
උඩුනුවර වෙළම්බඩ පදිංචිව සිටි ප්‍රදීප් කුමාර සම්පත් මෙලොවින් සමුගෙන ගොස් දැන් මාස තුනකට ආසන්න කාලයක් ගතව තිබේ. විසිහතර වැනි වියේ පසුවූ ඔහු මියගියේ යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. තලාතුඔය කපුලියද්දේ පදිංචිව සිටි විසිඅට හැවිරිදි නලින්ද බණ්ඩාර සකලසූරිය මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තාමත් ගතව ඇත්තේ දින අටක් පමණි. ඔහුටද දිවි අහිමි වූයේ යතුරු පැදි අනතුරකිනි. මව්කුසේ පිළිසිඳ ගත්දා පටන් නොනැවතී ගැහෙන්නට පටන් ගන්නා හදවත උපතින් පසු නවතින මොහොකත අප කාටත් අවසන් හුස්ම පොද හෙළන්නට සිදුවන බව අප මෙතෙක් දැන සිටි සත්‍යයයි. එහෙත් ප්‍රදීප් හා නලින්ද මෙලොව හැර ගියත් ඔවුන් දෙදෙනාගේම හදවත් තාමත් නතර නොවී ගැහෙමින් පවතී. ඒවා මරණය පෙනී පෙනී සිටි දෙදෙනකුගේ ශරීරය තුළ නොනැවතී ගැහෙමින් ඔවුන්ට ජීවිත් වන්නට වරම් ලබාදී තිබේ. ඒ අනුරාධපුරයේ පදිංචි තිස්හය හැවිරිදි එක්දරු මවක වන පුෂ්පා කුමාරිට හා අලුත්ගම පදිංචි සචිනි සෙව්වන්දිටය. අද පුෂ්පා ජීවත්වන්නේ ප්‍රදීප්ගේ හදවතිනි. සෙව්වන්දිට ජීවිත් වීමට වරම් ලැබී ඇත්තේ නලින්දගේ හදවතිනි.
මහනුවර මහ රෝහලේ ප්‍රථම හදවත් බද්ධය සිදු කෙරුණේ මෙම වසරේ ජූලි මස 07 දිනය. මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ අමරණීය දිනයක් සනිටුහන් කරමින් සිදුකළ එම සැත්කම ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම හදවත් බද්ධ කිරීම විය. උඩුනුවර වෙළම්බඩ පදිංචිව සිටි 24 හැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත්ගේ හදවත එහිදී අනුරාධපුරයේ පුෂ්පා කුමාරිට බද්ධ කෙරිණි. මෙරට ප්‍රථම හදවත් බද්ධය සිදු කිරීම සඳහා වෛද්‍යවරුන් සැලසුම් කර තිබුණේ අලුත්ගම සචින් සෙව්වන්දිටය. ඇය පසුගිය මාර්තු මස 28 දින සිට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ගැලපෙන හදවතක් අපේක්ෂාවෙනි. ඉතා අඩු වයසක පසුවූ මෙම තරුණියගේ ජීවිතය බේරා ගැනීම සඳහා තිබූ එකම විකල්පය හදවතක් බද්ධ කිරීම බව දත් වෛද්‍යවරු එම සැත්කම මෙරට ආරම්භ කිරීම සඳහා කළ සැලැසුම් ඉක්මන් කිරීමට සෙව්වන්දිද එක් ප්‍රධාන හේතුවක් විය. එහෙත් පළමු හදවත් බද්ධය සඳහා ලැබුණු ප්‍රදීප්ගේ හදවත ඇයට නොගැලපිණ. ඒ වනවිටත් අනුරාධපුර රෝහලේ හදවත් ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුෂ්පා කුමාරිට එම හදවත බද්ධ කිරීම සඳහා අවධානය යොමු වූයේ ඉන් පසුය.
