
සංස්කෘතික
දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද බදුල්ලේ සාහිත්‍ය සම්මේලනයේ දේශන අංක - 6
ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ
මේ ලිපියේ දෙවැනි කොටස 2017. 09 .17 දින පළ විය
දි ඩ බල රජසිංහ රජු වදහළ බ ස ට
කු ඩ කොඩි බැඳ කප්පර ගෙන සිතු ලෙ ස ට
වැ ඩ කරු පසිඳු මේ සිරි සිංහල ල ක ට
ගොඩ බැස ගාල්ලට විත් සෙනඟ එක වි ට
ඕලන්ද දේසීහු සබරගමුව හා දෙනවක පස්රට අල්ලා ඇවිත් මල්වානේ කොටුව පොඩි කරති. එතැනින් මැණික්කඩවර කොටුව ද බිඳිති. ඉක්බිති සෙංකඩගලපුරට යති. රාජසිංහ රජ ඕලන්ද දේසීන් කැටුව ගමන්කර ත්‍රිකුණාමලේ ඔවුන් බැඳි කඳවුරු හරවා කොට්ටියාරමත් යාපා පටුනත් හරවා මීගමුවේ කොටුවත් තොටමුණේ කොටුවත් හරවා කොළඹ ප්‍රතිකාලුන්ට ඉන්ට පිනට හැරියලු. නැවතත් ප්‍රතිකාලුන් කොළඹ කොටුවට රොක් වූ විට සාර මසක් යුද කරවා එම ප්‍රධාන කොටුවත් ඇරෙව්වේය. මෙසේ ප්‍රතිකාලුන් වෙරළින් පිටට එෙළව්වේය.
කවි 155කින් පමණක් යුක්ත වූ මහ හටන මෙසේ පෘතුගීසින්ගේ ලංකාවේ ඉඳීම පිළිබඳ සංක්ෂෙප ඉතිහාසයකි. මුද්‍රණය වී ඇත්තේ මෙම පොතේ කොටසක් පමණකි.
සිවුපද 49කින් යුක්ත වූ අමුද්‍රිත හටන් කවි පොතක කවර ප්‍රදේශවලින් ගන්නොරු සටනට රාජසිංහ රජ්ජුරුවෝ සෙනඟ රැස්කළාදැයි යනුත් විස්තර කර ඇත. මේ කොටස එවක රට බෙදුම් දැනගැනීමට උපකාරී වෙයි.
රාජසිංහ රජුගේ කීර්ති ප්‍රතාපය හා ශරීර ලක්ෂණ වර්ණනා කර බැඳ ඇති සිවුපද සින්දුවලින් යුක්ත වූ රාජසිංහ වර්ණනාවලින් සිංහළයන් පරසතුරන් හා කළ යුද්ධ පිළිබඳ වැඩි විස්තර නැතත් රාජ සභාවේ හා යුද කඳවුරේ ජීවිතය සම්බන්ධයෙන් මෙම බැඳුම්වලින් කරුණු උපුටා ගත හැකිය. එසේම එවක සංගීත වාදන නැටුම් ගැන ද ඇතැම් දේ දැනගත හැකියි.
පරංගි හටන නම් හටන් කවි පොතෙන් ද විස්තර වන්නා වූ ප්‍රධාන කථාව නම් ගන්නොරුවේ සටනයි. මෙය ඉතාම වේගවත් විස්තරයකි. තවත් මෙහි රාජසිංහ රජ පරංගින් හා යුද කරපු වෙනත් යුද බිම් ද සඳහන් වෙයි. එනම් “යාපා රජු මුලින් සිඳ” (23) කී තැන යාපා පටුන, එතනම “වැල්ලවාවෙල” යන තැනුයි. කොළඹ කොටුව හෑරීම ද සඳහන් වෙයි. පරංගි හටන නම් හටන් කවි පංක්තියෙන් නියම ඓතිහාසානුගත ප්‍රයෝජනය ගැනීමට නම් ඒ සිවුපද ආදිය තවම ඉතුරුව තිබෙන නොයෙක් අත්පිටපත් සසඳා බලා සකස් කරගත යුතුයි.
මුද්‍රිත පොත්:
දි න ක ර කුලවර රජසිහ නර ව ර
සි රි ස ර විද දින “සෙන්කඩගල පු ර”
යනු කෝපෙන්හාගන් නුවර රාජකීය පුස්තකාලයෙහි පොතේ “ගඟසිරිපුර” කියා එන අතර, බ්‍රිතාඤ්ඤ කෞතුකාගාරයේ පොතේ:
ම න හ ර සර සිරි විඳ දින සිරි පු ර
කියා එයි.
ඕලන්දදේසීන්ගේ සහාය ඇතුව රාජසිංහ රජු විසින් සබරගමු ගත් බව මහ හටනෙහි කියන ලදී. සබරගමුවේ කිකිලියේගම කොටුව එම විට ගත් හැටි විස්තර ඇතුව තවත් තවම අමුද්‍රිත කවි පංක්තියකින් කියවේ. එහි එක් සිවු පදයකින් එම කොටුව ගත් වර්ෂය මාසය තිථිය දිනය හා නැකත ද කියන ලදී. එනම් ශකවර්ෂ 1587 ක්වූ බිනර මස පුර අටවක් තිථියලත් බුද දින අනුර නැකතින්ය. දැන් ව්‍යවහාරයේ හැටියට එම දින එන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1665 ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි බදාදා දිනයි. මෙසේ සටන් සම්බන්ධයෙන් සියුම් ලෙස දින ආදිය දැනගැනීමටත් හටන්කවි උපකාර වේ. මෙම දිනය දඹදිව ලිත් හා සමඟ නැකත් තිථි වශයෙන් ගැළපෙන නිසා නිවරදව දී ඇති බව එකහෙළා කිය හැකිය.
ඇතැම් රජවරුන්ගේ කාලවල සටන් කවි හෝ යුද්ධ වර්ණනා සහිත ප්‍රශස්ති කාව්‍යය දුර්ලභය. එබඳු රජ කාලයක් නම් මහනුවර වීර පරාක්‍රමබාහු රජුගේ සමයයි. මේ රජුගේ කාලයේ ප්‍රශස්ති “පවන” නමිනුත් හඳුන්වනු ලබන ශෘංගාර කවියි. මෙයින් එක් ඓතිහාසික කරුණක් සිතාගත හැකියි. එනම් එම රජුගේ කාලය යුද්ධ භීතියෙන් තොරව රජුට නැටුම් ගැයුම් වාදයෙන් සුව විඳිමින් අන්තඃපුරය කැටුව කාලය ගත කරන්නට ඉඩ ලැබීමයි.
මහනුවර අවසානයට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ ඉංග්‍රීසින් සමඟ තෙවිටක්ම බිහිසුණු යුද්ධ ඇති විය. මෙම යුද්ධ විස්තර කර සිංහළ රජ්ජුරුවන්ට ස්තූති කිරීමට වැලිගල මුහන්දිරම විසින් ඉංග්‍රීසි හටන කරන ලදී. ඉංග්‍රීසි හටනින් සිංහළ - ඉංග්‍රීසි යුද්ධ පිළිබඳව නොයෙක් විස්තර අපට දැනගත හැකියි.
ඉංග්‍රීසීහු යුද පිණිස ඔවුන්ගේ සහායට නොයෙක් ඉන්දීය ජාතීන් ගෙනාවෝය.
කාසි කවිසි උරුමුසි සමඟව පරදේසි සෙනඟ ගෙනැවිත් නොමිනා ඉංග්‍රීසින්ගේ බළකොටු තිබූ තැන් කියත්. (33)
ගොංගාවල දඹදෙණියද බළකොටු සිඳ නොහැරම රුප සෙනඟ රැඳුන් (34)
ඉංග්‍රීසින් හා යුද්ධය විස්තර කිරීමට පෙර ලන්දේසීන් සමඟ යුද කොට ඉංග්‍රීසින් විසින් කොළඹ ගත් හැටි කියා ඔවුන් මුළු රට අල්ලන්ට තැත් කළ වග කියයි.
ඉංග්‍රීසීන් කොළඹ සිට යුද්ධයට මහනුවර බලා එන හැටි කියන තැනින් එවක යුද්ධ හමුදාවක් අරගෙන ගිය ආයුධ හා වෙනත් දේ විස්තර වෙයි.
