සාහිත්‍යය යනු ‘සහිත බව ය’ යි පැවසේ. මෙය අප බොහෝ විට අසා ඇත්තකි. එහෙත් එසේ කී පමණින් සාහිත්‍යය ලෙස අප දන්නා හඳුනන දෙය නිසියාකාරව අර්ථ දැක්වෙන්නේ ද? නො එසේ නම් විග්‍රහ කෙරෙන්නේ ද?
සාහිත්‍යය යන්නට ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ දක්වා ඇති අර්ථ මෙසේ ය: 1. අර්ථවත් වාක්‍යය 2. වාක්‍යය 3. උසුලන ලද බව, යුත් බව. මේ තුන්වන අරුත ගෙන ඇත්තේ දහම් සරණ කෘතියෙනි. එහි ‘සම්බුද්ධ විවරණ කතා’ නම් ඒකකයේ මෙසේ සඳහන් ය. ‘... ලෝකාර්ථ පාණ්ඩිත්‍යායෙන්¸ විවිධාශ්වර්ය සාහිත්‍යයයෙන්¸ අඥාන රාහිත්‍යයෙන්¸ බෝධි පාක්ෂික ධර්ම සාංගත්‍යයෙන් ...’ මෙහිදී ‘සහිත’ සහ ‘රහිත’ යන වදන් දෙක යෙදී ඇති ආකාරය අනුව ‘සාහිත්‍යය’ යනු ‘රාහිත්‍ය්‍යය’ යන්නට විරුද්ධාර්ථ ලෙස දක්වා ඇති බව පැහැදිලි ය. මේ සිංහලයේ සාහිත්‍යය යන වදන භාවිත කොට ඇති මුල් ම අවස්ථාව ලෙස ගත හැකි ය. එහෙත් ඒ අද පවත්නා අරුතින් නම් නොවේ.
වර්තමානයේ ‘සාහිත්‍යය’ යනුවෙන් හැඟවෙන්නේ ‘සහිත දෑ’ පමණක් ම ය යි කිව නොහැකි ය. මන්ද යත්: ‘සහිත’ යන්නට සංකීර්ණ හා පුළුල් අරුත් ඇති හෙයිනි.
සාහිත්‍යය යනු ඉංග්‍රීසි බසින් literature යන්නට සිංහලයේ එන තත්සම වදනයි. එනිසා ‘සාහිත්‍යය යනු සහිත බව ය’ යන අපගේ කෙටි අර්ථ දැක්වීමෙන් ඔබ්බට ගොස් ‘literature’ යන්නේ අර්ථ නිර්ණය වටහා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
‘Literature’ යන්න ‘litera’ ලතින් යන වදනින් භින්න වූ බව පැවසේ. ‘Litera’ යනු අකුර ය. එසේ නම් සාහිත්‍යය යනු අකුරුවලින් කෙරෙන දෙයක් ය යන මූලික සංකල්පයක් තිබේ. ඒ අනුව ‘literature’ යනු ලිඛිත වචන ගොන්නකි. එහෙත් ඒ අර්ථ දැක්වීමේ පළුදු ඇති බව පෙනෙයි. ‘Literature’ යන්නට නොයෙකුත් අර්ථ දැක්වීම් ඇති අතර ඒවා ඒ ඒ විද්වතුන්ගේ ඒ ඒ ගුරුකුල අනුව වෙනස් විය හැකි ය. මෙය ස්වාභාවික ය. මන්ද යත්: නිශ්චිත පරීක්ෂණ මඟින් තහවුරු කෙරෙන ස්වාභාවික විද්‍යා නියමයක් මෙන් පර්යේෂණ මඟින් හෙළිදරව් කිරීම් අනුසාරයෙන් ඉදිරිපත් නෙරෙන සමාජීය විද්‍යා සිද්ධාන්තවලට එක් නිශ්චිත අර්ථ දැක්වීමක් සනාථ කොට ඔප්පු කිරීම කළ නොහැක්කක් වන හෙයිනි.
ඉන්දියාවේ සාහිත්‍යය සඳහා ම වෙන් වූ රාජ්යි අනුග්රමහය ලබන ‘සාහිත්‍යය අකඩමි’ නම් ආයතනය විසින් ද්විමාසිකව ඉංග්‍රීසි බසින් පළ කරන ‘ඉන්දියන් ලිට්රේචර්’ සඟරාවේ 1985 ජනවාරි - පෙබරවාරි කලාපයට කේ. ක්‍රිෂ්ණමූර්ති නම් ලේඛකයකු වසින් සපයන ලද ‘The Meaning of Sahitya A Study of Semantics’ නම් ලිපියේ ඇරැඹුම මෙසේ ය:
‘වර්තමානයේ බොහෝ ඉන්දීය භාෂාවල ඉංග්‍රීසි literature යන්නට සමාන හෝ පර්යාය හෝ පදය ලෙස ‘සාහිත්‍යය’ යන්න යෙදෙයි. ඒ නිසා ය අපගේ ‘National Academy of Letters’ ආයතනය ‘Sahitya Akademi’ ලෙස හැඳින්වෙන්නේ. එහෙත් (සාහිත්‍යය නම්) මේ පදය පෞරාණික සංස්කෘත පඨිතවල භාවිත වී ඇති ආකාරය පිළිබඳ සමීප බැල්මක් හෙළන කල‚ කුතූහලාත්මක මෙන් ම තෘප්තිජනක ද වන විශේෂ ආකාරයේ හැකිළුම් සහ දිගහැරුම් රැසක් හඳුනාගත හැකි ය.’
‘සාහිත්‍යය’ යන යන පදයේ පොදු භාවිතාව පැහැදිලි කිරීමේදී නිතර උපුටා දක්වන ආප්ත පාඨ දෙකකි මේ:
1. “සංගීතමාපි සාහිත්‍යුම් - සරස්වතී ස්තනද්වයම්’’ - සංගීතය සහ කවිය සරස්වතියගේ දෙතන වේ.
2. “සංගීත සාහිත්‍ය කලා විහීනාඃ - සාක්‍යකත්පශු පූචා විශාන හීනාඃ’’ - සංගීත සාහිත්‍යය කලා යනාදියෙන් දුරු පුද්ගලයා වලිගේ නැති ගොනා වැනි ය.
‘සාහිත්‍යය’ යන පදය (සිංහලයේ ඊට දැක්වෙන සහිත යන අරුතින් ම) ඉංග්‍රීසි ‘literature’ යන පදයට පර්යාය වශයෙන් ඉන්දීය භාෂා විසින් ගෙන ඇති බවත් සිංහල පදය සාදාගන්නට ඇත්තේ ඒ අනුව බවත් මෙයින් පැහැදිලි වනු ඇත.
ශබ්දකෝෂ සහ විශ්වකෝෂවල සාහිත්‍යයට නොයෙක් අර්ථ විවරණ දී ඇති නමුත් එක් පර්යාලෝකයකින් එය අර්ථ දැක්වීම කළ නොහැක්කක් සේ පෙනෙයි. මන්ද යත්: වර්තමානයේ සාහිත්‍යය වශයෙන් අප වටහා ගන්නා දැය එහි නිරුක්තිවලට වෙනස් හෙයිනි.
සාහිත්‍යය වනාහි ලේඛකයාගේ නිර්මාණ කෞශල්‍යයෙහි ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය’ යි මහාචාර්ය ඒ.වී. සුරවීර සිය ‘සාහිත්‍ය විචාර සංහිතා’ ලිපි එකතුවේ සඳහන් කරයි.
මේ උද්ධෘතය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ලිපි සහ දේශන ඇතුළත් ‘සරච්චන්ද්‍ර සාර සංග්‍රහය’ නම් කෘතියේ නව සංස්කරණයේ 138 පිටුවෙනි:
‘සාහිත්‍ය ලෝකයෙන් සැබෑ ලෝකයට පිවිසෙන රසිකයා ජීවිතය දෙස බලන්නේ වෙනස් ආකල්පවලින් යුතුවයි. ජීවිතයේ ජීවිතයේ ඔහු පෙර නුදුටු වෛචිත්‍රයකින් දැන් ඔහුගේ හදවත පෙරී මනුෂ්‍යයාගේ දුක් පීඩා ගැන දැන් ඔහුගේ හදවත පෙර නුවූ විරූ අයුරින් කම්පා වනවා. ඒ මොකද කිව්වොත් ඔහුට අනුන්ගේ දුක් දොම්නස් විඳින්න පුළුවන් මාර්ගයක් ලැබුණ නිසයි. ජීවිතයේ තථ්‍ය ස්වභාවය ගැන ඔහුගේ ඇස් ඇරෙනවා. සාහිත්‍යයකරුවා කරන්නේ ප්‍රශ්නයක් මතු කරලා පෙන්වනවා මිසක් ඊට විසඳුමක් දැක්වීම නොවෙයි කියල ඇන්ටන් චෙකොව්ගේ කියමනක් තිබෙනවා. නමුත් සාහිත්‍යකරුවා කිසියම් ප්‍රශ්නයක් විසඳීමට ඉඟියකුත් පෑ යුතුද නැද්ද කියල අපට හිතන්න ඉඩ තියෙනවා. මම හිතන්නෙ හැම ශ්‍රේෂ්ඨ ගත්කරුවකුගේ කෘතියකම ප්‍රශ්නයක් මතු කොට පෙන්වනවා පමණක් නොවෙයි, ඒ ප්‍රශ්නය නිරාකරණයට මාර්ගය ගැනත් කියවෙනවයි කියලා. මනුෂ්‍යයාගේ බාහිර ව්‍යාපාරවලට වඩා සාහිත්‍යයෙන් විදහා දැක්වෙන්නේ ඔහුගේ අභ්‍යන්තර ඝට්ටනයයි. පිටට නොපෙනෙන දේ සාහිත්‍යයයන් එළිදරව් වනවා. මිනිස් චේෂ්ටාවලට තුඩු දෙන සංකීර්ණ හේතු සාහිත්‍යයයෙන් විග්‍රහ වෙනවා.’
මේ වනාහි සාහිත්‍යය යන්නේ අර්ථ විවරණ නොව සාහිත්‍යය යනු කෙබඳු ආකාර දෙයක් ද’යි කියැවෙන ඒවා ය. මෙලෙස බොහෝ වියතුන් සාහිත්‍යය නම් දෙයක් ඇතැ’යි අධ්‍යහාරයෙන් ගෙන ඒ අනුව සිය මත ප්‍රකාශ කොට ඇති අවස්ථා ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකි ය.