
ලබන මාසයේ 15 වැනිදා සිට දින 15 ක් පෘථිවිය කළුවර වන බවට සමාජ ජාලවල වෙබ් අඩවිවල පළවන වාර්තාව අමූලික බොරුවක් බවත් එවැන්නක් නාසා ආයතනය නිකුත් කළ නිල නිවේදනයක් නොවන බවත් නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ශ්‍රී ලංකාභිමානි ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාත් පවසන්නේ මේ කතාව සිදු නොවිය හැකි අතින් මැවූ බොරුවක් බවයි. එය පිළිබඳ බය නොවිය යුතු බවද මහාචාර්යවරයා කියයි.
මේ අතර එම වෙබ් අඩවි වාර්තාවල දැක්වෙන්නේ මේ සිදුවීම් පිළිබඳව නාසා ප්‍රධානි චර්ලිස් බෝල්ටින් විසින් ධවල මන්දිරයට පිටු 1000 ක වාර්තාවක් යවා ඇති බවයි.
සූර්යා අසල සිදුවන පිපිරීමක් නිසා සූර්යාගේ අංශක 9000 ක අධික උෂ්ණත්වයක් නිකුත් වන බවත් ඒ තත්ත්වය නිසා සූර්යා නිල් පැහැයක් ගෙන උෂ්ණත්වය අඩු වෙන බවත් වෙබ් අඩවිවල දැක්වේ.
මේ අඳුරු කාලයේදී මිනිසුන්ට ලොකු බලපෑමක් ඇති නොවන බවත් පෘථිවි උෂ්ණත්වය අංශක 6 සිට 8 දක්වා ඉහළ ය බවත් හිස් වැස්මක් පැලඳීම මෙයින් බේරීමට පහසු ක්‍රමය බවත් නාසා ප්‍රධානි පවසා ඇතැයි වෙබ් අඩවිවල දැක්වේ.
කෙසේ වුවත් මෙය වැරදි ප්‍රවෘත්තියක් බව අන්තර්ජාලයේ වැරැදි පුවත් පිළිබඳව අවධියෙන් සිටින ස්කොප්ස් මඟින් ද දන්වා ඇත. මේ පුවත මුල්වරට අන්තර්ජාලයේ පළවී ඇත්තේ 2015 දීය. ඒ newswatch33 වෙබ් අඩවියේය. පසුව එය 2016 - 2017 වසරවල තවදුරටත් පුවත පැතිරී ඇත. නමුත් දැන් මේ වෙබ් අඩවියවත් අන්තර්ජාලයේ නොමැති බවත් මෙවැනි සිදුවීම් කෙසේවත් සිදු නොවිය හැකි බවත් මහාචාර්ය චන්දන ජයරත්න ද අවධාරණය කරයි.