චීන සංස්කෘතික විප්ලවයේ නියමුවා සැමරේ | සිළුමිණ

චීන සංස්කෘතික විප්ලවයේ නියමුවා සැමරේ

චීන සංස්කෘතික විප්ලවයේ නියමුවා ලෙස සැලකෙන ලු ශූන්ගේ 136 වැනි ජන්ම දිනය සැප්තැම්බර් 25 වැනිදාට යෙදෙයි. මාඕ සේතුං චීනයේ දේශපාලන විප්ලවයට වැදගත් වන්නේ යම් සේද ලු ශූන් ද සංස්කෘතික විප්ලවය පාර්ශ්වයෙන් චීනයට වැදගත් වෙයි. ලු ශූන්ගේ ජීවිත කාලය එතරම් දීර්ඝ එකක් නොවී ය. ඔහු ජීවත් වූයේ වසර 55ක තරම් කාලයකි. ඒ සමස්ත කාලයම තම මවුබිමත් සහෝදර ජනතාවත් වෙනුවෙන් කැප කිරීමට තරම් ඔහු පරිත්‍යාගශීලී විය.

ලු ශූන් පමණ චීනයේ රදලයන්ට හා කොම්ප්‍රදෝරු ධනපතියන්ටත් ජපන් අධිරාජ්‍යවාදීන්ටත් අභියෝගයක් වූ අන් ලේඛකයෙක් චීනයේ නොවී ය. චීන විප්ලවයේ ඉතිහාසය හදාරන්නකුට මැනවින් මෙය තේරුම් ගත හැකි වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂය 1921 දී බිහි වුව ද ඊට සැබෑ විප්ලවවාදී නායකත්වයක් ලබාදීමට සමත් වන මා ඕ සේතුංට පක්ෂයේ නායකත්වය හිමි වනුයේ 1935 ජනවාරියේ දී ය. මෙය චීන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් වන මහා පා ගමන අතරතුරදී සිදුවීම ද තවත් ඓතිහාසික සිද්ධියකි. මෙම පුවත ඇසූ සැණින් ලු ශූන් මා ඕ සේතුං වෙත විදුලි පණිවිඩයක් යැවීය. ‘මනුෂ්‍යත්වයේ හා චීනයේ අනාගතය ඔබේ උර මතය’ යනුවෙන් එහි ලියවී තිබිණ‍.

පක්ෂ නායකත්වයට පත්වූ විගස මා ඕ සේතුංට අවශ්‍ය වූයේ ජපන් විරෝධී ජාතික එක්සත් පෙරමුණක් ගොඩනැඟීමටය. මේ තීරණාත්මක අවස්ථාවේ ලේඛකයන්ගේ හා කලාකරුවන්ගේ කාර්යභාරය විය යුත්තේ කොමියුනිස්ට් පක්ෂයේ යෝජනාවට සහයෝගය දීම යයි පවසමින් ලු ශූන් වහාම එහි පාර්ශ්වකරුවෙක් විය. ඉන් නොනැවතුණු ඔහු 1935 අගභාගයේදී ෂැංහයිවල ලේඛකයන් හා කලාකරුවන් එක්කොට ‘ජාතිය මුදා ගැනීමේ සංගමය’ නමින් ඒකාබද්ධ සංවිධානයක් පිහිටුවීමට ද මුල් විය. ‘ජපන් - වි‍‍රෝධී ජාතික එක්සත් පෙරමුණේ’ පොදු අරමුණට ගැළපෙන සටන් පාඨයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුණේ ද කලාකරුවන්ගේ එකමුතුව ව‍ූ ‘ජාතිය මුදාගැනීමේ සංගමයටය.’ මෙහිදී යෝජනා දෙකක් ඉදිරිපත් වූ අතර ‘ජාතික විප්ලවවාදී අරගලය උදෙසා ජනතා සාහිත්‍යය’ යන පාඨය නිර්මාණය කරනු ලැබුවේ ලු ශූන් විසිනි.

ජපන් ආක්‍රමණිකයාට එරෙහිව ජාතික එක්සත් පෙරමුණක් පිහිටුවීම මෙන් ම ඊට ‘ජාතිය මුදාගැනීමේ සංගමය’ ලේඛකයන්ගේ හා කලාකරුවන් ගේ එකමුතුවක් විසින් සහාය පළ කරනු ලැබීම වාමවාදීන් හා මාක්ස්වාදීන් ලෙස පෙනී සිටි ඇතැම් අන්තවාදීන්ගේ දැඩි විවේචනයට ලක් විය. ලුශූන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය. “වර්තමාන චීන විප්ලවවාදී පක්ෂය විසින් සමස්ත ජනතාව වෙතට යෝජනා කරනු ලැබ ඇති ‘එක්සත් පෙරමුණක්’ පිළිබඳ ප්‍රතිපත්තිය වූ කලී ම’විසින් මැනවින් තේරුම් ගනු ලැබූ එකකි. මා හුදෙක් ලේඛකයකු පමණක් නොව චීන ජාතිකයෙකු වීම හේතු කොටගෙන කොන්දේසි විරහිතව මෙම පෙරමුණට එක් වීමි. මන්දයත් මෙම ප්‍රතිපත්තිය සපුරාම නිවැරදි බැවිනි.”