පුෂ්පකුමාරිට හදවත් බද්ධය සිදු කිරීමෙන් පසු තවත් හදවතක් ලැබෙන තුරු සෙව්වන්දිට මාස දෙකහමාරක් බලා ඉන්නට සිදුවිය. පොලොන්නරුවේ පදිංචි යුද හමුදා සෙබළෙකු වන එච්.එම් තරංග (26) යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ මොළය මියගොස් ඇති බවට වෛද්‍යවරු තීරණය කිරීමත් සමඟ බද්ධ කිරීම සඳහා ශරීර අවයව පරිත්‍යාග කිරීමට බිරිඳ කැමැත්ත පළකර තිබිණි. ඒ අනුව ඔහුගේ හදවත සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා පරීක්ෂණ මගින් එය ඇයට ගැළපෙන බව තහවුරුව ඇත. තරංගගේ සිරුර වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ගිලන්රථයකින් මහනුවරට රැගෙන එන ලද්දේ පසුගිය 19 වෙනි දිනය. සෙව්වන්දිගේ හදවතේ ක්‍රියාකාරීත්වය ඒ වනවිට 10 % ක පමණ මට්ටමක් දක්වා අඩුවී තිබූ බැවින් ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් හදවතක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර තිබිණි.
‘මගේ ලොකු දුව මියගියේ අවුරුදු 19 දීයි. හදවත් රෝගයකින් පෙළුණු ඇය 2012 අපිව අතහැරලා ගියා. ඒ අවුරුද්දෙම තමයි පොඩි දුවටත් හදවත් රෝගයක් තිබෙනවා කියලා දැන ගත්තේ. මුලින් හැදුනේ ඔළුයේ කැක්කුමක්. ඒකට බෙහෙත් ගන්න ගියාම තමයි දුවගේ හදවත එන්න එන්න දුර්වල වෙනවා කියලා දැන ගත්තේ. කළුතර හොස්පිට්ල් එකෙන් ප්‍රතිකාර ගත්තා. පස්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළු කළා. එතනින් තමයි නුවර හොස්පිටල් එකට ආවේ. මාස හතක් දුව නුවර රෝහලේ ඉන්නවා. විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහත්තයා කිව්වා දුවට හදවතක් බද්ධ කරන්න ඕන කියලා. දුවට ගැළපෙන හදවතක් බද්ධ කරන්න ලැබුනා කියලා දැන ගත්තම මට ඉන්න තැන අමතක වුණා. දුවත් හොඳටම සතුටු වුණා. එයා දන්නවා එයා ඉන්න තත්ත්වය. අඩි 10 ක් ඇවිද ගන්න බැහැ හොඳටම හති...‘සෙව්වන්දිගේ පියා මහේෂ් කුමාර පවසයි.
‘හදවත බද්ධ කරන්න දුවව 19 දා රෑ සූදානම් කළා. ශල්‍යකර්මයට කලින් දුවව නාවලා බෙහෙත් වගයක් දුන්නා. අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. එකපාරටම දොස්තර මහත්තයෙක් ඇවිත් කිව්වා හදවත් සැත්කම කරන්න බැහැ කියලා. මම ඇයි ඇහුවා. යන්ත්‍රවල ප්‍රශ්නයක් නිසා නිර්වින්දන වෛද්‍යවරු සැත්කම කරලා ලෙඩාගේ වගකීම බාර ගන්න බැහැ කියලා. ඒ නිසා තමයි දුවගේ හදවත් බද්ධ කිරීම නැවතුණේ..‘ ඒ ප්‍රමාදයෙන් බද්ධ කිරීමට ගෙනා තරංගගේ හදවතේ ස්පන්දනය නතර වෙත්දී සෙව්වන්දිගේ පියාගේ හදවතද මොහොතකට නතර වන්නට ඇත්තේ තම දියණිය මරණයෙන් ගලවා ගන්නට නොහැකි වේදෝයි යන හැඟීම හදවතට ඇතුළුවූ නිසාවෙනි.
හදවත් බද්ධයකින් පමණක් ජීවිතය රැක ගැනීමට හැකිව තිබූ තම දියණියට හදවත් බද්ධය සිදු නොකිරීමෙන් මහත් කැලඹීමට පත් මහේෂ් ඒ පිළිබද සෞඛ්‍යය ඇමැතිවරයාට, සෞඛ්‍යය අධ්‍යක් ජනරාල් වරයාට, පොලීසියට හා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළේය. වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් මෙම හදවත් බද්ධය නතර වීමට හේතු වූයේද යන්න සෙවීමට ඔහු පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. ඇමැතිවරයා පසුගිය 25 දින මහනුවර රෝහලේ හදවත් සැත්කම්වලට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම කොළඹට කැදවා සාක්ච්ඡාවක් කළේය. එම සාකච්ඡාව අවසන් වනවිට සෙව්වන්දිට බද්ධ කිරීම සඳහා ගැළපෙන හදවතක් ලැබී ඇතැයි යන පණිවිඩය වෛද්‍යවරුන්ට ලැබී තිබිණි. යළිත් කණ්ඩායමක් ලෙස කටයුතු කර හදවත් සැත්කම් සිදුකරන බවට වෛද්‍යවරු ඇමැතිවරයාට දුන් පොරොන්දුව පසු දිනම ඔවුන් විසින් ඉටු කරනු ලැබූහ.
