මේජර් ඔබ්රිගේ ව්‍යාඝ්‍ර හුරතලේ | Page 3 | සිළුමිණ

මේජර් ඔබ්රිගේ ව්‍යාඝ්‍ර හුරතලේ

ඔබ්රි වයිමන් මහතා සත්වෝද්‍යානයේ හදවතය. එහි සිටින සැම සත්ත්වයකුගේම හද ගැහෙන රාවය ඔහුය. සත්තු ඔහුගේ පියවර හඬ හඳුනති. එක් කොනක දිය බල්ලෙකි. ඌ නිමේෂයකින් හිස ඔසවා බලයි. තම ස්වාමියා සිය පසුම්බියෙන් මාළුවකු එළියට ගන්නේ නම් ‍මේ සතා පුදුමයට පත්වන්නේ නැත. ඊළඟ කොනේ සිටින රාණි ව්‍යාඝ්‍ර ධේනුවකි. ඇය හිස පිරිමැද ගැනීම සඳහා ඔහු වෙතට ගෙල පාත් කරන්නීය.

දෙහිවල සත්වෝද්‍යානය නමින් හඳුන්වනු ලබන අපේ සතුන් වත්ත මෑතක සිට රාත්‍රී කාලයේ ද මහජනයා සඳහා විවෘත කෙරෙන බවට පසුගියදා තොරතුරු පළ විය. අපේ සතුන් වත්තේ ආරම්භයත් එහි ස්වර්ණමය අවදිය පිළිබඳ හා ඒ අවදියේදී සතුන් වත්ත බැබළ වූ සත්වෝද්‍යාන පාලකවරයකු පිළිබඳ විදේශිකයකු විසින් කරන ලද ඇගැයීමකින් එකල සතුන් වත්ත පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙයි.

අපේ සතුන් වත්ත එකල මෙරට ජනතාව අතරෙහි වැඩි අවධානයට ලක්වූවක් නොවීය. එනමුදු ලෝකයේ අති සුන්දර සත්වෝද්‍යාන අතරෙහි එය පෙරමුණ ගෙන තිබුණේය. එදා එය හැඳින්වූයේ “ලංකා සත්වෝද්‍යාන සමාගම” කියාය. ලෝකයේ විවිධ රටවලට සතුන් වෙළෙඳාම් කිරීමට අමතරව සතුන් ප්‍රදර්ශනය කරන ස්ථානයක් ලෙස ද ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දැරූ මෙය ජර්මනියේ සුප්‍රකට හැම්බර්ග් සත්ත්ව සංගමය සතු විය. එහි ආරම්භක කළමනාකරු ජෝන් හැගෙන්බෙක්ය. පසු කාලයේදී සමාගම බංකොළොත්භාවයට පත්ව ගියෙන් ලංකාණ්ඩුව එය මිලදී ගත්තේය. ඒ 1936 දීය. හැම්බර්ග් සත්ත්ව සංගමය සමඟ කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන ගිය ඔබ්රි එන්. වයිමන් මහතා මෙහිලා පෙරමුණුගෙන ක්‍රියා කළේය. එම නිසා සත්වෝද්‍යානය පුනර්ජීවනය කිරීමේ වගකීම රජය විසින් ඔහුටම පවරන ලදී.

වයිමන් මහතාගේ නිවැරැදි මඟ දැක්ම ඔස්සේ යළිත් සත්වෝද්‍යානය දියුණුවේ හිණිපෙත්තට පිය නැඟුවේය. අභාග්‍යයකට මෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ විය. හමුදා මේජර්වරයකු වූ වයිමන් මහතාට මලයාසියාව බලා යන්නට සිදු වූයෙන් නිසි කළමනාකරණයක් නොමැතිව සත්වෝද්‍යානය යළිත් පරිහානිය කරා ගමන් කළේය. යුධ සිරකරුවකු ලෙස මලයාසියාවේ ජපන් සිරකඳවුරක සිවු වසරක් කාලය ගෙවූ ඔහු 1947 දී යළිත් ලංකාවට ආවේය. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ තනතුරේ නැවත වැඩ බාරගත්තේය. ශීඝ්‍ර සංවර්ධන කටයුතු ආරම්භ විය. සත්වෝද්‍යානය යළිත් බැබළෙන්නට පටන්ගත්තේය. විවිධ රටවල් සමඟ සතුන් හුවමාරු කිරීම ඇරැඹිණ. ජාත්‍යන්තර සත්ත්ව ව්‍යාපාරිකයන්ට දෙහිවල සත්වෝද්‍යානය පාරාදීසයක් විය. එක් එක් රටවලට ආවේණික සතුන්ගෙන් ප්‍රදර්ශන කූඩු පූර්ණත්වයට පත් විය. මේ සියලු දේ පිටුපස යෝධ සෙවණැල්ලක් සේ පෙනී සිටියේ ඔබ්රි වයිමන් මහතාය.

