
ක්‍රිකට් පිටියේ අසහාය වීරයකුවන මුරලිගේ සෙවණැල්ලට වැසී ගිය රංගන ගේ රංගනය, මුරලි ක්‍රිකට් පිටිය හැරයාමෙන් පසුව නැවත කරළිගත විය. ශ්‍රී ලංකා - පාකිස්තාන් පළමු ටෙස්ට් තරගයේදී නොතිබූ ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය රංගන සිය හාරසිය වැනි කඩුල්ල එකී තරගයේදී සම්පූර්ණ කරගත්තේ ටෙස්ට් පිටියේ වාර්තා රැසකට ද උරුමකම් කියමින්ය. ඒ සියලු වාර්තා අතර කඩුලු 400 ක් දවා ගත් පළමු වමත් දඟ පන්දු යවන්නා ලෙස ඉතිහාසගතවීමට ද රංගනට හැකිවිය. මේ අතර ටෙස්ට් පිටියේ වමත් පන්දු යවන්නකු විසින් බිඳ හෙළා ඇති වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව වන වසිම් අක්රම්ගේ කඩුලු 414 ඉක්මවා යාමට අවැසිව ඇත්තේ තවත් කඩුලු 10 ක් පමණි.
රංගනගේ ටෙස්ට් දිවියෙන් වැඩිම කාලයක් මුරලිගේ මැජික් පන්දුවට ඉඩකඩ ලබාදෙමින් බලා සිටින්නට සිදු විය. මුරලිගේ මැජික් පන්දු ඉදිරියේ මේ ඉරණමට ගොදුරු වූ එකම ලාංකේය පන්දු යවන්නා රංගන නොවේ. රංගන සිය හාරසිය වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ සිය 84 වැනි ටෙස්ට් තරගයේදීය. අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 400 දවා ගත් පන්දු යවන්නා මුරලියි. වමත් දඟ පන්දු යවන්නා රංගනයි. වමත් පන්දු යවන්නා රිචඩ් හැඩ්ලිය. ඒ සඳහා තරග 80 ක් වැය වී තිබේ.
ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවැනි ටෙස්ට් තරගය අවසානයේ කඩුලු 405 ක් දවා ගෙන ඇති රංගන ඉන් කඩුලු 106 ක් ම දවා ගෙන ඇත්තේ ද පාකිස්තානයට එරෙහිවවීම විශේෂත්වයකි. බටහිර ඉන්දීය කොදෙව්හිදී රංගනගේ කඩුලු මල්ලට එකදු කඩුල්ලක් හෝ එක්කර ගැනීමට නොහැකිවීමද විශේෂත්වයකි. 2003 බටහිර ඉන්දීය කොදෙව්හිදී එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති රංගන එහිදී පන්දුවාර 47 ක් යවා තිබේ.
පළමු වසර පහේදී රංගන දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 36 කි.
රංගන සියලු සෙල්ලම් පටන් ගත්තේ සිය පළමු ටෙස්ට් තරගයට එක් වූ 1999 සිට නොවේ. ඉන් වසර 10 ක් ගෙවී ගිය තැන් පටන්ය. 1999 සිට ගෙවී ගිය දශකයකට ආසන්න කාලය ම රංගනට සමහරවිට බංකුව පවා හිමි නොවීය.
2009 දී සිය කඩුලු දඩයම අරඹන රංගන මේවන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 405 කි. මේ අතර 2001 - 02 - 03 - 06 - 07 යන වර්ෂයන්හි එකදු ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයකි.
ඉනිමක වැඩිම කඩුලු පහක් බිඳ හෙලූ (33) වමත් දඟ පන්දු යවන්නා වන රංගන සමස්ත පන්දු යවන්නන් අතර පස්වැනියා ද වෙයි. තරගයක වැඩිම වතාවක කඩුලු 10 ක් දවාලූ (9) වමත් දඟ පන්දු යවන්නා වශයෙන් ද පෙරමුණේ පසුවන රංගන සමස්ත පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
නිහඬ දඩයක්කරුගේ ගමන
තරග 85
පන්දු 24,107
ලකුණු 11,269
කඩුලු 405
සාමාන්‍ය 27.82
ඉනිමක හොඳම 127-09
තරගයක හොඳම 184-14
ඉනිකම කඩුලු 5 බැගින් 33
තරගයක කඩුලු 10 බැගින් 9










