සද්ධර්මරත්නාවලී පරිකථා
සිළුමිණ ශාස්ත්‍රීය මණ්ඩපය ‘සත්මඬල’ අද සිට පැරණි දහම් මග විවරණය කෙරෙන ‘පරිකථා’ ඔබ වෙත රැගෙන එන්නෙමු. ඒ පරිකථා සද්ධර්ම රත්නාවලී පරිකථාය. ‘පරිකථාව’ යන්නෙහි අරුත හාත්පසින් කරනු ලබන විවරණයයි. සිංහල ව්‍යාක්‍යානාවලියෙහි වැදගත්ම අංගය ‘පරිකථා’ වෙයි. පරිකථාවකින් මූලික කොට දැක්වෙන්නේ මූලග්‍රන්ථයක තෝරාගත් පදයකට හෝ කථා පුවතකට විස්තරාර්ථ දැක්වීමයි. විටෙක එය අපේ ඉතාම විශිෂ්ට වූ විචාර ක්‍රමයකි. පරිකථා කරුවා මුල් කථාව සිත් සේ විචාරයට ලක් කරයි. මහාචාර්ය ආනන්ද කුලසූරියට අනුව පරිකථාව යම් රචනාවක දුරවබෝධ පාඨවලට විස්තරාර්ථ දැක්වීමකි. ඒ අනුව පරිකථාව වැඩිදුර විස්තර කිරීමකි.
පරිකථාව පිළිබඳ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල අර්ථ දක්වන්නේ මෙසේ ය.
“පරිකථා යන්නෙහි පරි යනු උපසර්ග පදයකි. එහි විවිධ තේරුම් පවතී. හාත්පස, වටා, සම්පූර්ණ, සවිස්තර යනු එහි ප්‍රකට තේරුම් කිහිපයකි. කථා යනුවෙහි ද තේරුම් ගණනාවක් ඇත. කථාව සාකච්ඡාව කථාන්තරය යනුවෙන් ඒ තේරුම් පවතී. දෙපදයේ විවිධ තේරුම් අතර මෙහි පැනෙනුයේ සවිස්තර වූ සාකච්ඡාව යන්නයි”
“සිංහල සාහිත්‍ය වංශය”
ඒ අනුව පරිකථාවකින් කෙරෙනුයේ විස්තරාත්මක සාකච්ඡාවකි, හෙවත් විවරණයකි. නැතහොත් අංගසම්පූර්ණ විචාරයකි.
අපි සද්ධර්මරත්නාවලියට කෙරෙන පරිකථාව මෙතැනින් අරඹමු. නූතන හෝ පුරාතන හෝ කවර හෝ සාහිත්‍යයකින් නිරූපණය වන්නේ එම සාහිත්‍යය පහළ වන සමාජයයි. නැතහොත් එම සමාජීය අවශ්‍යතා මත සාහිත්‍යය බිහිවෙයි. සද්ධර්මරත්නාවලිය තුළින් නිරූපණය කෙරෙන්නේ දඹදෙණි යුගයේ සමාජ අවශ්‍යතාවයි. දඹදෙණි යුගය ඇරඹෙන්නේ පොළොන්නරු මාඝ ආක්‍රමණය අවසන් වීමෙනි. මාඝගේ ක්‍රෑර පාලනය පූජාවලිය විස්තර කරන්නේ ‘ලෝක සාසනය නසා රුවන්වැලි මහ සෑය බිඳුවා සෙසුත් දහස් ගණන් දාගබ් සිදුවා ලක්දිව කුල ස්ත්‍රීන්ගේ ජාති සටිභේද කොට සිරිලක මිත්‍යාදෘෂ්ටි ගන්වා සුඛිතයන් හසිත පාදාදී ඡේදනයෙන් විකාරයට පමුණුවා ලංකාදීපය ගිනිගත් ගෙයක් සේ කරවා බලහත්කාරයෙන් එකුන් විසි අවුරුද්දක් රාජ්‍ය කළේ ය” යනුවෙනි.
පූජාවලිය දක්වන මෙම තොරතුරු අනුව මාඝගේ පාලන සමය ඉතිහාසයේ ඛේදනීය සමයක් වූවාට සැක නැත. මාඝගේ සැහැසිකම් තුළින් සමස්ත සමාජයම පීඩාවට පත්වුණි. සිංහල රජ පරපුර විනාශ කරන්නට ගත් උත්සාහයේදී ගිහි ප්‍රභූ සමාජයට මෙන් ම භික්ෂු සමාජයට ද ආරක්ෂකයෙක් නොමැති වීය. රජරට ආර්ථිකයේ පදනම වූ වාරි කර්මාන්ත විනාශ වී වැව් අමුණු ජරාවාස වී ය. ප්‍රභූන් මෙන් ම භික්ෂුහු ද රැකවරණය පතා රජරටින් වෙනත් ප්‍රදේශ වෙතට සේන්දු වූහ.
මෙසේ ආරක්ෂාව පතා නිරිතදිගට සංක්‍රමණය වූ ප්‍රභූන් අතර සිටි විජයබා සේනා සංවිධානය කොට සිංහල ප්‍රභූන් හා එක්ව සොළී සේනාවට පහර දී දඹදෙණි පව්ව මුදුනෙහි රාජධානියක් පිහිටුවා ගැනීමෙන් 1232 දී දඹදෙණි රාජධානිය ගොඩනැඟෙයි. රාජධානිය පිහිටුවාගත් විජයබා රජුගේ මූලික අභිප්‍රාය වූයේ බුද්ධ ශාසනය නගා සිටුවීමත් යුද්ධය නිසා වැනසී ගිය සමාජය නැවත පුනරුත්ථාපනය කිරීමත් ය.