මේජර් ඔබ්රි වයිමන් මහතා ගොඩනැඟු සත්වෝද්‍යානයේ ස්වර්ණමය අතීතය ආවර්ජනය කරනු වස් මෙයින හැට වසරකට පෙර ජේ. එච්. විලියම්ස් නම් විදේශිකයකු විසින් වයිමන් මහතා ගැන කළ ඇගැයීමක් මෙහි සඳහන් කිරීම වටී. විලියම්ස් ලංකාවට පැමිණියේ “අලි උමතුව” නමින් ලියන ලද සිය ග්‍රන්ථයක් චිත්‍රපටයකට නැඟීම සඳහාය.

“පංච මහද්වීපයන්හී සංචාරය කර ඇති මම සත්වෝද්‍යානයක් නැරැඹීමට ලද අවස්ථාවක් කිසිදා මඟ නොහැරියෙමි. ඉන් සමහරක් ලෝකයේ ඉහළම ප්‍රසිද්ධියකට පත්ව තිබුණ ද “මාණික්‍යයක්” ලෙස හඳුන්වාදිය හැකි සත්ත්ව උද්‍යානයක් ඇත්තේ එයින් එකක් පමණි. ඒ ලංකාවේ අගනුවර වූ කොළඹ උද්‍යාන පුරවරයෙහි පිහිටි දෙහිවල සත්වෝද්‍යානයයි. ආසියානු අලියා ගැන ළෙන්ගතුකමක් ඇති කර ගත් දා පටන් උගේ හිස පහළින් එල්ලා වැටෙන ඉන්දීය සිතියමේ හැඩය ගත් “අලි කන” සිහියට නොනඟා කිසිදා මට අලියකු දෙස බැලීමට නොහැකි විය. දෙවරක්ම ලංකාවට පැමිණ ඇති නිසා ඒ අලි කන්පෙත්තෙන් පහළට එල්ලී ඇති “මරකත මැණිකක්” වන් ලංකාව මට මැවී පෙනේ.

මේ සොඳුරු දිවයින පිළිබඳ මතකයන් නිවර්තන සූර්යා දෙසට එල්ල කළ වර්ණ දර්පකයක් තුළින් බලන්නාක් සේ නිතර මා සිතට නැ‍ඟෙන්නේය. නීල, පීත වර්ණ දසුන් විහිදීම නතර වූ සැණින් මා සිත ගිමන් පතා නතර වන්නේ කොළොම්පුරේ දෙහිවල සත්වෝද්‍යානයෙහිය. සියලු සිව්පාවුන් හා කුරුල්ලන් කෙමෙන් කෙමෙන් උස් බිම් කඩකට පසුබැස තිබෙන්නාක් සේ වනයෙන් ආවරණය වූ ඒ භූමියේ පානීය දිය වළක් විය. ගොදුරු බුදින්නාත් ගොදුරත් එහි පැමිණ එකට දිය පානය කළහ. එදා ඒ දෙහිවල අදටත් එසේමය. කූඩුවලින් වට කරනු ලැබ සිටිය ද ස්වභාවධර්ම නීතියේ දැඩි පීඩනයකට ලක් කෙරුණ ද වැනසී යෑමේ බියක් මේ සතුනට නොවීය.

පසුබිම හා නිර්මාණය අනුව මේ භූමිය සතුන් විසින්ම තෝරාගනු ලැබූවක් වැන්න. ඒ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ මේජර් ඔබ්රි වයිමන් වැන්නකු තමන්ගේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස තෝරා ගැනීමට මේ සතුන් වාසනාවන්ත වීමය. වසර හතරක් යුධ සිරකරුවකු ලෙස ගෙවා ඉක්බිති තම සිහින මාලිගාව වූ දෙහිවලට ඔහු යළිත් පැමිණියේය. ඒ ඔහුට උරුම දෛවය විය.

