වකුගඩු මාරයා නිහඬ නැත! | Page 2 | සිළුමිණ

වකුගඩු මාරයා නිහඬ නැත!

 බැලූ බැලූ අත සාරවත් භූමියකි. රළ ගසන මහා වැව් හදට සිසිලකි‍. මග දිගට හමුවන්නේ රටට බත සපයන ගොවි රජවරුන් ය. මේ ආදරණීය රජරට ය. රජ රටින් ශ්‍රී ලකටම වින කරන මාරාන්තික වකුගඩු රෝගය තවදුරටත් මහා ඛේදවාචකයක්ව තිබේ.

කළුගල් පවා සියුමැලි කළ, මුළු රටක බඩගිනි නිවන්නට රජරට ම අස්වැද්දූ ආදිතමයන්ගේ නව පරපුර බොහෝ දෙනා අද සිටින්නේ ලෙඩ ඇඳක් මත ය. මෙම හඳුනා නොගත් වකුගඩු ‍‍‍රෝගය (CKDU – Chronic Kidney Disease of Unknown Origin) ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වී ගොසිනි. මේ මාරාන්තික ව්‍යසනය අපි සුළුවෙන් තැකිය යුතු නැත. රජරට පමණක් ලක්ෂ දෙකකට අධික පිරිසක් මෙම රෝගයෙන් පීඩා විඳිමින් සිටිති. එම ප්‍රදේශවල රෝහල් තුළ පැවැත්වෙන වකුගඩු සායනවල රෝගීන්ගේ පෝලිම්වල දිග, කිලෝමීටර් ගණන් ය. 2000 වසරේ සිට මේ දක්වාම තත්ත්වය වර්ධනය වනවා මිස අඩුවක් පෙනෙන්නට නැත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ මෙම රෝගය පැතිරයාම ශීඝ්‍ර‍ෙයන් උග්‍ර විය. එහෙත් අනුරාධපුර හා පොලොන්නරුව යන ප්‍රධාන රෝහල් වෙත රෝගීන්ට අවශ්‍ය පහසුකම්වත් හරිහැටි ලැබුණේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිට, කටවුට් බැනර් වැනි ප්‍රචාරක කටයුතු සඳහා යන වියදම් ඉතිරිකර වකුගඩු රෝගී අරමුදලට යොදවන බව ප්‍රකාශ කිරීම පවා ඒ මොහොතේ ‍රෝගී ජනතාවට යම් සහනයක් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු කණ්ඩායම් ගණනාවක් මේ රෝගය ගැන පරීක්ෂණ පැවැත්වූවෝ ය. එම පර්යේෂණ වාර්තා පසුගිය පාලන සමයේ දී ජනගත වූයේ නැත. අදත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳව නිවැරැදි සංඛ්‍යාලේඛනයක් පවත්වාගෙන යාමට නොහැකි වී ඇත්තේ පසුගිය පාලනයේ දුර්වලකම් නිසා බව සැබෑ ය. රෝගයට හේතු වන තත්ත්වයන්ගෙන් ජනතාව රැකගැනීම සඳහා දැන් විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වීම අගය කළ යුතු ය. 2012 ඔක්තෝබර් මස 18 වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 15 ත් 70 ත් අතර අයගෙන් සියයට පහළොවක් (15%) වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. ලෝක ‍සෞඛ්‍ය සංවිධානය රජයට බාරදුන් වාර්තාවේ ඒ බව සඳහන්වන බව ද වත්මන් ජනාධිපතිතුමා එදා හෙළිදරව් කළේ ය. එම වාර්තාවට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අට ලක්ෂ පනස් පන්දහස් පන්සිය හැට දෙකක් වූ ජනගහනයෙන් (855,562) එක්ලක්ෂ විසි අටදහස් තුන්සිය තිස් හතරකට (128,334) වකුගඩු රෝගය වැලඳී තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හාරලක්ෂ තිස් අටදහස් පනස් නවයක් (403,859) වූ ජනගහනයෙන් හැට දහස් පන්සිය හැත්තෑ අටකට (60,578) වකුගඩු ‍රෝගය වැලඳී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ අටලක්ෂ එකොළොස් දහස් දෙසිය විසි පහකගෙන් (811, 225) එක්ලක්ෂ විසි එක්දහස් හයසිය අසූ තුනකට (121,683) වකුගඩු අක්‍රියවීමේ ‍රෝගය වැලඳී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ඒ නොකියා කීවේ රජරට විශාලා මහනුවරක් බවට පත්වෙමින් තිබෙන බව ය. මේ ව්‍යසනකාරී රෝගී තත්ත්වය පිළිබඳව පෙර ආණ්ඩුව විසින් ද බොහෝ දේ ක්‍රියාවට නැගිය යුතුව තිබුණි. එම ආණ්ඩුව පරාජයට පත්වන තුරු ම අනුගමනය කළ නිහඬ බව නිසා අදටත් වකුගඩු රෝගීහු ඇස් පනාපිට මියයති. දැනට හඳුනාගත් රෝගීන්ට ප්‍රතිකාරක්‍රම දෙකක් භාවිතා කෙරේ‍. එකක් වකුගඩුවලින් සිදුකරන රුධිරය පිරිසිදු කිරීමේ කාර්ය කෘතිමව සිදු කිරීමයි. (Haemodialysis) දෙවැන්න පරිතාන කාන්දුකරණය (Peritoneal Dilysis) වේ. සැබෑවටම කළයුත්තේ රෝගියාට වකුගඩුවක් බද්ධ කිරීමයි. රජරට ගොවීන්ට නම් එවැන්නක් සිහිනයකි. රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනයේ සිටියදී අදටත් රෝගීන් මිය යන්නේ ය. පෞද්ගලික රෝහල්වල සැත්කමට පමණක් රුපියල් ලක්ෂ දහයක් පමණ අය කරයි. මෙවන් දහසකුත් එකක් ගැහැට විඳින්නට ගොවි පවුල්වලට හැකිද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සාමාන්‍යයෙන් වකුගඩු රෝගය ඇත්තේ ලෝක ජනගහනයෙන් 4% කට පමණි. ඒ අනුව අදත් රජරට තත්ත්වය බිහිසුණු ය. එහි ඇතැම් නිවෙස්වල මවත් පියාත් වකුගඩු රෝගීන්ය. තවත් පවුල්වල ඥාති සමූහයාට වකුගඩු රෝගයෙන් මිය ගොසිනි. අද වනවිට හඳුනාගත් වකුගඩු රෝගීන්ගෙන් 20% ක් පමණ වයස අවුරුදු 18 – 25 අතර යෞවනයන් ය. ඉඳින් මෙය රටේ අනාගතය පිළිබඳව ඛේදවාචකයක් නොවන්නේ කෙසේ ද? මේ තාරුණ්‍යයට පිට පළාත්වලින් විවාහ යෝජනාවක්වත් නොඑන තරම් තත්ත්වය කුරිරු ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ එකදු රෝහලක්වත් රජරට මිනිසුන්ට පිහිටවූයේ නැත. අවම වශයෙන් වකුගඩු සායනයක්වත් ආරම්භ කළේ නැත. එම වකවානුවේ මැදවච්චිය රෝහලේ වකුගඩු රෝගී සායනය පැවැත්වූවේ එම ‍රෝහලේ භික්ෂු වාට්ටුව තුළ ය. අද එවැනි තත්ත්වයක් නම් නොමැත. නමුත් එම ප්‍රදේශවල රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අවශ්‍ය තරම් ලබාදීම වැදගත් ය. රජය විසින් සෑම වකුගඩු රෝගියෙකු සඳහාම ලබාදෙන වියදම් දීමනාව පැසසිය යුතු ය. නමුත් එය වුව ද සෑහෙන්නේ නැත.

