හදවත පිරිසිදු කර ගත මැනව | සිළුමිණ

හදවත පිරිසිදු කර ගත මැනව

සාහිත්‍ය අටුවාව

සාමාන්‍ය තරුණයකුට වඩා වෙනස් ලක්‍ෂණ ඇති තරුණයකු පොලුවලින් පහර දී මරා දැමීමේ සිදුවීම ම සිත මහත් කම්පාවට ලක් කළේ ය. මීට කලකට පෙර ඉසුරු චාමර සෝමවීර කවියාගේ විශිෂ්ට කවියකට නිමිත්ත වූයේ සමකාමී තරුණයකු මහමග දී පොලිස් ප්‍රහාරයකට ලක්වීම ය. ජීවිතය නැමති පුෂ්පය තළා පෙළා පොඩිකර දැමීමේ සාහසිකත්වය පැන නඟින්නේ ආගම හා සදාචාරය රැකගැනීමේ චින්තනයෙනි. මානව විවිධත්වය සහ මානව බන්ධුතා ඉහළින් අගයන සමාජයක මෙවැනි ම්ලේච්ඡත්වයක් තිබිය නොහැකිය. බුදු දහමින් ශික්‍ෂිත රටක් හැටියට විසම්මුතියේ අගය වටහාගෙන තිබුණි නම් ජීවන පුෂ්පය පොලු පහරින් තළා පෙළා දැමීමේ මානසිකත්වය පැන නොනගියි. වෙනස් ගති ඇති පුද්ගලයින් මහා සමාජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබන්නා සේම වෙනස් ලක්‍ෂණ ඇති කවිය සාම්ප්‍රදායික කවි සමය ඇසුරු කරන්නන් ප්‍රතික්‍ෂේප කිරීමට ද ඉඩ තිබේ. ඉසුරු චාමර සෝමවීර යනු අති සියුම් කාව්‍ය චින්තා මතු කිරීමේ ගුණය සහිත කවියෙකි.

මීට දශකයකට පමණ ඉහතදී ඔහු ලියූ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන ‘සුද’ ගොඩගේ ජාතික සම්මාන උලෙළේ දී නැගී එන නිර්මාණ කරුවාට හිමි සම්මානය දිනා ගත්තේ ය. ඉන් ටික කලකට පසු ඔහු ලියූ තාණ්ඩව කවි පොත විද්‍යෝදය සම්මාන උලෙළේදී සහ ගොඩගේ සම්මාන උලෙළේදී විශිෂ්ටතම පොතක් ලෙස නිර්දේශ කෙරිණි. අප දෙදෙන මැද මහ මුහුද 2016 වසරේ ඔහු පළ කළ පොතයි. මේ කෘතියෙහි විශේෂත්වය දුටු අප විසින් ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී සාකච්ඡා සභාවක් සංවිධානය කරන ලදී. ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, අනුරසිරි හෙට්ටිගේ, මහින්ද මස්ඉඹුල, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල ඇතුළු පිරිස් එහිදී අදහස් දැක්වූහ. මෙහිදී ඉසුරුගේ කවිය හා සමකාලීන කවිය සම්බන්ධයෙන් අගනා අදහස් සමුදායක් ඉදිරිපත් විය. මේවා සාහිත්‍ය පිටුවලට ඉතා වැදගත් වන නමුත් කිසිදු මාධ්‍යවේදියෙකු එම වගකීම ඉටු කළේ නැත. මේ අන්දමින්, වසන්ත නිවුන්හැල්ල, උපුල් සේනාධිරිගේ, විහඟ සත්සර, ධනුෂ්ක එදිරීවීර බණ්ඩාර, ලක්ශාන්ත අතුකෝරල, යනාදී කවීන් රැසකගේ නව නිර්මාණ මාසිකව සාකච්ඡා කිරීමේ වැඩසටහනක් දියත් විය. මේ සංවාදවල වැදගත් කොටස් පුවත්පත්වල පළ කෙරුණි නම්, ඉසුරුගේ පොතටද මීට වඩා සාධාරණයක් ඉටුවන්නට ඉඩ තිබූ බව මගේ හැඟීම ය. ලක්ශාන්ත අතුකෝරලගේ සමහර කමටහන් පොත හැම සම්මාන උළෙලකදීම හොඳම පොත බවට පත්වීම යුක්ති යුක්ත ය. එහෙත් ඉසුරුගේ පොත හොඳම පොත් කීපය අතරට නිර්දේශ වුණා නම් සර්ව සාධාරණ බව මගේ හැගීම ය. ජාති, ආගම්, කුල හා ලිංගිකත්වය යනාදී සාධක අනුව වෙනස්කොට සලකන සමාජයකට ඉසුරුගේ කවියේ සූක්‍ෂ්ම ගුණය ආගන්තුක වීමට ඉඩ ඇත.

සෘජු ප්‍රකාශන ශෛලියකට ළං වූ කවි විචාරක ප්‍රසාදයට ලක්වීමේ ප්‍රවණතාවක් මෑත කාලයෙහි පටන් වර්ධනය වෙමින් පවතී. චිරන්තන ජයසේනගේ ‘මිත්‍රවරුනි විප්ලවය සිදුවූයේ නැත’ කෘතිය නිසි තැන්හි පිහිටුවීමට විචාරක පර්ෂද අසමත් වූයේ ද එනිසා වනැයි සිතමි. මෙතෙක් අපගේ විචාර කතිකාවලට මුල් වූ කවිපොත් නූතන කවියේ විවිධ ධාරා නියෝජනය කරයි. මේවායේ කාව්‍යමය විශිෂ්ටත්වය, තේමාත්මක මුවහත, භාෂාමය සංදිග්ධතාව, ජීවන දෘෂ්ටිය යනාදී ලක්‍ෂණ බහුමානීය කියවීමකට කල් කළ යුතු බව අපගේ හැගීම විය. ඒ මිස ගුරුකුල ගොඩ නැගීමක් අපේක්‍ෂා නොකෙරිණි. එසේ වුවද තමන්ගේ වැඩක් බලාගෙන සිටි අතැමුන්ට හිටි අඩියේ නූතන කවිය සිහිපත් වී ඇත. ඔවූහු හැරුණු අතට අවලාද එල්ල කරති. මහත්වරුනි, කවිය වැනි අති සුන්දර කලාවක් ගැන කතා කිරීමට පෙර කුණුකන්දල් ඉවත් කර හදවත පිරිසිදු කර ගත මැනව.

Comments