
සිංහල ව්‍යවහාරයෙහි දක්නා ලැබෙන සංස්කෘත තත්සම කිහිපයක් අදත් විමැසිල්ලට ලක් කරමින් ඒවායේ හරි වහර මතු කැරගනිමු. කලිනුදු වරෙක කී සේ ‘හරි වහරෙහිලා බොහෝ විට තත්සමවල ම හරි වහර මතු කිරීමට තැත දැරෙනුයේ තද්භව, නිෂ්පන්න දෙකට ම වඩා බෙහෙවින් වරදවා යෙදෙනුයේ තත්සම - ඉනුදු සංස්කෘත තත්සම ම බැවිනි.
1. චඤ්චල - ෙම්, මෙ වදනේ ඉතා ම නිවැරැදි රූපය පළමු වැ අවධානයට ගත යුත්තේ වදනෙහි අග (දන්තජ) ‘ල’ විනා (මූර්ධජ) ‘ළ’ නොයෙදෙන බව යි. දෙවනු වැ ‘ඤ්’ නාසික්‍යය කෙරෙහි අවධානය යොමු කළ යුතු යි. එයට පසු වැ (තාලුජ ශබ්දයක් වන) ‘ච්’ යෙදෙන හෙයිනි මෙහි ‘ඤ්’ නාසික්‍යය යෙදෙනුයේ. එ වුව ද සියලු නාසික්‍ය ශබ්ද නියෝජනය පිණිස අනුස්වාරය හෙවත් බින්දුව යෙදීමේ නියරින් ‘චංචල’ යනු ද යෙදිය හැකි යි. සැබැවින් ම අද වහරෙහි වඩාත් පතළ වැ ඇත්තේ ද එය යි. අරුත සසල යනුයි.
2. චණ්ඩ - මෙහි ‘ඩ’ ශබ්දයට පෙරටු වැ (මූර්ධජ) ‘ණ්’ යෙදෙන අයුරු කෙරෙහි සැලැකිලිමත් විය යුතු ය. මෙහි දු යට කී (බින්දුව යෙදීමේ) නියර යෙදෙතොත් ‘චංඩ’ යනුදු ලිවිය හැකි යි. එහෙත් ව්‍යවහාරයෙහි නම් එබන්දක් යෙදෙන අයුර නො පෙනේ. පාලියෙහි දු යෙදෙනුයේ ‘චණ්ඩ’ යන රූපය ම ය. මේ හා අනුරූප වැ සිංහලයෙහි ‘සැඬ’ යන්න යෙදේ. එහි දු සඤ්ඤක ‘ඬ’ය. ‘චණ්ඩි’ යන්න ද යෙදේ. දරුණු යනු අරුත යි.
3. චණ්ඩාල - මෙ ද පාලි සංස්කෘත දෙත්හි ම සමාන වැ යෙදෙන්නෙකි. මෙහි සැලැකිය යුතු කරුණු නම් (චණ්ඩ යන්නෙහි ම සේ ම) මූර්ධජ ‘ණ්’ යෙදීමත් වෙසෙසින් ම අග (දන්තජ) ‘ල’ යෙදීමත් ය. භාරතයෙහි පහත් කුල විශේෂයක් හඳුන්වනුව යෙදුණු මෙ වදන පුරාතන සිංහලයෙහි දු යෙදී ඇත. මේ හා අනුරූප සිංහල වදන නම් ‘සැඬොල්’ යනු යි.
4. චතුර්ථ - මෙහි වෙසෙසින් සැලැකිය යුතු වන්නේ නම් වදනෙහි මුල (අල්පප්‍රාණ) ‘ච’ යෙදීමත් අග (මහාප්‍රාණ) ‘ථ’ යෙදීමත් ය. ‘තු’ යනුදු අල්පප්‍රාණ ම ය. අරුත නම් සිවු වන යන්න යි. පාලියෙහි මෙ වදන ‘චතුර්ථ’ යන රූපයෙන් ව්‍යවහාර කැරේ. ‘ර්’ සඳහා රේඵය ලක්ෂණ යොදතොත් චතුථි යන රූප යද යෙදිය හැක්කේ ය.
5. චතුර්දශ - මෙහි (අල්පප්‍රාණ) ‘ද’ සමඟ (තාලුජ) ‘ශ’ යෙදීම කෙරෙහි අවධානය යොමු කිරීම මැනැවි. දහ හතර දැන්වීම සඳහා යෙදේ. පාලියෙහි චතුද්දස යනු ද සිංහලයෙහි ‘තුදුස්’ යනු ද මේ අනුරූප වැ යෙදෙන වදන් ය. රේඵය යොදතොත් චතුර්‍දශ, චතුර්‍දදශ යන රූප ද ලිවිය හැකි ය.
6. චතුෂ්ක - මෙහි අග (අල්පප්‍රාණ) ‘ක’ යනු පෙරටු කොට (මූර්ධජ) ‘ෂ්’ යෙදීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තැන යි. සතරෙහි ඒකකයක් හැඳින්වීම සඳහා වහර කැරේ. පාලියෙහි ‘චතුක්ක’ යන්න මේ අරුත දෙන වදන යි.