නොමැකෙන රාජ්‍ය තාන්ත්‍රික සටහන් තැබූ පත්‍ර කලාවේ දැවැන්තයා | Page 2 | සිළුමිණ

නොමැකෙන රාජ්‍ය තාන්ත්‍රික සටහන් තැබූ පත්‍ර කලාවේ දැවැන්තයා

 එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සිය ජිවිත කාලය තුළ ශ්‍රී ලාංකේය දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ පුද්ගලයෙකි. ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේ ද සිය අණසක පැතිරවූ බව සැවොම දනිති. වෘත්තියෙන් නීතිඥයෙකු වූ ඔහු ජනමාධ්‍යවේදයේ ද නිපුණතා පෙන්වූ අයෙකි. සරසවි සිසු සංගම් සහ ලංකා සමසමාජ පක්ෂය හා සම්බන්ධව දේශපාලනයේ නියැළුණ ඔහුට දේශපාලනය යනු අමුතු තැනක් නොවිය. දේශපාලනය සහ ජනමාධ්‍යවේදය ලේක්හවුස් ආයතනය තුළ නොබිඳිය හැකි සම්බන්ධතාවක් දක්වන අංග දෙකකි.

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සංසරණය වන පුවත්පත බිහි කළේ ඔහුගේ මාමණ්ඩිය, ඩී. ආර්. විජේවර්ධන මහතාය. ඒ නිසාම පුවත්පත් කර්මාන්තය තුළ ඒකාධිකාරයක් ගොඩ නගා ගැනීමට හැකි වූ අතර එම නිසාම ඒ මොහොතේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ මහජනයා වෙත අවබෝධයක් ලබා දීම එම පුවත්පත්වල කාර්ය භාරය ලෙස සැලකුණි. 1931 වසරේ සර්වජන ඡන්ද බලය ලබා දුන් කාලයේ මහා පරිමාණ දේශපාලන ව්‍යාපාරවල අඩුවක් තිබුණි. එම නිසා ලේක්හවුස් ආයතනය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදෙන මාධ්‍ය ආයතනයක් බවට පත්වි

මේ අරමුණ සාර්ථක කරගැනීම සඳහා සර්. ඩී. බී. ජයතිලක මහතාට සහ ඩී. එස්. සේනානායක මහතාට ඩී. ආර්. විජයවර්ධන මහතාගේ උපකාරය අවශ්‍ය විය. නිදහස ලැබීමට පෙර 1946 සෝල්බරි ව්යේවස්ථාව මගින් වෙස්ට්මිනිස්ටර් දේශපාලන පක්ෂ ක්‍රමය හඳුන්වාදුන් අතර බලය ලබා ගැනීම පිණිස සංවිධානාත්මක දේශපාලන පක්ෂ මහ මැතිවරණවලදී එකිනෙකා හා තරග වැදුණි. වාතාවරණය එසේ පවතිනවිට ලංකා ජාතික කොන්ග්‍රසය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වූ මතවාදය වෙනුවෙන් පෙනී සිටියේ ය. ලේක්හවුස් ආයතනයේ සහය හිමි වූවේ එක්සත් ජාතික පක්ෂයටයි.

මේ අතර, අයහපත් සෞඛ්‍යය තත්වය හේතුවෙන් ඩී. ආර්. විජයවර්ධන මහතා විශ්‍රාම ගිය අතර ලේක්හවුස් ආයතනයේ කර්තෘ මඩුල්ලේ අධ්‍යෂක තනතුර එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට හිමිවිය. ස්වාධීන රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්තවාදය ක්‍රියාත්මක වන ස්ථාවර සහ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන දේශපාලන වාතාවරණයක් බව වටහා ගත් වික්‍රමසිංහ මහතා ඒ නිසා ලේක්හවුස් ආයතනය ප්‍රවර්ධනය කළ දේශපාලන මතවාදය වෙනස් කිරීමට උත්සාහ කළේ නැත.

දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමඟ ලෝකය පුරා ඇති වූ දේශපාලනමය වෙනස්වීම් පිළිබඳ වික්‍රමසිංහ මහතා හොඳින් අධ්‍යයනය කළේ ය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සිදුවිය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණයන් පිලිබඳ වැඩ අවබෝධයක් තිබූ ඔහු පුවත්පත්වල අඩංගු විය යුතු කරුණු මෙන්ම ඒවායේ හැඩය වෙනස්විය යුතු බව වටහා ගත්තේ ය. ඒ නිසා ඇමරිකානු පන්නයේ පුවත්පත් හැඩයක් හඳුන්වාදීමට තීරණය කළ වික්‍රමසිංහ මහතා එක් විශේෂිත කාරණයක් පිළිබඳ විවෘත මෙන්ම සංවාදාත්මක ලිපි ඒවායේ ඇතුළත් කළ යුතු බව සිතී ය. ඒ අරමුණ ඉටු කරගැනීම වෙනුවෙන් වෙනම ජනමාධ්‍යවේදීන් පිරිසක් බිහිකර ඔවුන්ට මාර්ගෝපදේශනය ලබා දීමටත් ඔහු කටයුතු කළේ ය.