ලේඛකයා සෑම කල්හිම ප්‍රතිගාමිත්වයට එරෙහි විය යුතුය යන ස්ථාවරය ලු ශූන් සිය ජීවිත කාලය පුරාවටම අකුරටම සුරැකීය. ලේඛකයා ප්‍රතිගාමීත්වයට එරෙහි වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රතිගාමීත්වය පරාජය කළ හැකි ප්‍රගතිශීලී බලවේගයට ලේඛකයාගේ පූර්ණ සහයෝගය පිරිනැමිය යුතු බව ද ඔහු භාවිතයෙන් ම පෙන්වා දුන්නේ ය. නිර්මාණශීලී ලේඛකයකු වශයෙන් මෙන් ම ලිපි රචකයකු ද වශයෙන් ඔහු ලියූ හැම වැකියකින් ම පාහේ ප්‍රකාශ වූයේ අඳුරු බලවේගයන්ගේ ගොදුරු බවට පත්ව සිටි චීන ජනතාවගේ දෑස් පාදා ඔවුන්ට ඉදිරිගාමී ජීවන දෘෂ්ටියත් සම්පාදනය කරන ප්‍රබුද්ධ අදහස් ය.

සාහිත්‍ය මාර්ගයට පිවිසෙන තරුණ ජනයාට ඉදිරියට යාමට උදව් කිරීම ලු ශුන්ගේ ජීවිතයේ පරමාර්ථ අතර එකක් විය. තරුණ ලේඛකයන්ගේ අත් පිටපත් වලින් ඔහුගේ ලියන මේසය පිරී තිබිණ. ඔහු ඒවා කියවා බලා සංස්කරණය කළා පමණක් නොව ඇතැම් විට ඔහුගේ අතේ වියදමින් මුද්‍රණය කිරීම පවා කළේ ය. ලු ශුන්ගේ චරිතාපදානය රචනා කළ වැං ෂිගිං නම් ලේඛකයා තරුණ ප්‍රජාව කෙරෙහි ලු ශුන් තුළ පැවැති අතිමහත් කැප කිරීම විස්තර කරන්නේ මෙසේ ය. “නැ‍ෙඟනහිර දිසාවේ බිත්තිය ඉදිරිපිට තිබෙන ඔහුගේ මේසය නිබඳව තරුණ ලේඛකයන්ගේ හා පරිවර්තකයන්ගේ අත්පිටපත්වලින් පිරී පවතියි. එකකට පසුව තවෙකක් බැගින් අත්පිටපත් ඔහු වෙත ගලා එයි; උඩින් මත්තෙන් බලා පිටපත් සමීක්ෂණය කිරීමට අකමැති ඔහු ඉතා සැලකිලිමත්ව පිටපතෙහි තීරුවේ කුඩා අකුරින් සටහන් තබයි; නොඑසේ නම් නිවැරදි කිරීමට පෙරාතුව කතුවරුන් හා පරිවර්තනයන් සමඟ සාකච්ඡා කිරීමේ අදහසින් යටින් ඉරක් ගසයි. ඔහු ඉතා නිහතමානී ලෙස තරුණ ලේඛකයන්ට මෙසේ පවසයි. “මම හිතනවා මෙතන මේ විදිහට තිබුණොත් වඩා හොඳයි කියලා.” එසේත් නැත්නම්... “කතා කරන්න දේවල් ටිකක් තියෙනවා” යයි මුදු ලෙස පවසයි.

ලු ශුන් විප්ලවවාදී ලේඛකයකු වුව ද සාහිත්‍ය නිර්මාණයක ප්‍රචාරකවාදී ලක්ෂණ බැහැර කළේ ය. සැම විටම සාහිත්‍ය නිර්මාණය කලාත්මක වශයෙන් උසස් තැනක තිබිය යුතු බව ඔහු විශ්වාස කළේ ය. ඒ පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවන් ලු ශූන් ගේ චරිතාපදානයේ මෙසේ සටහන්ව තිබේ. “මල්වලට වර්ණයක් ඇතිමුත්, වර්ණවත් සියල්ල මල් නොවන්නා සේ ම, සියලුම ප්‍රචාරකවාදයන් සාහිත්‍යය නොවන්නේ ය. සටන්පාඨ, පෝස්ටර්, විදුලි පුවත් හා පාඨ ග්‍රන්ථ වැනි දෑට අමතරව, විප්ලවය සාහිත්‍යයක් අපේක්ෂා කරයි. මන්දයත් එය සාහිත්‍යයට පමණක් වන බැවිනි.”