විජයබාගේ විශිෂ්ට උත්සාහය මත පැරණි රාජධානියක පැවති සියලු දෑ ගොඩ නගා උගතුනට ජීවත්වීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟූ අතර යුගයේ දීප්තිමත් ම යුගය උදාවන්නේ දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලය උදා වීමෙනි. මහා ධර්මධරයකු හා සාහිත්‍යධරයකු මෙන් ම සෞන්දර්ය රසඥතාවකින් යුතු වූවකු බැවින් සාහිත්‍යය කෙරෙහි විශේෂ නැඹුරුවක් මෙකල ඇති වීය. විශේෂයෙන් යුද්ධයෙන් පිරිහී ගිය මනුෂ්‍ය ධර්ම, ගුණධර්ම, සාරධර්ම නැවත ස්ථාපනය කරන්නට භික්ෂුන්ට හා උගතුනට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ ය. මේ අනුව ධර්මසේන යතිවරයාණන් බිහිවන්නේ මෙම පශ්චාත් යුද සමයේ සමාජය නැවත පුනරුථාපනය කිරීමේ කාර්යභාරය ඉටු කරලීම පිණිස ය.
ධර්මසේන යතිවරයන් මෙකල බිහිවූ ඉතා විශිෂ්ට ගණයේ ධර්මධරයකු මෙන් ම සාහිත්‍යධරයෙකි. අනුරාධපුර පොළොන්නරු යුගයේ සිට වැඩෙමින් පැමිණි හෙළ බස් වහර වඩාත් සියුම් ලෙසින් නිර්මාණකරණයට යොදා ගත් භාෂාධරයෙකි. සිංහල ලේඛක පරපුරේ ප්‍රගතිශීලී යතිවරයා ධර්මසේන හිමියන් ය. එනම් කවර බලවේගයකට හෝ යටත් නොවූ කිව යුතු දේ කිව යුතු තැන එඩිතරව කියා පෑ සාහිත්‍යධරයෙකි. උන්වහන්සේට එම ජවය ලැබුණේ කෙසේද? රජුන් රාජ සභාවන් මැති ඇමැතියන් පිනවන සාහිත්‍ය ව්‍යාපාරයක එතුමන් නියැළී නොසිටි නිසා ය. එතුමෝ නිකම්ම ධර්මසේන හිමියෝ වෙති. මුලට අගට චක්‍රවර්ති උපාධි නාමයක් නැති ධර්මසේන හිමියෝ ය. මෙම නිර්භීත බව වත්මනටත් වඩා රජුන්ගේ බල පවුරු පැවති එකලට බෙහෙවින් වටී. අනෙකුත් සියලුම සාහිත්‍යධරයන් රජුන් සතුටු කරන්නට නිර්මාණ කළ යුගයක පොදු ජනයාට ලියූ ලේඛකයා ධර්මසේන හිමියෝ ය. එබැවින් උන්වහන්සේ අපට සාරවත් සාහිත්‍ය දර්ශනයක් දායාද කළ නිර්මාණකරුවා ය.
නිකාය සංග්‍රහයෙහි එන ලේඛක නාමාවලියෙහි හැර අන් තැනෙක හමු නොවන ධර්මසේන හිමියන් ලියූ වෙනත් ග්‍රන්ථ ගැන ද සඳහනක් අපට නැත. උන්වහන්සේ මුළු ජීවිත කාලයටම ලියුවේ එකම සද්ධර්මරත්නාවලියකි. සදහම් මිණි මුතු ඇමිණූ මාලයක් සේ මෙය එකිනෙක කතා ගොතා කියා ලියා අමුණන ලද කෘතියකි. මේ සියල්ල උන්වහන්සේ ගැමියන්ට කළ දේශනාය. ගැමියා සමඟ ජීවත්වූ ගැමි ජන දිවි පෙවෙත පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් පැවති උන් වහන්සේ මාඝගේ සැහැසිකම්වලින් වැනසී ගිය මිනිස්කම් නැවත ගොඩනඟන්නට ඒ ඔස්සේ සත්පුරුෂ ලෝකයක් නිර්මාණය කරන්නට මිනිස් දුබලතා විකසිත කරමින් ඒවාට ධර්මෝපදේශ සලසමින් පැවැත්වූ දේශනා පෙළහර සද්ධර්මරත්නාවලියයි. අද අප ජීවත් වන්නේ ද පශ්චාත් යුද සමයකය. නූතන සමාජයේ එදිනෙදා අප අත්දකින, බොහෝ අපරාධ ගොඩනැඟෙන්නේ තිස් වසක් පුරා විහිදී ගිය අමානුෂික යුද්ධය හේතුවෙනි. මනුෂ්‍ය සදාචාර ධර්ම සියල්ල සිඳ බිඳ දමමින් එකිනෙකා කෙරෙහි වෛරීව දකින්නට හා පෙළන්නට අද සමාජයට නිර්භයත්වය ඇති වූයේ යුද්ධයෙන් අප ලද දුෂ්ට දායාද ලෙසිනි. ඒ අනුව ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලී විවරණ දඹදෙණි යුගයට සේම නූතනයට ද එකසේ වැදගත් ය.