හදවතක් ලැබී තිබියදීත් එම හදවත බද්ධ කර ගැනීමට වාසනාව නොලද සෙව්වන්දිට හරියටම ඊට සතියකට පසු බද්ධ කිරීම සඳහා තවත් හදවතක් ලැබිණි. ඒ තළාතුඔය පූලියද‍්දේ පදිංචිව සිටි නලින්ද බණ්ඩාර සකලසූරියගේ හදවතය. විසිඅට හැවිරිදි වියේ පසුවූ අවිවාහකයකුවූ නලින්ද පසුගිය 21 දින යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින පහක් ප්‍රතිකාර ලබමින් සිට ඇත.
‘මරණ ගෙදරක ගිහින් බයිසිකලෙන් රෑ ගෙදර එනකොට තමයි හාරගමදී පුතාගේ බයිසිකලේ කාර් එකක වැදිලා ලයිට් කණුවක හැප්පිලා තිබෙන්නේ. එයාගේ ඔළුව වැදිලා අසාධ්‍යය තත්ත්වයෙන් තමයි මහනුවර රෝහලට ඇතුළු කරලා තිබෙන්නේ. එයාගේ මොළය මියගොස් තිබෙන බව දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු පැවසුවා. ඒ වනවිටත් පුතා හිටියේ මැෂින් එකට හයි කරලා. පුතාව ජීවත් කරවන්න බැරි බව කී වෛද්‍යවරු කැමැති නම් එයාගේ අවයව පරිත්‍යාග කරන්න පුළුවන් කිව්වා. මම හිතුවා පුතාට මේවගේ අකල් මරණයක් මතු භවයකදී වත් සිදු නොවෙන්න එයාගේ අවයව දන් දෙන්න ඕන කියලා. පස්සේ මම දොස්තර මහත්වරුන්ට කැමැත්ත දුන්නා. එයාගේ හදවත සෙව්වන්දි තරුණියටත් වකුගඩු දෙක තවත් රෝගීන් දෙදෙනෙකුටත් බද්ධ කරලා....‘ නලින්දගේ පියාවන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. සෙනවිරත්න බණ්ඩාර මහතා කීය.
සෙව්වන්දිට නලින්දගේ හදවත බද්ධ කිරීමේ සැත්කම ආරම්භ වූයේ පසුගිය 26 දින රාත්‍රී 11.00 ට පමණය. එය බද්ධ කර අවසන් කිරීමට පැය හයක පමණ කාලයක් ගතව තිබේ. මෙම හදවත් බද්ධය මෙරට සිදුවූ දෙවන හදවත් බද්ධය ලෙසින් ඉතිහාසයට එක්විණි. ලොව ප්‍රථම හදවත් බද්ධය සිදුව ඇත්තේ අදින් අඩසියවසකට පෙර දකුණු අප්‍රිකාවේදීය. එය ශ්‍රීලංකාවවේ සිදු කිරීම සඳහා වසර පනහක් බලා සිටින්නට වෛද්‍යවරුන්ට සිදුවූයේ එය ඉතා බැරෑරුම් ශල්‍යකර්මයක් නිසාවෙනි. ශරීරයට අවශ්‍ය වන රුධිරය එහි සෑම ස්ථානයකට ගලා යෑමට සැලැස්වීමෙන් ජීවය පවත්වා ගැනීමට හදවත සිදුකරනු ලබන මෙහෙය මිල කළ නොහැකිය. සාමාන්‍යයෙන් අවුරුදු 70 ක පමණ ආයු කාලයක් ගත කරන පුද්ගලයකුගේ හෘදය එම කාලය තුළ පොම්ප කරනු ලබන මුළු රුධිරය ප‍්‍රමාණය ලීටර් මිලියන 200 කට ආසන්න බව වෛද්‍යවරු පවසති.