චීන සාහිත්‍යයට පරිවර්තන කලාව හඳුන්වාදුන් පු‍රෝගාමීන් අතරින් අයකු ලෙස ද ලු ශුන් හැඳින්විය හැක. ඔහුගේ පරිවර්තන මෙහෙවර පිළිබඳ විස්තරයක් චරිතාපදානයේ මෙසේ දැක්වෙයි. “ඔහු චීන පාඨක ප්‍රජාවට රුසියානු, පෝලන්ත, චෙකොස්ලොවෙකියානු, හංගේරියානු හා වෙනත් රටවල උසස් සාහිත්‍ය කෘති හඳුන්වාදීමට පටන් ගත්තේ ය. වෙනත් පරිවර්තකයන් ද හවුල් කරගනිමින් “වෙනත් රටවල කතා” නමින් ග්‍රන්ථ දෙකක් සම්ප‍ූර්ණ කිරීමට ඔහු සමත් විය. මේ පරිවර්තන මඟින් රුසියානු ගොවි ජනතාව හා විප්ලවාදී බුද්ධිමතුන් පිළිබඳවත්, විශේෂයෙන් ම රුසියානු කම්කරු පන්තිය පිළිබඳවත් චීන ජනතාවට ප්‍රථම වරට දැන කියා ගැනීමට මඟ පෑදිණ.”

ලු ශුන්ට සාහිත්‍ය කටයුතු සඳහා කැපවිමට ඔහුට නිබඳවම හිරිහැර කළ ක්ෂය රෝගය නම් සතුරා විසින් අවකාශ සලසා දී තිබුණේ වසර 29 ක් පමණ කාල සීමාවකට ය. එම කෙටි කාලය පුරා චීන සාහිත්‍යයට හා ජනතාවටත් ඔහු කළ මෙහෙවර නිශ්චිත ලෙස ප්‍රකාශ නොකරන්නේ වී නමුත් 1907 සිට 1936 දක්වා වූ එම කාල පරිච්ඡේදය ඔහුගේ දායකත්වය චරිතාපදාන සම්පාදකයා මෙසේ කැටිකර දක්වයි.‍

“ලු ශුන් ලියූ කෙටිකතා සංග්‍රහ තුන, පිළිසැමරුම් කෘතිය හා ගද්‍ය කාව්‍ය සංග්‍රහය යන කෘතිවල පමණක් ඇතුළත්ව තිබෙන චීන අක්ෂර ප්‍රමාණය 350,000ක් පමණ වේ. කෘති දහසයක සංගෘහිතව ඇති ඔහුගේ රචනා 650ක ඇතුළත් වචන සංඛ්‍යාව 1, 350000 ඉක්මවයි. චීන අක්ෂර 800000 කින් පමණ සමන්විත ශාස්ත්‍රීය නිබන්ධන හා සම්ප්‍රදායික චීන සාහිත්‍යය පිළිබඳ තොරතුරු ඒකරාශි කළ කෘති රැසක් ද මේ අතර වේ. ලු ශුන් අතින් විවිධ භාෂාවලින් චීන බසට නැඟුණු කෘති රැසට අමතරව සාහිත්‍ය න්‍යාය පිළිබඳ කෘති 8ක්, නාට්‍ය පිටපත් 2 ක්, සුරංගනා කතා හා කෙටිකතා 78ක් කෙටි හා දීර්ඝ නවකතා 8ක් ද සහිත කෘති පෙළට චීන අක්ෂර 3,110,000 පමණ ඇතුළත්ව තිබේ.

ලු ශුන් විසින් නිර්මාණය කරන ලද සංස්කෘතික හා මතවාදීමය උරුමයත්, ඔහුගේ අභිමානවත් ජීවිතය හා සදානුස්මරණීය මෙහෙවර පිළිබඳවත් චීන ජනතාව විසින් දක්වන ලද උත්තමාචාරය මා ඕ සේතුංගේ මෙම ප්‍රකාශය තුළ අන්තර්ගතව තිබේ.

“චීන සංස්කෘතික විප්ලවයේ නියමුවා වූ ලු ශුන්, විශිෂ්ට සාහිත්‍යධරයෙක් පමණක් නොව, අභිමානවත් චින්තකයෙක් හා විප්ලවවාදියෙක් ද වෙයි. සැබැවින් ම ඔහු සියලු පුරාජේරුවලින් මෙන් ම, නියාලුකම්වලින් ද මිදුණු, කිසිදු බලවේගයක් හමුවේ නොනැමෙනසුලු අව්‍යාජ මිනිසෙකි. මෙය හැඳින්විය හැක්කේ යටත් විජිතවාදී හා නව යටත්විජිතවාදී සමාජයක් තුළ දැකිය හැකි මිල කළ නොහැකි තරමේ ගුණයක් වශයෙනි. ජාතියේ අතිමහත් බහුතර නියෝජනය කරමින් ලු ශුන් සතුරු බළකොටුවලට පහර දී ඒවා අභිභවනය කළේ ය. සංස්කෘතික පෙරමුණ තුළ සිටි අති නිර්භිත මෙන් ම නිවැරැදි වූත් ඉතා අචල, ළෙන්ගතු හා උද්‍යෝගිමත් වූත් ජාතික වීරයා ඔහු ය. අපේ ඉතිහාසයේ ඔහුට සම කළ හැකි විරුවෙක් සොයාගැනීම උගහට ය. ඔහු තෝරාගත් මඟ වූ කලී චීනයේ නව ජාතික සංස්කෘතිය සඳහා වූ ඉතා නිවැරදිව මාර්ගය විය.”

Comments