දුර්මතවලින් සත්‍යය යටපත් කළ හැකිද? | සිළුමිණ

දුර්මතවලින් සත්‍යය යටපත් කළ හැකිද?

වර්ෂ 2017 ක් වූ මැයි මස 28 වැනි දින සිළුමිණ, සත්මඬලේ පළවූ දයාපාල ජයනෙත්ති මහතාගේ ‘සිංහල නවකතාව සහ දේශීය සාහිත්‍ය සම්ප්‍රදාය’ යන ලිපියත්, ඊට පිළිතුරු වශයෙන් රවි තිලකවර්ධන, සෝමසිරි කස්තුරිආරච්චි, නවරත්න අත්තනායක යන වියතුන් විසින් පළ කරන ලද ලිපිත් මම කියවීමි. රවි තිලකවර්ධන හා නවරත්න අත්තනායක දෙපොළ අපක්ෂපාතී ව, හරවත් ලිපි දෙකක් ලියා තිබිණ. එහෙත් ජයනෙත්තිගේ ලිපි ඩබ්.ඒ. සිල්වාණන්ට විපක්ෂවත්, කස්තුරිආරච්චිගේ ලිපිය වික්‍රමසිංහයන්ට විපක්ෂවත් ලියා තිබුණ බව ඉතා හොඳින් පෙනිණ.

ජයනෙත්ති සඳහන් කර තිබෙන්නේ ඩබ්.ඒ. සිල්වාණන් බටහිර ලේඛකයන්ගේ කෘති අඳ බැතින් වැලඳගෙන ඇති බව ය. එහෙත් එම සාවද්‍ය අදහස නිසා සිල්වාට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. එතුමා ඇතැම් නවකතා ලිවීමේ දී බටහිර ලේඛකයන්ගේ ආභාසය ලැබූ බව සත්‍යයකි. එහෙත් ඔහු බටහිර කෘති අඳ බැතින් පිළිගෙන නැත. මීට නිදසුනක් ලෙසින් රිචඩ් ෂෙරිඩන්ගේ ‘පිසාරෝ’ නාට්‍යයේ ආභාසයෙන් රචිත ‘විජයබා කොල්ලය’ නම් ඓතිහාසික නවකතාව දැක්විය හැකි ය. මෙය නීලමණී, අසංග සෙ‍ෙනවි හා නයනානන්ද සෙනවි වටා ගොඩනැඟුණ ප්‍රේම කතාවකි. නීලමණීගේ සිතේ පෙරළෙන ප්‍රේමය නවකතාවේ කදිමට විශ්ලේෂණය කර ඇත. මේ කතාවේ අසංග සෙනෙවිරත්නගේ චරිතයෙන් ධ්වනිත කෙරෙන්නේ නිර්භීතකම හා පරිත්‍යාගශීලීත්වයයි. නීලමණීගේ යහපත ගැන සිතමින්, ඔහු සිය ප්‍රේමය පරිත්‍යාග කරයි. මෙවැනි ආදර්ශවත් චරිත වර්තමාන සමාජයෙන් ද කලාතුරකින් දැකිය හැකි ය. අසංග යනු දේශීය වටිනාකම් අගය කරන අකම්පිත තරුණයෙකි. ‘විජයබා කොල්ලය’ ජාතිවාත්සල්‍යය ද ඉස්මතු කරන නවකතාවකි. සීයා හා මුනුබුරා අතර සංවාදයෙන් එය මනාව පෙනේ. මේ නවකතාව කියවීමෙන් අපගේ ජීවිතාවබෝධය පුළුල් වන්නේ ය. නවකතාවෙන් කියැවෙන්නේ කෝට්ටේ යුගයේ සමාජ තොරතුරු මිස ‘පිසාරෝ’ නාට්‍යයට විෂය වූ සමාජ පසුබිම නොවේ. සිල්වා ගේ ‘සුනේත්‍රා හෙවත් අවිචාර සමය” ද, දේශීය පරිසරයට ගැළපෙන ලෙසින් නිර්මාණය කරන ලද, දේශීය අත්දැකීම්වලින් පෝෂණය වූ රසවත් හා හරවත් ඓතිහාසික නවකතාවකි. මෙයට විෂය වී තිබෙන්නේ සීතාවක යුගයේ සමාජ තොරතුරු ය. නවකතාවේ උපයුක්ත බස සේනාධීරගේ චරිතය ජීවමානව නිරූපණය කිරීමට ඉවහල් වෙයි. සිල්වාගේ ඓතිහාසික නවකතාවලින් සිංහල නවකතාවේ විෂය ක්ෂේත්‍රය පුළුල් වී ඇත.

සිල්වාගේ බොහෝ නවකතාවලින් අපේක්ෂා කළේ සත් ගුණය වර්ධනය කිරීමයි. ආදරය, සතුට, පුදුමය හා වීරත්වය ඔහුගේ නවකතාවන්හි දක්නට ලැබේ. එතුමාගේ නවකතාවල නිරූපිත චරිත ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට ඇතුළු කළ හැකිය. එනම් ශාන්ත ලෙස හැසිරෙන වීරෝධාර චරිත හා අයහපත් ලෙස හැසිරෙන වංක චරිත වශයෙනි. සත්ගුණය ඉස්මතු වන්නේ වී‍රෝදාර චරිත තුළින් ය. සිල්වාගේ නවකතා කියවීමෙන් පාඨකයාට රස වින්දනයක් ලබාගැනීමටත් ජීවිතාවබෝධය හා වාක්කෝෂය පුළුල් කරගැනීමටත් හැකිවේ. ඔහු විසින් පළ කරන ලද සිරියාලතා (1909), ලක්ෂ්මී (1923), හිඟනකොල්ලා (1923), පාසල් ගුරුවරී (1924), සුනේත්‍රා (1933), දෛවයෝගය (1936), විජයබාකොල්ලය (1938), රදල පිළිරුව (1943), හඳපාන (1941), කැලෑ හඳ (1941), ජූලි හත (1943) යන නවකතා යළි කියවන ලෙස ජයනෙත්තියන්ගෙන් මම ඉල්ලා සිටිමි. එවිට, සිල්වා බටහිර කෘති අඳ බැතින් වැලඳගෙන නවකතා රචනා කිරීමට තරම් බටහිර ගැති අනුකාරකයකු වී නැති බව පෙනෙනු ඇත.

සිල්වාගේ කතා ශෛලිය මෙරට ජනතාව අතර කොතරම් ජනප්‍රිය වූයේ ද යත්, ඔහුට නවකතා චක්‍රවර්ති යන විරුදනාමය පට බැඳිණි; ‘සාහිත්‍ය කීර්ති’ යන ගෞරව නාමය ද ප්‍රදානය කෙරිණ. සිල්වාගේ නවකතා කිහිප වරක් ම මුද්‍රණය කර ඇත. ‘හිඟන කොල්ලා’ අට වතාවක් ද, ‘කැලෑ හඳ’ හා ‘හඳපාන හය වතාව බැගින් ද, මුද්‍රණය කර තිබේ. මෙයින් පෙනෙන්නේ සිල්වාගේ නවකතා නිසා පාඨකයා තුළ නවකතා කලාව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ බවයි. ඔහු බටහිර කෘති අඳ බැතින් අනුකරණය කර ඇත්නම්, මෙලෙස විශාල රසික සංඛ්‍යාවකගේ කීර්තියට පාත්‍ර වන්නේ නැත. මාර්ටින් වික්‍රමසිංහ මෙරට පහළ වූ උත්තුංග නවකතාකරුවකු වුවත්, ප්‍රථමයෙන් ම සිංහල චිත්‍රපටයකට නැගුණේ සිල්වාගේ ‘කැලෑ හඳ’ ය. අනතුරුව, ඔහුගේ හිඟන කොල්ලා, සිරියාලතා, රදල පිළිරුව, හඳපාන හා දෛවයෝගය ද, දෙයියන්නෙ රටේ, කෙටිකතාව ද, චිත්‍රපටයට නැගුණි. වර්තමානයේ දයාරත්න රටගෙදර ‘කැලෑහඳ’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් සිටියි. මෙයින් ගම්‍ය වන්නේ සිල්වාගේ නවකතා අද ද ජනතාව අතර පිළිගැනීමකට ලක්වී තිබෙන බව ය. ඔහු බටහිර නවකතා හා වෙනත් කෘති අන්ධ භක්තියෙන් අනුකරණය කර නැති බව මෙයින් තහවුරු වන්නේ ය. එසේ අන්ධ භක්තියෙන් වැලඳගෙන තිබුණේ නම්, සිල්වාගේ නවකතා මෙරට රසිකයන් අතර මෙපමණ කාලයක් රඳා පවතින්නේ නැත. ජයනෙත්තිගේ දුර්මතය ගොඩනැඟී තිබෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ (1951) කෘතිය කියවීමෙන් බව පෙනේ.