මා දන්නා සියලු මනුෂ්‍යයන් අතරින් ඒ “හෝමෝසේපියන්ස් මානවයා” හැර මගේ සිතට වඩාත්ම හොඳින් ගැළපෙන අන් කිසිවෙක් නැත. ඔහු ස්වභාවධර්මයටම කැප වූ කදිම මිනිසෙකි. ඔබ මොබ කොතැනක හෝ ඔහුගේ ඒ උත්තුංගධාරී සිරුර දැකගන්නට නොලැබෙන රැයක් දවාලක් එහි නැත. නිලයටම උචිත තැන්පත් පුද්ගලයකු වන ඔහුගේ මුවග හා දෙනෙත හැඟුම්බර සිනහවෙන් පිරි ඇත. සත්ත්වයන්ගේ කූඩු තරමටම ඔහුගේ සත්වෝද්‍යාන බංගලාව ද සුව පහසුවෙන් අල්ප වූවකි.

ඔබ්රි වයිමන් මහතා සත්වෝද්‍යානයේ හදවතය. එහි සිටින සැම සත්ත්වයකුගේම හද ගැහෙන රාවය ඔහුය. මගේම ලැබ්රේඩර් බල්ලා මා හඳුනන්නාක් සේ මේ මිනිසාගේ පියවර හඬ සතුන් හඳුනයි. එක් කොනක දිය බල්ලෙකි. ඌ නිමේෂයකින් හිස ඔසවා බලයි. තම ස්වාමියා සිය පසුම්බියෙන් මාළුවකු එළියට ගන්නේ නම් ‍මේ සතා පුදුමයට පත්වන්නේ නැත. සාක්කුවෙන් කඩල අහුරක් අතට ගන්නා අතරේම ඒවා ලේනෙකුට දීමට ඔහු වරින්වර නතර වෙයි. එසේ කරන ගමන් සුරතල් සර්පයකු ඇල්ලීමට ඔහු අත දිගු කරයි. ඊළඟ කොනේ සිටින්නේ “රාණී” ය. පැටවුන් දුසිම් ගණනක අම්මා කෙනෙකු වන ඇය ඔහු සතු ලොකු ව්‍යාඝ්‍ර ධෙනුන්ගෙන් කෙනෙකි. හොඳ හදවතක් ඇති මේ මිනිසා හඳුනාගන්නා රාණී ආදරයෙන් හිස පිරිමැද ගැනීම සඳහා ඔහු වෙතට ගෙල පාත් කරන්නීය.

“සුබ සන්ධ්‍යාවක් වේවා” යි පතමින් ලස්සන සිංහල කාන්තාවක් ඇගේ ගෙවත්තේ පැළ කිරීම සඳහා සතුන් වත්තේ ඇති අලංකාර බුත්සරණ පැළ ටිකක් මිලට ගැනීමට හැකිදැයි විමසන්නීය. පිළිතුර “නැත” යන්නය. “කවදාවත් මං මේවා විකුණන්නේ නැහැ” එසේ පවසන ඔහු ඉන්පසු සිය සාක්කුවෙන් නළාවක් ගෙන නාද කර සත්වෝද්‍යානයේ සේවකයකු කැඳවයි. මැජික් බලයෙන් මෙන් සේවකයා එහි පෙනී සිටියි.

“මේ ලස්සන නෝනා ඔබේ බුත්සරණවලට ආශා වෙලා” යි පෙරදිග විලාසිතාව ගැන දන්නා වතු සේවකයාට පවසන ඔහු “කරුණාකරලා ඇයට බුත්සරණ පැළ ටිකක් දෙන්නැ”යි කියයි. සැබෑ සේවකයකුගේ අභිමානයෙන් ඔහු එය පිළි පදියි.

අලින්ට ආදරයක් ඇති, එසේම උන්ගේ ආරක්ෂාව ගැන දැඩි උනන්දුවක් දක්වන කෙනෙකු වශයෙන් සෙල්ලම් සංදර්ශනත්, ප්‍රදර්ශන කුටිත් ඇති එසේම වඩාත් හොඳින් සැම වර්ගයකටම අයත් හිළෑ කළ සතුන් එක විට දැකබලා ගැනීමේ අවස්ථාව ඇති වෙනත් සත්වෝද්‍යානයක් වත්මන් ලෝකයේ තවත් නැති බව මම දනිමි. දිනපතා පැවැත්වෙන උන්ගේ සංදර්ශන කදිම චිත්‍රයක් වැනිය. ඒවා විජ්ජාකාරී දර්ශන නොවේ. අලි රංචු තම උපස්ථායකයන් සමඟ ඉමහත් තෘප්තියෙන් කරනු ලබන සෙල්ලම් හා උසුළු විසුළු ඊට ඇතුළත්ය. රංග භූමියේ වාඩි වී සිටින ප්‍රේක්ෂක ජනයාගේ සාරි ආයිත්තම්වල වර්ණවත් අලංකාරය දෙනෙතින් දැකබලා ගෙනම වටහා ගත යුතුය. මෙය එකල රෝම අධිරාජ්‍යයන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඉතා සාමකාමී සංදර්ශනවලට සමානය.