මාධ්‍යවේදීන් අලුතෙන් බඳවා ගැනීම ඇරැඹු එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා එවකට සේවයේ යෙදී සිටි කුසලතාපූර්ණ මාධ්‍යවේදීන්ට උසස් වීම් ලබා දුන්නේය. ඔහුගේ මගපෙන්වීම යටතේ විශ්වවිද්‍යාලවල අවසන් වසරේ ඉගෙනුම ලැබූ ජනමාධ්‍යකරණය වෙනුවෙන් උපන් හපන්කම් දැක්වූ තරුණ තරුණියන් පිරිසක් ද ලේක්හවුස් ආයතනයේ සේවයට බඳවා ගන්නා ලදී. පියසේන නිශ්ශංක, එම්. ද සිලා, එඩ්මන්ඩ් කාරියවසම්, එඩ්මන්ඩ් රණසිංහ, ඩෙන්සිල් පිරිස්, ටාර්සි විට්ටච්චි, අර්නස්ට් කොරයා, ආබ්‍රි කොලට්, මර්වින් ද සිල්වා, නෙවිල් ද සිල්වා එස්. සිවගුරුනාදන් සහ මණික් ද සිල්වා මෙසේ පුහුණු කරන ලද මාධ්‍යවේදීන් කණ්ඩායමට ඇතුළත් වූහ.

ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට රජුන් තනන්නාගේ භුමිකාවටත් පණ පෙවීමට සිදු විය. සේනානායක මහතා ‘යම් දෙයක් සිදුවුවහොත් ඩඩ්ලි සේනානායක මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දිය යුතු ය,’ යන්න දැනුම් දී තිබූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූවේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ය. අනෙකා එවකට ආණ්ඩුකාර ධුරය ඉසිලු සෝල්බරි සාමි විය.

ඩී. එස්. සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට සොල්බරි සාමි ලන්ඩනයේ චාරිකාවක නියැළී සිටි අතර වහාම ක්‍රියාත්මක වූ ලේක්හවුස් ආයතනය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඩඩ්ලි සේනානායක මහතාට සහය දෙන බව ප්‍රචාරය කළේය. මෙම ප්‍රචාරය මගින් එවකට සභා නායක සර් ජෝන් කොතලාවල නොසලකා හැරුණි. ඉන් මාස කිහිපයකට පසු ඩඩ්ලි සේනානායක මහතා අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර සිය අනුප්‍රාප්තිකයා වශයෙන් ඥාති සොහොයුරු සර් ජෝන් කොතලාවල නම් කළේ ය.

1952 මාර්තු මස සර් ජෝන් කොතලාවල සහ ඔහුට සහය දුන් මන්ත්‍රී කණ්ඩායම හා ඩඩ්ලි සේනානායක මහතා සහ ඔහුගේ හිතවාදී මන්ත්‍රීවරුන් අතර තිබූ සම්බන්ධතාව පළුදු වීමේ ප්‍රතිඵලයක් ලෙස ෙජ්. ආර්. ජයවර්ධන මහතා ඇතුළු ඇමති මණ්ඩලය සර් ජෝන් කොතලාවල යටතේ සේවය කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබිය

මේ තත්වය යටතේ සර් ජෝන් කොතලාවල සහ ජේ. ආර්. ජයවර්ධන මහතා අතර හමුවක් සංවිධානය කිරීම එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළේ ය. එම හමුවේදී සර් ජෝන් කොතලාවල මහතා සහ ජේ. ආර්. ජයවර්ධන මහතා සම්මුතියකට එළඹී අතර එයට අනුව සර් ජෝන් කොතලාවල මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස ෙජ්. ආර්. ජයවර්ධන මහතා නම් කිරීමට එකඟතාවක් ඇති කරගනු ලැබිය. නමුත් මෙම එකඟතාවට අනුව කටයුතු කිරීමට අවස්තාවක් නොලැබුණි.

සර් ජෝන් කොතලාවල මහතාට නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නට උපදෙස් ලැබුණි. මෙහි අරමුණ වූවේ එවකට බලවත් වෙමින් පැවති එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස් පරදවා නැවත වරක් බලය තහවුරු කරගැනීමයි. නමුත් එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 8ක් පමණක් හිමි වූ දරුණු පරාජයක් අත්විණි. 1958 දී ඩඩ්ලි සේනානායක මහතා නැවත වරක් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස නම් කෙරිණි.

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට මුහුණ දෙන්නට වූ ප්‍රබලම අභියෝගය පැමිණියේ 1964 දී ය. ඒ එවකට පැවති සිරිමා බණ්ඩාරනායක රජය ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට තීරණය කිරීමේ තීන්දුවත් සමඟිනි. බණ්ඩාරනායක මැතිනියට වුවමනා වූවේ ජනමාධ්‍ය කෙරෙහි සිය ආධිපත්‍යය පතුරවා රාජයට හිතැති මතවාද ප්‍රවර්ධනය කිරීමයි. ඒ මගින් විපක්ෂය දුර්වල කිරීම ඇගේ අනