බෞද්ධ විඥානය පිළිබඳ ගවේෂණයක් | සිළුමිණ

බෞද්ධ විඥානය පිළිබඳ ගවේෂණයක්

කවිපති විමල් අභයසුන්දරයන්ගේ 2017 සැප්තැම්බර් මස 17 දාට යෙදෙන 97 වැනි උපත් සැමරුම නිමිත්තෙනි.

කොළඹ කවි යුගයේ කවියකු වූ විමල් අභයසුන්දර 1940 සිට 1970 දශකය දක්වා ශ්‍රී ලාංකේය සාහිත්‍යය වෙනුවෙන් අනූපමේය සේවයක් කළ සාහිත්‍යධරයෙකි. කොළඹ යුගයේ කවීන් පිළිබඳ අධ්‍යයනයක යෙදෙන කවරකු හට වුවද පෙනී යන සුවිශේෂ කරුණක් වනුයේ ඔවුන් තේමා, ශෛලීන් සහ අනුගත වූ කාව්‍ය තාක්ෂණයන්ගෙන් එකිනෙකාගෙන් වෙනස් වන බවයි. වන්නි දිවි පෙතේ දරිද්‍රතාව සහ අසරණතාවය පිළිබඳ නිරතුරු ව රචනා වස්තු විෂය කොටගත් විමලරත්න කුමාරගම මේ යුගයේ කැපී පෙනෙන කවියෙකි. සාගර පලන්සූරිය වඩාත් දක්ෂ වූයේ ස්වාභාවිකවත් නිරායාසයෙන් ගලා යන කාව්‍ය රචනා සංග්‍රහ කිරීමටත්ය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශ්‍රී ලාංකේය කාව්‍ය ක්ෂේත්‍රයට නව කාව්‍යමය ගුණය පිරි කාව්‍යමය ප්‍රකාශය එක් කරන ලද අතර, විමල් අභයසුන්දරගේ සුවිශේෂත්වය වූයේ බෞද්ධ විඥානය සිය කවිත්වය මඟින් නිරුපණය කිරීමය.

විමල් අභයසුන්දරගේ කාව්‍ය නිර්මාණ තුළ ඔහු විසින් අත්දැකීමෙන් වටහා ගන්නා ලද බෞද්ධ චින්තනයේ සහ බෞද්ධ විඥානයේ ස්වරූපය ගැබ්වී ඇත. මේ සන්දර්භය ඔහුගේ කවිවල විවිධ ස්වරූපයන් ගෙන් යෙදී ඇති බව ඒ කවි ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී වැටහී යනු ඇත. පළමුව කවියකු ලෙස ඔහු විසින් නිසර්ගයෙන් ම බෞද්ධ ආඛ්‍යාන ඔහුගේ කාව්‍ය නිර්මාණයන්ට වස්තු විෂය බවට පත්කොට ගෙන ඇත.

ඔහුගේ කාව්‍ය නිර්මාණවල වස්තු විෂය බවට පත් කොටගෙන ඇත. මෙය අත්‍යන්තයෙන් ම සිංහල කාව්‍ය සම්ප්‍රදායේ දැකිය හැකි ලක්ෂණයකි. විමල් අභයසුන්දර විසින් රචිත බොහෝ කාව්‍ය සාම්ප්‍රදායික බෞද්ධ කථාවල අනුසාරයෙන් නිර්මාණය වී තිබේ. දෙවනුව, බෞද්ධයන්ගේ වන්දනයට පාත්‍ර වන බොහෝ සිද්ධස්ථාන ද ඔහුගේ නිර්මාණවලට පාදක වී ඇත. තෙවනුව, සම්භාව්‍ය සහ තත්කාලීන බෞද්ධ සාහිත්‍යයේ දක්නට ඇති පාත්‍ර වර්ගයා ද ඔහුගේ කාව්‍යයන්හි දිටිය හැකි සුලභ ලක්ෂණයකි. සිව්වැනුව, සමාජ ජීවිතය ඔප් නංවන බෞද්ධ ඇගයුම්, වටිනාකම්, ධර්මතා, ලෝකය පිළිබඳ දෘෂ්ටිය ද ඔහුගේ මාතෘකා සහ තේමා බවට පත්වී තිබේ. අවසාන වශයෙන් බෞද්ධ විඤ්ඤාණය නිරාවරණය කරන විවිධ තේමාවන්ගෙන් ද ඔහුගේ කාව්‍ය නිර්මාණ පොහොසත්ය. ඉහත සඳහන් සියලු කරුණු විමල් අභයසුන්දරගේ කාව්‍යයන්හි ඇති බෞද්ධ දර්ශනයේ පදනම සවිස්තරව පෙන්වා දෙන සාධකයන්ය.