සතුන්ට ආදරය, කරුණාව දක්වන මිනිසුන් වෙතට සියලුම දරුවන් ළංවෙන්නාක් මෙන් මේ මිනිසා වෙතට ද කුඩා දරුවෙක් කිට්ටු වන්නේය. තමන් සතු සුරතල් කුඩා වලස් පුංචෙක් සිටින බව පැහැදිලි කිරීමට ඔහු පටන් ගන්නේ තරමක කනස්සලු ගතියකිනි. සෙල්ලම් කිරීමට බැරි තරමට වැඩී නපුරු වී සිටින ඒ වලස් පැටවා සත්වෝද්‍යානයට බාර දීමට හැකිදැයි ළමයා අසයි. ‘ඔව්’ දරුවාට ඔහු සහතික වෙයි. තම සුරතලා අහිමි වීමේ වේදනාව අමතක කර දමන ළමයා ආපසු යයි. මන්ද යත් තම සුරතල් වලස් පැටවාට සත්වෝද්‍යානයේ කරුණාව ලැබෙන බව ඔහු දන්නේය.

“ඔබේ ආකරයෙහි අගනා මැණිකක්” ඇත. ජනතාව අතරෙහි ඊට හොඳ ඉල්ලුමක් තිබේ. එය මේ සුන්දර දිවයිනට ආඩම්බරයකි. නීල හරිත කඳුවැටි, ගලා හැළෙන දියඇලි, රිදීවන් වැලිතලා, සදාහරිත වනාන්තර, ඔබේ රාජ පෙළපත, පන්සල් දාගැබ් හා පෞරාණික නගර, ස්වභාවික සම්පත් මේ සියලු දෑ සසඳා බලන විට ලංකාව සැබැවින්ම අංක එකෙහි ලා සැලකිය හැකිය. මෙම ලිපියෙහි පරමාර්ථය ලංකාවේ උතුම් සම්පත් අතරින් එකක් කෙරෙහි මගේ අවධානය යොමු කිරිමත්, මෑත කාලීනව ලංකාවට දෙවරක්ම පැමිණ කළ මගේ සංචාරයන්ගෙන් ලද සතුට හා තෘප්තිය හද බැඳි ගෞරවයෙන් සිහිපත් කිරීමත්ය.

මම නැවැත මෙහි පැමිණීමට බලාපොරොත්තු වෙමි. මුහුදට නැමුණු තාල වෘක්ෂයන්ගෙන් හෙබි ලස්සන වෙරළ තීරය සාදරයෙන් අප පිළිගැනීමට මෙන් බලා සිටී. මගේ ප්‍රථම සමාචාරය ඊට හිමි වෙයි. මම ඉතිසිතින් ආදරය කළ සියල්ලන් ද මෙහිලා සිහිපත් කරමි. ඒ සමඟම ඔබ්රි වයිමන්ටත්, යහමින් වැඩෙන අලි වස්සා වූ බන්ධුලටත් සමෘද්ධිය ප්‍රාර්ථනා කරමි. බන්ධුල සතුන් වත්තේ අභිමානවත් සතාය. කෙනෙකුට ඌ පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන අයුරින් උගේ ස්වාභාවික අලංකාරය නොවෙනස්ව පවතියි. මා මෙන්ම දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රීතිමත් දවස් ගත කර ඇති සෙස්සන්ට ද තුරු වදුලින් පිරුණු නිවර්තන වනපෙත්වල දිවා උණුසුමත්, විසිතුරු ලයිකන, රමණීය උණු පඳුරු, මනබඳින වර්ණ ජාලාවන් ලෙස පමණක් විස්තර කළ හැකි මල්ගොමු ඈ අලංකාර වූ ගස්වැල් සියල්ල සදා අමතක නොවන මතක සටහන් වනු ඇත.

කැමිලස් වනිගසූරිය

Comments