සෝමසිරි කස්තුරිආරච්චිගේ ලිපියෙහි, පේරාදෙණි කල්ලිය විසින් මාර්ටින් වික්‍රමසිංහයන් ඩැහැගෙන, වසඟයට ගත් බව සඳහන් වේ. පේරාදෙණි ගුරුකුලයට වික්‍රමසිංහයන් නොමඟට යැවීමට හැකි වූයේ නම් අපට පෙනෙන්නේ වික්‍රමසිංහයන් තුළ තිබෙන පෞරුෂ දුබලතාවයි. මෙයින් පෙනෙන්නේ කස්තුරි ආරච්චි විසින් ශ්‍රේෂ්ඨ ලේඛකයකු වන වික්‍රමසිංහට අවමානයක් කර තිබෙන බව ය. ඔහු නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායට ද එල්ල කර තිබෙන්නේ අසාධාරණ චෝදනාවකි.

“... ‘නිසඳැස් කවි’, ‘නිදහස් කවි’ නම් වූ අමුතු පුස් කාව්‍ය සම්ප්‍රදායන් බිහිකිරීමෙන්, සිංහල ජන සාහිත්‍ය රසිකයාගේ සිත් බොළඳ කරවන්නට ද ඔවුහු සමත් වූහ...”

කස්තුරුආරච්චි උක්ත චෝදනාව නගන්නේ නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භකයන්, පේරාදෙණියේ කවීන් යැයි සිතාගෙන ය. එහෙත්, එය නිවැරැදි නොවේ. සිංහල නිසඳැස් කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භකයා වන්නේ ජී.බී. සේනානායකයන් ය. අනතුරුව, කේ.ඩී. පැන්ටලියන් විසින් රචිත ‘සෙවීම’ (1947) හා මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ‘තේරි ගී’ (1952) නිසඳැස් ආරෙන් රචිත පද්‍ය සංග්‍රහ වන්නේ ය. මේ තිදෙනාම බිහිවූයේ විශ්වවිද්‍යාල පරිසරයෙන් පිටස්තරව ය. පේරාදෙණි සරසවියේ සිටි සිරි ගුනසිංහයන් විසින් රචිත ‘මස් ලේ නැති ඇට’ (1956) නි‍සඳැස් කාව්‍ය සංග්‍රහය පළ කරන ලද්දේ ඉහත සඳහන් නිසඳැස් කවීන්ට පසුව ය. නිසඳැස් අමුතු පුස් කාව්‍ය සම්ප්‍රදායක් නම්, එම සම්ප්‍රදාය මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් චෝදනා කළ යුත්තේ පේරාදෙණි ගුරුකුලයට නොව, ජී.බී. සේනානායකයන්ට ය. සිරි ගුනසිංහ, සරත් අමුණුගම, විමල් දිසානායක වැන්නන්ගේ නිසඳැස් කාව්‍ය රස විඳින්නකුට ඒවා අමුතු පුස් කාව්‍ය ලෙසින් පෙනෙන්නට ඉඩක් නැත; ඒවා රසිකයාගේ සිත් බොළඳ කරවන්නේ ද නැත‍. ගුනසිංහ ඇතුළු මුල්කාලීන පේරාදෙණි නිසඳැස් කවීහු නිසඳැස් ආකෘතිය සංකීර්ණ සමාජ අත්දැකීම් නිරවුල්ව ඉදිරිපත් කිරීමට යොදාගත්හ. ගුනසිංහගේ ‘ශිෂ්ටාචාරය ගලා බසී’, ‘මරණය නොසැලී හිමාලයක් මෙන්’ යන නිසඳැස් පද්‍ය පන්තිවලින් රසිකයන්ගේ හදවත පමණක් නොව, ප්‍රඥාවද, අවදි වෙයි. වර්තමානය වන විට නිසඳැස් සම්ප්‍රදාය මෙරට සංස්කෘතියට බද්ධ වී ඇත. එබැවින් සිංහල නිසඳැස්, සම්ප්‍රදායට අවමන් කිරීමෙන් පලක් නොවන බව කස්තුරිආරච්චියන්ට කිය යුතුය. වර්ෂ 1946 දී මෙරට සිටුවන ලද නිසඳැස් පැළය අද වනවිට මහා වෘක්ෂයක් වී අවසන් ය.