සිංහල කාව්‍ය සම්ප්‍රදායේ වර්ධනය සමඟ නිරන්තරයෙන් ම විමල් අභයසුන්දර ද බැඳී සිටි බවට ඔහුගේ නිර්මාණ සාක්ෂි දරයි. එලෙසම ඔහුගේ විචාර රචනා මඟින් ද මේ බව මනාව ස්ඵුට වෙයි. සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි යන විවිධ භාෂාවන් කෙරෙහි ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම මේ සඳහා බලපෑ බව සිතිය හැකිය. බෞද්ධ චින්තනය ද මෙම වාග් විද්‍යාත්මක දැනුම සමඟ බද්ධව ඇති සැටිත් ඔහුගේ කාව්‍ය නිර්මාණ ඉතා ඉහළ මට්ටමක තිබූ බවට පාඨක, විචාරක මත නිබඳවම පළ වී ඇති බව සිහි කළ යුතුය. එකවර කාව්‍ය සම්ප්‍රදාය සමඟ පර්යේෂණාත්මක අත්හදා බැලීම් කරන්නටත් ඔහු පසුබට නොවූ බව මෙහිදී ඉඳුරාම පැවැසිය යුතුව ඇත.

සම්ප්‍රදාය වූකලී සොයා ගැනීමට, අල්ලා ගැනීමට අපහසු වූවක් බව විමල් අභයසුන්දර මනාව වටහාගෙන තිබිණි. සම්ප්‍රදායෙහි ඇති ස්ථිතික සහ ගතික ද්විත්වය හෝ ද්විවිධභාවය කෙරෙහි ඔහු මොනවට අවධානය යොමුකර තිබුණි. සම්ප්‍රදාය සම්බන්ධ සීමාන්තික අතිශය සරළ නිර්වචන කෙරෙහි ඔහු එරෙහි වූයේ එමඟින් ස්වකීය කාව්‍ය නිර්මාණ සහ විචාර සම්බන්ධ තමාගේ මතවාදය නිරූපණය කළ නොහැකි නිසාය. සම්ප්‍රදාය වටහා ගැනීම හෝ විස්තර කිරීම රඳා පවතින්නේ එය කරන්නාගේ වපසරිය තුළ බව ඔහුගේ අදහස වූයේය.

මීට පෙර මා විසින් මෙම ලිපියේ සඳහන් කළ පරිදි විමල් අභයසුන්දරගේ පරමාර්ථයක් වූයේ බෞද්ධ විඤ්ඤාණයේ එන විවිධ ස්තර ගවේෂණය කිරීමයි. මෙහිදී ඔහු අනුගමනය කරන ලද එක ක්‍රමවේදයක් වූයේ සම්ප්‍රදාය සහ නවීනත්වය අතර ඇති අන්තර් සබැඳියාවය. ඔහුට අනුව සම්ප්‍රදාය සහ නවීනත්වය වෙන් කළ නොහැකිය. එය එකිනෙක මත රඳා පවතින, එකිනෙක මත යැපෙන සන්දර්භයන් දෙකක් බැව් ඔහු මැනවින් තේරුම්ගෙන තිබුණි. ඔහු පවසන ලෙස සම්ප්‍රදාය සහ නවීනත්වය වූකලී එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක නොපවතින අතර දැනුම ගවේෂණය කිරීමට අවශ්‍ය වන පොදු සාධකයක් පමණි. මෙම සිතිවිලි ධාරාවට ඔහුගේ කාව්‍යකරණයේදී භාෂාවේ සහ ආකෘතියේ නම්‍යශීලිත්වයට බලපෑ වැදගත් සාධකයකි. අනිකුත් කොළඹ යුගයේ කවියන් මෙන් නොව ඔහු සිය කාව්‍ය නිර්මාණයේදී සංස්කෘත වචන ඉතාමත් නිදහස්ව යොදාගන්නා ලදී. එලෙස ම සමුද්‍රඝෝෂ විරිත හැරුණු විට වෙනත් විරිත් රටා සමඟ කාව්‍ය නිර්මාණ බිහි කරන්නට ද ඔහු නොපසුබට විය.