බද්ධ කිරීමක් සඳහා පුද්ගලයකුගේ හෘදය ලබා ගැනීම දීර්ඝ ක්‍රියාවලියකි.ජීවතුන් අතර සිටින අයෙකුගේ අක්මාවෙන් කොටසක්, වකුගඩුවක් ගෙන එය වෙනත් අයෙකුට බද්ධ කළ හැකි වුවත් හදවත් බද්ධයක් සිදු කිරීමට නම් එය ලබා ගන්නා පුද්ගලයා මරණයට පත්වීම අත්‍යවශ්‍යය කරුණකි. මේ නිසා සෑම හදවත් බද්ධයක් පසුපසම කෙනකුගේ උපතද තවත් අයෙකුගෙ විපතද සනිටුහන් වන බව අසත්‍යයක් නොවන්නේය. බද්ධ කිරීමක් සඳහා හෘදය ලබා ගත හැක්කේ මොළය මියගොස් දැඩි සත්කාර ඒකකයක් තුළ යන්ත්‍රානුසාරයෙන් හදවතේ ක්‍රියාකාරීත්වය රඳවා තබාගෙන සිටින අයෙකු ගෙන් පමණි.මිනිස් සිරුරේ සියලු ඉන්ද්‍රියන් පාලනය කරනු ලබන මොළයට හානිවන අවස්ථා රැසක් තිබේ. හදිසි අනතුරු, පහරදීම් වලට ලක්වීම, ගෙඩි හෝ අස්භාවික වර්ධනයන් ඇතිවන අවස්ථාවල මොළයට බරපතල හානි සිදුවීමට පුළුවන. එවැනි රෝගීන්ට දැඩි සත්කාර ඒකකයක් තුළ යන්ත්‍රයක ආධාරයෙන් (Ventilator) ප්‍රතිකාර ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරු හා හෙද කණ්ඩායම් දැඩි උත්සහක නිරත වෙති. එම ප්‍රතිකාර මගින් සුවපත් කළ නොහැකිව මොළය මියයන රෝගීන්ට අවසානයේ අත්වන්නේ මරණයය. මොළය මියගිය පසු යන්ත්‍රානුසාරයෙන් රෝගියාගේ හෘද ස්පන්දනය, පෙණහලු හා වකුගඩු ක්‍රියාකාරීත්වය ඉතා කෙටි කාල සීමාවක් පවත්වා ගෙන යා හැකිය. බද්ධ කිරීම සඳහා එම පුද්ගලයාගේ හෘදය ඇතුළු අවයව ලබා ගත හැක්කේ එම අවස්ථාවේදී වන අතර ඊට රෝගීයාගේ ළඟම ඥාතීයාගේ කැමැත්ත අත්‍යවශ්‍යයය.
හදවත් බද්ධයකදී සිදු වන්නේ එක් අයෙකුගේ හදවත තවත් අයෙකුට බද්ධ කිරිමය. මෙහිදී ඕනෑම ශරීරයක් විසින් භාහිරින් අලුතින් ශරීරයට එක්වූ අවයවය ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍යය තත්ත්වයකි. මෙය වැළැක්වීම පිණිස අවශ්‍යය කටයුතු බද්ධ කිරීමට ප්‍රථම සිදු කරනු ලබන්නේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයකු විසිනි. මෙරට ප්‍රථම හදවත් බද්ධයට සම්බන්ධවූ ධර්මා සමරකෝන් මහත්මිය ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය
‘..ඉන්ද්‍රීය බද්ධ කිරීමකදී වඩාත්ම වැදගත් වන්නේ එය ලබාගත් හා ලබාදෙන දෙදෙනා අතර රුධිරයේ පවත්නා ගැලපීම් කෙසේද යන්න සොයා බැලීමයි. රුධිර ඝන නොගැලපුණොත් බද්ධ කරපු අවයවය ඒ ශරීරයෙන් ප්‍රතික්ෂේප කරනවා වගේම නොයෙක් සංකූලතා ඇති වෙනවා. සුදු රුධිර ශෛල වල ප්‍රති ජනක ගැලපෙනවාද කියලා බලන එකත් ඉතාම වැදගත්. බද්ධ කරන අවයවයේ තියෙන ප්‍රතිජනක වලට එරෙහිව ශරීරයෙන් ප්‍රතිදේහ නිපදනවා. එමඟින් ටිකෙන් ටික ආගන්තුක අවයවය ශරීරයෙන් අයින් කරන්න හදනවා. මේ ශල්‍යකර්මයේදී හදවත බද්ධ කළ කෙනාට ලේ පයින්ට් 10 ක් පමණ දුන්නා. රුධිර පාරවිලයනයේදී නොයෙක් සංකූලතා එන්න පුළුවන්. මේ සියල්ල ගැන අපි සැලකිලිමත් වුණා. මේ දෙදෙනාගේම රුධිර ගණ හොඳින් ගැළපුණා. ඇත්තටම ශල්‍යකර්මය වගේම ඉන්පසු රෝගියා සංකූලතාවන්ට ලක් වීමට නොදී බලා ගැනීම තමයි ඉතාම බාරදූර කාර්යය.‘