කාල සැදි පිස්තෝල බොත්දික්කුල සහ
නොයෙකුත් තුවක්කු ද
කෝල කොන්තවි පරසු පාරාවළලු කඩු දුනු
සෙල්ල මුගුරු ද
මාල රන්මුදු සහ අයිත්තම් පිළීකට්ටුත්
මුදල් පෙට්ටි ද
තෑල තුරඟුන් සමඟ ගොන් බැඳ
අදින මෙතෙකැයි නැති කරත්ත ද
වා ඩි ලන ඉටිගෙවල් ඇඳ පුටු තඹවලං
කඩදාසි පොත් පත්
කා ඩි කල්දේරමුත් පතරං වෙඩි බෙහෙත් බෙර
දෝහි පෙට්ටි ත්
පා ඩි කුකුළන් බැටළු ගොඩවටු කොටළු තාරා
හරක් එළුවො ත්
ආ ඬි ලෙස කොක්කන පුරා බැඳගත්තු
පොඳී නම් පමණකු ත්
(54)
තවත් අරගෙන ගිය දේවල් කියන තැන එවකට රුපියල් හා වරාගම් කාසි වශයෙන් ලංකාවේ උන් ඉංග්‍රීසින් අතර භාවිත වූ බව කියවේ. ඉංග්‍රීසි සේනාවේ ද ඇතුනුත් උන් බවක් ද කියන ලදී:
ක න් ඩ නිසි උපකරණ පාරට හාල් පොල් ලුණු
පටවමින් ගෙ න
දෙ න් ඩ පඩිනඩි ගත්තු රුපියල් වරාගම්
කෙළකෝටි ගණනි න
ව න් ඩ ඇත් අස් සමඟ පාබල නොයෙක් ලෙස
සදවමින් වෙන වෙන
එ න් ඩ නියමව මෙලෙස රුපු කැල සිය දහස්
කෙළ ගණන් වැන සෙන
(55)
කොළඹින් ආ සෙනඟ දඹදෙණිපුරය නසාලා හිරිහාගමින් උඩරට වාඩිලා ගත්තාය. තවත් සෙනඟක් ජනපති බාරුබට්ටුත් මෙරටින් පැනලා උන් මුත්තුසාමිත් සමඟ ත්‍රිකුණාමලයෙන් පිටත්ව මාතලේ රටට පැමිණ නාලන්දේ කඩවතත් ඇත්ගාල නම් කඩවතත් පසුකර මාවැලිගඟ ළඟට ආවාය.
මෙම විස්තරය ඉතිහාස පොතකට සුදුසු සේ කර නැද්දැයි සැලකිය යුතුයි.
එතැන ඉංග්‍රීසින්ට හදි වුණු සැටි කියනු ලැබේ.
ඉංග්‍රීසින් මහවැලිගං ඉවුරට ළඟාවුණු විට සිංහළේ රජ හඟුරන්කෙතට ගියේය. එහිදී සිංහළ ඇමැතියන් හා සාකච්ඡාවකි. ඇතැමෙක් යුද්ධය දිනන්ට බැරි හෙයින් ඉංග්‍රීසි ජනපතිගේ යෝජනාව සේ රට බෙදාගන්ට අවවාද දෙති. රජ ඒ නොපිළිගනී. රජ සිංහළ ප්‍රධානීන්ට තනතුරු දෙවා ඒ ඒ දිසා හා රටවලින් සේනාව එක්කරන්ට යවයි. මෙම තනතුරු ලද්දන්ගේ නාම ලේඛනය සිංහළ කාලයේ අවසානය කිට්ටුවේදී එනම් වර්ෂ 1803 පමණ දී උසස් වූ උඩරට පවුල්වල නම් දැන ගැනීමට ඉවහල් වේ. මෙවක තනතුර ලද්දන්ගේ හා ඔවුන්ට ලැබුණු දිසාරටවල නම්:
මීගස්තැන්නේ සත්කෝරළය, ලෙවුකේ සිවුකෝරළේ, කැප්පිටිපොළ මාතලේ, කහඳව දිසාපති සබරගමුව පලිපාන උඩපළාත, මත්තමගොඩ උඩුනුවර, යටිනුවරට මොලදණ්ඩේ, සිවුසියපත්තුවට දෙරණෑගම, දුම්බරට මඩුගල්ලේ, එසේම මහලේකම් පදවියට මිල්ලව, ජාපන්නේ දෙපේරුවට හා මඩුවේ ගම්කාරපේරුවට දෙහිගම, හේවාපන්නෙට වෑත්තෑවේ, තවත් මුල්ලේගමට වලපනේ හා සිපයි හමුදාව, ඇහැළේපොල ඌව දිසාව, ගලගොඩට හේවාහැට හා ගොනගම.
තව කොටසක් ලබන සතියේ...