත්ත්ව හානි. මොනරා රිලවු වන අලි ප්‍රශ්නය මීට කලින් තිබ්බේ බදුල්ල වැල්ලවාය මොනරාගල ආදි ප්‍රදේශවලට. දැන් රත්නපුර දිස්ත්‍රික්කයටත් මේ තත්ත්වය උදාවෙලා. ඒක ලොකු ගැටළුවක්. වගා හානිවලට අමතරව ජීවිතවලට ගැටළුවක් තියෙනවා. වී වගාව සඳහා ගොවීන් යොමු කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. සත්ත්ව හානි නිසාම දැනට වසර 15 සිටම මේ ප්‍රශ්නය කතා කරන බවයි ගොවියන් කියන්නේ. කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් අවශ්‍ය කරනවා. මොනරා මිරිස් කරලේ ඉදලා කරවිල කරල දක්වා සියලුම පලදාව කාලා දානවා.

නිත්‍යකූල මටිටමින් මේ ප්‍රශ්නය සඳහා විසඳුමක් අවශ්‍යයි. වායු රයිපල් පාවිච්චි කරන්න කියලා ගොවියන් දැනුවත් කරලා තියෙනවා. නමුත් එකක වටිනාකම රුපියල් 25000 ක් පමණ වෙනවා. ගොවියන් කියන්නේ වායු රයිපල් ගෙවීමේ ක්‍රමයටවත් දෙන්න කියාලා. වගා කරන්න කිවුවම ගොවියන් කියන්නේ සත්තු හින්දා මොනවත් කරන්න බෑනේ කියලා. නිත්‍යමලූව වසෙමේ කුඹුරු අක්කර 7ක් අලි කෑවා. අලින්ට ඉන්න කැලයක් වවන්න මාසයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් වැඩපිලිවලක් අවශ්‍යයි.

කතාව සහ ඡායාරූප
ධම්මික ප්‍රියදර්ශන

Comments