මුල් අවස්ථාවේදී ‍කීවේ හඳුනා නොගත් වකුගඩු රෝගයට ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ් (Fluoride) හේතුවන බව ය. පසුව කීවේ කැඩ්මියම් (Cadmium) හේතුවන බව ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය දම්මිකා මැණිකෙ කීවේ ජලයේ තිබෙන ඇල්ගී විශේෂයක් රෝගයට හේතුවන බවයි. පසුව ආසනික් කරළියට ආවේ ය. සත්‍ය ලෙසම රජරට වැව්වල නිල් දියවරට වස මුසු වී තිබේද? මෙම ප්‍රශ්නගත තත්ත්වයෙන් ප්‍රයෝජනගත් වතුර බෝතල් කරන සමාගම් තොග සහ සිල්ලරට වතුර කඩ දමාගත්තේ ය. අද වතුර ලීටරයක් රුපියලේ සිට රුපියල් විස්ස දක්වා එම ප්‍රදේශවල අලෙවි වන්නේය. බැලූ බැලූ තැන වතුර කඩය. මෙවැනි තත්ත්වයක් පිළිබඳව ද වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු ය. එතෙකින් නොනැවතී වකුගඩු රෝග ව්‍යාප්තිය සලකා බලා අංග සම්පූර්ණ රෝහල් පද්ධතියක් ස්ථාපිත කිරීම ද ඉදිරියේදී ජාතික අවශ්‍යතාවක් වනු ඇත. හඳුනාගත් රෝගීන්ට ප්‍රතිකාර කරන අතරම හඳුනා නොගත් ‍රෝගීන් හඳුනා ගැනීම සඳහා එම ප්‍රදේශවල යළිත් මනා ක්‍රියාන්විතයක් කළ යුතුව ඇත. 2010 – 2013 අතර කාලයේ රුපියල් කෝටි 700 ක වියදමින් ඇඳන් 850 ක රෝහලක් ඉදිකිරීමට නෙදර්ලන්ත (Coperative Central Raifision Bevrenline Bank) බැංකුවෙන් ලබාදුන් මූල්‍ය ආධාරය එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හම්බන්තොටට රැගෙන ගියේ ය. හම්බන්තොට යනු ප්‍රධාන පෙළේ රෝහල් පහක් ඇති දිස්ත්‍රික්කයකි. තත්ත්වය තේරුම් ගැනීමට එයම සෑහේ.

ආදායම් උපදවමින් තවමත් නිෂ්පා‍දන ආර්ථිකයට පණ පොවන රජරට ජනයා රැක ගැනීම රටෙහි ම වගකීමකි. ඔවුන් නොමැතිව නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කිරීමට ද නොහැකි ය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් මෙම ව්‍යසනයන් ගැන දැඩි අවධානයකින් හා සහභාගිත්වයකින් දැන් මැදිහත්ව සිටී.

පානීය ජලය සැපයීම හා අඩු ආදායම්ලාභීන් සඳහා ආධාර සැපයීම ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් ලබාදෙන පහසුකම් අතර ප්‍රධාන වෙයි. කෙසේ වෙතත් හඳුනා නොගත් මේ වකුගඩු රෝගය සැඟවී සිටින මාරයකු බඳු හෙයින් සියලු පාර්ශ්වයන්ගේ අවධානය මේ වෙත තබා ගැනීම වැදගත් වේ.

විමුක්ති සමරවීර

Comments