කවි පොත් කුටියේ සොඳුරු පිළිසඳර | සිළුමිණ

කවි පොත් කුටියේ සොඳුරු පිළිසඳර

විවිධ කතාබහ පැසසුම් මැසිවිලි මැද්දේම පොත් සල්පිල නිමාවිය. දැන් එළැඹි ඇත්තේ කියවීම් මාසයයි. පොත් සල් පිලේ වැඩි වැඩියෙන් විකිණුණේ පොත් ද එහෙම නැත්නම් නුඩ්ල්ස් ද යන කතා බහ මැද්දේ පැසසිය යුතු දේද තිබු බව පවසන්නේ බොහෝ සතුටිනි. දැන් ඉස්සර වගේ නෙමෙයි කවියට කිසි තැනක් නැහැ, කවුරුවත් කවිය අගය කරන්නේ නැහැ, නිසඳැස් කවිය සඳැස් කවිය ආක්‍රමණය කරලා, දැන් පරම්පරාව කවිය ගණන් ගන්නේ නැහැ.....මේ ආදී වශයෙන් කවිය සම්බන්ධව බොහෝ විවේචන එල්ල වන යුගයක කවියටත් යම් තැනක් තිබෙන බවට සාධකයක් පසුගියදායින් අවසන් වුණ පොත් සල්පිලෙන්ම සොයා ගන්නට ලැබිණි.

පොත් සල් පිලට ගිය කවුරු කවුරුත් ගොඩනැගුණ තැනක් තිබිණි. ඒ නම් කවි පොත් සල්පිලයි. එය සුව පහසු තැනක් නොවුයේය. ආවරණයක් තිබුණේ හිසට පමණි. විටෙක දැඩි අව්වෙන් ද විටෙක ඉඳහිට වැටුණ වැස්සෙන්ද පිඩා නොවුණාම නොවේ. කොහොම වුණත් එහි ආව ගිය කොයිකාටත් මේ පීඩාවන් පීඩා නොවුයේය. පොත් සල්පිල ආරම්භ වු දා සිට දෙතුන් වතාවක් එහි යන්නට අපට ද අවස්ථාව ලැබිණි. ඒ ගිය හැම වරෙකම යමින් එමින් ගමන් එහි ගොඩවැදෙන්නටද අමතක නොකෙළෙමු . ඒ ගිය හැම විටෙකම එහි කවි පොත් ගන්නට , කවි පොත් බලන්නට පැමිණ සිටි අය අතර අපේ ප්‍රවීණ කවි කිවිඳියෝද සිටියෝය. ඒ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනයයි. කවි පොත් සල් පිලට මදක් එහායින් තිබුණේ කැටපත් පවුරයි. එහි යන එන්නෝ එක්කෝ ගෙදරින් ලියාගෙන පැමිණි කවි පවුරේ එල්ලමින් සිටියහ. ඇතැමෙක් ඒ ස්ථානයේම වාඩිවි කවියක් ගලපමින් සිටියහ.

කවි පොත් සල්පිලට වයස අවුරුදු දහයකට වැඩිය. මේ කවි පොත් සල්පිල ආරම්භ කිරිමේ පූරෝගාමී වු කවියෝ කිහිප දෙනෙකි. චුලානන්ද සමරනායක, ආරියවංශ ධම්මගේ, ඩී තිලක පියදාස , ප්‍රියංකාරගේ බන්දුල ජයවීර....යන කවියන්ගේ සාමුහිකත්වයෙන් ඇරඹි කවි පොත් සල්පිල අද එදවසට වඩා අතු ඉති දළු ලා වැඩි ඇත්තේය. ආරම්භ වූ මුල් වසර වල බොහෝ හුදකලාවේ පැවති කවි පොත් සල්පිලට කවියෙක් වුවත් ආවේ ගියේ කලාතුරකිනි. එමෙන්ම කවි පොතක් ගන්නට හෝ පාඨකයකු පැමිණියේ ද කලාතුරකිනි. නමුදු දැන් තත්වය ඊට වඩා වෙනස්ය.ප්‍රකාශකයන්ගේ සංගමය කවිපොත් සල්පිල සඳහා ඉඩ ලබා දී ඇත්තේ කිසිදු අයකිරිමකින් තොරවය. එය ද පැසසිය යුත්තකි. දැන්; පොත් විකිණීමෙන් ලැබෙන මුදලින් කොටසක් සමාජ සත්කාරයන් සඳහා පරිත්‍යාග කිරීමට කවි පොත් සල්පිලේ සංවිධායකයෝ තිරණය කර ඇත. ඒ අනුව මෙවර ඇහැටුවැව ඒරියාව කණිටු විදුහලට මුදල් සහ පොත් පරිත්‍යාග කිරීම පොත් සල්පිලේ අවසන්දා උදෑසන එම භූමියේදී සිදු කෙරිණි.

කොහොම වුණත් මේ සියලු කටයුතු පටුපස සිටින සොඳුරු කවියා පිළිබඳ නොලියා සිටීම වරදකි. සමිපතමයන්ට නම් ඔහු “මසා”ය. නමුත් කොයි කවුරුත් මේ තරුණ නිර්මාණ ශිල්පියා හඳුනන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියු විටය. නිර්මාණ ජීවිතයේදි පමණක් නොව තම ජීවිතයේදී ද ‍බොහෝ කටුක දුෂ්කරතා විද ඇති මසා මේ සත් කාර්යය ද කරන්නේ සුපුරුදු සිනහවෙනි.

ඇතැම් විට කවි පොත් සල්පිලට පැමිණී සියල්ලෝ පොත් මිලට ගන්නට නැතිව ඇති. එමෙන්ම එහි පැමිණි සියල්ලෝම කවි නොලියන්නෝ ද වෙන්නට ඇති . නමුදු මෙහි පැමිණිමෙන් කවියන් ලේඛකයන් සමඟ හෝරාවක් දෙකක් ගත කළ කවුරු කවුරුත් කවි පොත් සල්පිලට දිරියක් ගෙන දුන්නෝය. බොහෝ දුර බැහැර සිටි ඇතැම් කවියෝ දවස් දෙක තුන එහි ගැවසුණෝය . වැඩිහිටි කවියෝ මෙන්ම යෞව්වන කවියෝද කිවිදියෝද එහි විවිධ උදව් කරමින් සිටියහ. කවියට ආදරය කරන්නන්ගෙන් පිරී ගිය ඒ දවස් දහය කවි පොත් සල්පිලට ආව ගිය කාටත් සොඳුරු අත් දැකීමක් වුවාට සැකයක් නැත. එමෙන්ම කිසියම් හෝ කලා කටයුත්තක් තිබෙන තැනකදි අනිවාර්යයෙන්ම දැකිය හැකි කෙනෙකු වන්නේ, පීටර් ජෙරොම් තිසරණ පෙරේරාය. ඔහු ගැනද වචනයක් හෝ සඳහන් නොකර බැරිය. තම කාලය ශ්‍රමය වැය කරමින් පොත් ප්‍රදර්ශන භුමියේ සැරි සරූ ඔහු ලේඛකයන්ට කවියන්ට සොඳුරු මතක සටහන් ගෙන දුන්නේ තම කැමරා කාචයේ ඔවුන් ගේ රුව සටහන් කරමිනි . ඉදින් නැවතත් සැප්තැම්බරය පැමිණෙන තුරු බලා සිටිය යුතුය . ඒ සොඳුරු මිනිසුන් සමඟ සොඳුරු දින කිහිපයක් ගතකිරීමටය.

Comments