විමල් අභයසුන්දර සිය කාව්‍ය නිර්මාණයන්හිදී එදිනෙදා ජීවිතය ඉතා ගැඹුරු බෞද්ධ විඥානාත්මක පදනමකින් විග්‍රහ කිරීමට උත්සුක විය. එදිනෙදා ජීවන අරගලයේදී මිනිසුන් බෞද්ධ චින්තනය සහ හැඟීම අනුව ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න ඔහුගේ නිර්මාණවල චරිත ඇසුරෙන් වටහා ගත හැකිය. එදිනෙදා ජීවිතය තුළ විවිධ විඥානවාදී ස්තරයන් කෙසේ පිළිබිඹු වන්නේ ද යන වග, ඔහු වැනි කවියකු සතු වූ ප්‍රතිභාව ඔප් නැංවීමට සමත් වී ඇති බව ද තේරුම් ගත යුතුය. සත්‍ය වශයෙන් ම ඍජු වශයෙන් බෞද්ධ විඥානය පෙන්වා දෙනු වෙනුවට, බෞද්ධ විඥානවාදය එදිනෙදා ජිවිතය තුළට ප්‍රවිෂ්ට වී ඇති අයුරු නාට්‍යනුසාරයෙන් ප්‍රති නිර්මාණය කර ඇත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විමල් අභයසුන්දර ප්‍රතිභාපූර්ණ කවියෙකි. සාහිත්‍ය විචාරකයෙකි. ඔහු විසින් නූතන කාව්‍ය පිළිබඳව ඉදිරිපත් කරන ලද මතවාදයන් පාඨක, විචාරක සැමගේ දැඩි අවධානයට ලක් විය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි. කොළඹ යුගයේ බිහි වූ කාව්‍ය නිර්මාණ බහුල වූ අතර ඒවා සමාජ සන්දර්භය තුළ ඉතා ඉහළ මට්ටමේ ජනප්‍රියත්වයක් හිමිකර ගන්නා ලදී. කාව්‍ය සංග්‍රහ බිහිවීම ද ඉතා විශාල වශයෙන් සිදු වූ මෙකල කාව්‍ය රචනයෙහි උනන්දු වන නවකයන් සඳහා මඟ පෙන්වීමට විවිධ ගුරුකුල බිහි වන්නට ද විය. ප්‍රංස ජාතික සමාජ විද්‍යාඥයකු වූ පියරේ බෝඩි ගෝට අනුව සංස්කෘතික නිෂ්පාදන යන්න නියමාකාරයෙන් අත්විඳිය හැකි වූ කාල සීමාවක් ලෙසට නම් කළ ද වරදක් නැත. විමල් අභයසුන්දර ද මේ සඳහා ඉටු කරන ලද මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැකි බව පැවසීම අතිශයෝක්තියක් නොවේ!

‘දෙනුවන’ නමැති ඔහුගේ ම කාව්‍ය සංග්‍රහයට මතු සඳහන් කරන ලද පරිදි, කොළඹ කවියේ ආකෘතිය සඳහා මුද්‍රණ ක්ෂේත්‍රයේ දියුණුව ද බලපෑ බව වටහා ගත යුතුයි. මෙය සත්‍ය වශයෙන් ම වලංගු ප්‍රකාශයක් බව එකල සාහිත්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට බලපෑ හේතු සාධක සොයා යන විට හැඟී යන කරුණකි. විචාරකයකු ලෙස ද කවිය සහ සමාජය අතර ඇති අන්තර් සබැඳියාව ද ඔහුගේ පරිකල්පනය සහ වටහා ගැනීම කෙතරම් තියුණුදැයි පෙන්වා දෙන බව රහසක් නොවේ. ඔහුට අනුව කවිය නිරතුරුවම වඩා පුළුල් සමාජ කතිකාවකට යොමු වීමෙන් එහි අගය සහ බලය නිතැතින්ම, නිරතුරුවම වර්ධනය වන බව පෙන්වා දුන්නේය. ඉහත සඳහන් කරුණු සලකා බැලීමේදී විමල් අභයසුන්දරගේ කාව්‍ය නිර්මාණ නැවතත් පරිශීලනය කිරීම අධ්‍යයනය කිරීම සහ විචාරයට භාජනය කිරීම ඉතාමත් කාලීන කටයුත්තක් සේ සැලකිය යුතු බව සඳහන් කරමි.

Comments