මේ සම්බන්ධව උරස් හා හෘදය ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා මෙසේ කීය
‘...සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු රටවල සිදුකරන අතිශයින් බැරෑරුම් ශල්‍යකර්මයක් මේක. මේක ඇත්තටම කණ්ඩායම් හැඟීමෙන් දීර්ඝ කාලයක් වැඩ කිරීම නිසා ලබපු ජයග්‍රහණයක්. පළමු හදවත් බද්ධ කිරීම සිදුකර වසර පනහක් ගියා අපිට ඒක මේ රටේ කරන්න. සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු රටක කරන සැත්කමක් අපිට අවුරුදු පහකට විතර පස්සේ කරන්න හැකියාව ලාබෙනවා. ඒත් මේක එහෙම වුණේ නැත්තේ ඇත්තටම හෘද වස්තුව බද්ධ කිරීම ඉතාම සංකීර්ණ ශල්‍යකර්මයක් නිසයි. විදේශ රටවල ඉතා දියුණු රටවල හෘදය බද්ධ කිරීම් වලට සම්බන්ධවී අත්දැකීම් ලත් විශේෂඥවරු පිරිසක් අපේ කණ්ඩායමේ හිටියා. ගොඩක් වෙලාවට විදේශ රටක හෘද බද්ධ කිරීම් සම්බන්ධ පෘථුල අත්දැකීම් ඇති වෛද්‍යවරයකුගේ සහය මේ වගේ අවස්ථාවක ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වය වුවත් අපි එවැනි සේවයක් නෙගෙන මේක සාර්ථකව කළා. මේ සැත්කම සම්පූර්ණයෙන්ම ජත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදු කරන්න අපි සමත් වුණා. රජයට විශාල බරක් නොදී අපි මේක කළේ. මේක ඇත්තටම ටීම් වර්ක් එකක්. විශේෂඥ වෛද්‍යවරයාගේ සිට රෝහලේ පහළම සේවකයා දක්වාවූ පනහක පමණ කණ්ඩායමක් මේ පසුපස හිටිය.‘‘එංගලන්තයේ හෘද රෝග බද්ධ කරන රෝහලේ ප්‍රධානී මහචාර්ය ස්ටීව් ක්ලාක් 2015 සැප්තැම්බර් මාසයේ පැය 23 ක කාලයක් සඳහා ගෙන්වා ගෙන ශ්‍රී ලංකාව තුළ හදවත් බද්ධ කිරීම් සිදු කිරීමේ ක්‍රියාවලිය ගැන අපි සාක්ච්ඡා කළා. මේක ජත්‍යන්තර ප්‍රමිතියටම කරන්න ඕන නිසා අපි අවුරුදු දෙකක් බලා ගෙන හිටියා. මහනුවර මහ රෝහලේ ඉතා දක්ෂ හොඳම නිර්වින්දන විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. මේ සැත්කම සිදු කිරීමට මහනුවර මහ රෝහල තෝරා ගන්න ඒක ප්‍රබලම හේතුවක් වුණා. ලෝකයේ දියුණු රටවල මේ හෘද සැත්කම් සඳහා ලොකු වේටින් ලිස්ට් එකක් තිබෙනවා. හදිසි අනතුරු වලට ලක්ව මොළය මියගිය රෝගීන් කිලෝ මීටර 5000 ක් පමණ දුර ඉඳලා ගුවනින් ගෙන එන අවස්ථා ඒ රටවල තිබෙනවා. ලංකාවෙත් මේ ශල්‍යකර්මය ලක් කළ යුතු හෘද රෝගීන් සෑහෙන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට මේක ලොකු සහනයක් වේවි.‘
වෛද්‍යවරුන්ගේ මෙම අත්වැල ගිලිහී නොයන තාක් මොළය මියගොස් දැඩි සත්කාර වල ප්‍රතිකාර ලැබ මරණයට පත්වන අයගේ හදවත් මිය නොයනු ඇත.
සටහන හා ඡායාරූප - අසේල කුරුළුවංශ