කස්තුරිආරච්චි මහතාගේ ලිපියේ ඇති තවත් කරුණක් වන්නේ ‘දෛවයෝගය’ අමු අමුවේ කොපි කරමින්, වික්‍රමසිංහ ‘‍ගම්පෙරළිය’ රචනා කර ඇති බව ය. එම අදහස අපට පිළිගත නො හැකි ය. එහෙත් ‘ගම්පෙරළියට’ ඇන්ටන් චෙකෝෆ්ගේ ‘චෙරිවත්ත’ නාට්‍යයේ ආභාසය ලැබී තිබෙන බව පෙනී යයි. චෙරිවත්තේ මෙන් ම, ගම්පෙරළියේ ද, සමාජ පෙරළියක් සිදුවෙයි. ‘චෙරිවත්ත’ (The Cherry Orchard) නාට්‍යයේ නිරූපිත රනෙෆ්ස්කා හා ඇගේ සොහොයුරා ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරන පවුලක සාමාජිකයෝ වෙති. ‘‍ග‍ම්පෙරළියේ’ මුහන්දිරම් ඇතුළු පවුල ද, ආර්ථික දුෂ්කරතා නිසා අසරණ වෙති. ‘චෙරිවත්තේ’, ලොපානික් හා ‘ගම්පෙරළියේ’ පියල්ගෙන් සංකේතවත් කෙරෙන්නේ ධනේශ්වර පන්තියේ නැගීමයි. කෙසේ වෙතත්, ගම්පෙරළියට ලැබී තිබෙන්නේ ඇන්ටන් චෙකෝව්ගේ (Anton Chekhov) චෙරිවත්ත කතා වස්තුවේ ඡායාවක් පමණි. වික්‍රමසිංහයන් විසින් ‘ගම්පෙරළිය’ සිංහල ග්‍රාමීය පරිසරයට උචිත අන්දමින් රචනා කර තිබේ. එයින් පිළිබිඹු වන්නේ වික්‍රමසිංහයන් තුළ තිබෙන විශිෂ්ට නිර්මාණාත්මක කුසලතාවයි.

මංජුල වෙඩිවර්ධනගේ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ කෙටිකතා පොතේ උපයුක්ත බස හෙළ බසට කර ඇති මහා නිගාවක් බව ජයනෙත්තිගේ පිළිතුරු ලිපියේ සඳහන් වේ. මේ පොත ඇතුළුව 2017 රජත සම්මාන උලෙළ සඳහා ලැබුණ කෙටිකතා පොත් සංඛ්‍යාව තිස් හතක් බව විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය සෝමරත්න බාලසූරිය සඳහන් කර තිබිණ. එතුමා රාජ්‍ය සම්මාන දිනූ කෙටිකතාකරුවෙකි. අනෙකුත් කෙටිකතා සියල්ල කියවා නැති බැවින්, වෙඩිවර්ධනගේ පොතට සම්මානයක් ප්‍රදානය කිරීම ගැන අපට කිසිවක් කිය නො හැකි ය. එය හොඳම කෘතිය ලෙසින් තෝරාගෙන ඇත්තේ තිදෙනකුගෙන් සමන්විත උත්තරීතර මණ්ඩලයක් විසිනි. අත්දැකීමට විෂය වන පරිසරයේ ඇති වචන හා වචන විලාසයන් වෙඩිවර්ධනගේ නිර්මාණයට යොදාගෙන ඇත. 1970 දී ඒ‍.වී. සුරවීර පවා සිය ‘පෑදි දියට බොරදිය’ කෙටිකතා සංග්‍රහය කතා ව්‍යවහාර භාෂාවෙන් පළකර තිබිණ. එවැනි ප‍ූර්වගාමී කෙටිකතාකරුවන්ගේ නිර්මාණයන්හි ශිල්ප ක්‍රමවල ආභාසය වෙඩිවර්ධනට ද ලැබී තිබේ.

Comments