ලෝක රැලි ශූරතාවලියේ සෙබස්තියන් ඉදිරියෙන් | සිළුමිණ

ලෝක රැලි ශූරතාවලියේ සෙබස්තියන් ඉදිරියෙන්

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලෝක රැලි ශූරතාවලියේ 2017 වසරේදී නැවත වතාවක් ලෝක ශුරයා වීමට ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රංශයේ සෙබස්තියන් ඔජියර්ය.

2017 ලෝක රැලි ශුරතාවලියේ 11 වැනි අදියර ඔක්තෝබර් 06 - 08 දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්විණි. ඒ අනුව තවත් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ වේල්ස් (ඔක්තෝබර් 27 - 29) සහ ඔස්ට්‍රේලියානු (නොවැම්බර් 17 - 19) යන රැලි පමණකි.

වාර්ෂික මෙම ලෝක ශූරතාවලියට අදියර 13 ක් අයත්ය. එය ජනවාරි මස 19 දා ඇරැඹිණි. එහිදී ඇතැම් අදියර තෙදිනක් හෝ සිවුදිනක් පුරා පැවැත්වේ.

ඔජියර්ට මේ වන විට 2017 ලෝක ශූරතාවලියේදී මුළු ලකුණු 198 ක් හිමිය. දෙවන තැන එස්තෝනියාවේ ඕට් ටානාක්ටය. ඔහුට ලකුණු 161 කි. බෙල්ජියමේ තියරි නෙවිල්ට තෙවැනි තැනය. ඔහුට ලකුණු 160 කි. සිවුවන තැන ලකුණු 123 ක් හිමි පින්ලන්තයේ යාරි මාටි ලැට්වාලාටය. පස්වැනි තැන ස්පාඤ්ඤයේ ඩානි සෝර්ඩෝටය. ඔහුට ලකුණු 94 කි.

33 හැවිරිදි ඔජියර් 2008 වසරේ සිට මෙම ශූරතාවලියට සහභාගි වෙයි. 2013 සිට 16 දක්වා පිට පිටම මෙහි ලෝක ශූරයා වූයේ ඔහුය. මෙම ලෝක ශූරතා සතරේදිම ඔහුගේ සහායට සිටිය අනෙක් රියදුරා වූයේ ප්‍රංශයේම ජුලියන් ඉන්ග්‍රාසියාය. හෙතෙම 37 හැවිරිදිය. මෙවරත් ඔවුන් ලෝක ශූරයෝ වීමට ඉදිරියෙන්ම සිටිති. ඔවුනට මුළු අදියර ජය 40 කි.

ටානාක් 30 හැවිරිදිය. 2009 - 12 සහ 2014 සිට තරග කරයි. අදියර ජය දෙකකි. ඔහුගේ සහායක රියදුරා වන්නේ මාර්ටින් යාර්වෙයෝජාය. හෙතෙම 30 හැවිරිදිය.

නෙවිල් 29 හැවිරිදිය. 2008 - 10 දක්වා ඔහු මුලින්ම මෙම ශූරතාවලියට සහභාගි විය. නැවත 2012 සිට තරග කරයි. තවමත් ඔහුට ලෝක ශූරතාවක් නැත. නමුත් අදියර 05 ක් ජය ගෙන තිබේ. ඔහුගේ සහාය රියදුරා වනුයේ බෙල්ජියමේම නිකොලාස් ගිල්සෝල්ය. හෙතෙම 35 හැවිරිදිය. ලැට්වාලා 32 හැවිරිදිය. 2002 වසරේ සිට තරග කරයි. ජයගත් මුළු අදියර ගණන 17 කි. මිකා ඇන්ටිලා ඔහුගේ සහායට සිටියි. හෙතෙම 45 හැවිරිදිය.

සෝර්ඩෝ 34 හැවිරිදිය. 2003 සිට තරග කරයි. අදියරක් ජය ගෙන තිබේ. මාර්ක් මාර්ටි සහාය රියදුරාය. මාර්ටි 51 හැවිරිදිය. 1992 සිට තරග කරයි. මුළු අදියර 03 ක් ජය ගෙන තිබේ.

මෙම ලෝක ශූරතාවලියේදී වාර්ෂිකව ත්‍රිත්ව ශූරතා පිරිනමයි. ඒ ප්‍රධාන රියදුරු, සහායක රියදුරු සහ කණ්ඩායම් වශයෙනි. 2017 දී මේ වන ඉදිරියෙන්ම සිටින්නේ එම්. ස්පෝර්ට් ලෝක රැලි කණ්ඩායමයි. ඊට ලකුණු 358 කි. එය නියෝජනය කරන්නේ බ්‍රිතාන්‍යයයි. මෙම කණ්ඩායමට ඔජියර්, ඉන්ග්‍රාසියා, ටානාක් සහ යාර්වෙයෝජා අයත්ය.

මෙහි දෙවන තැන දකුණු කොරියාවේ හුන්ඩෙයි මෝටර්ස්පොර්ට්ටයි. ඊට ලකුණු 275 කි. නෙවිල්, සෝර්ඩෝ, ගිල්සෝල් සහ මාර්ටි එහි සාමාජිකයෝය. මේ වන විට ලකුණු 225 ක් හිමි ජපානයේ ටොයොටා ගෑෂු රේසිං ලෝක රැලි කණ්ඩායමට තෙවැනි තැනයි. ඊට ලැට්වාලා සහ ඇන්ටිලා අයත්ය.

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය විසින් ප්‍රථම වරට ලෝක රැලි ශූරතාවලිය පැවැත්වූයේ 1973 වසරේදීය. ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ 44 වැනි ලෝක ශූරතාවලියයි.

මෙම ශූරතාවලි ඉතිහාසයේ සාර්ථකම ශූරයා වනුයේ ප්‍රංශයේ සෙබස්තියන් ලොයෙබ්ය. මේ වන විට 43 හැවිරිදි වන ලොයෙබ් ලෝක ශූරතා නවයක්ම හිමිකර ගත්තේය. ඒ 2004 - 12 දක්වා පිට පිටමය.

මීට අමතරව ඔජියර් සහ පින්ලන්තයේ යුහා කන්කුනෙන් මෙන්ම ටොමි මැකිනෙන්ටද ශූරතා සතර බැගිනි. යුහා 1986, 87, 91, 93 ලෝක ශූරයාය. ටොමි 1996 - 99 දක්වා පිට පිට ලෝක ශුරයාය.

 

Comments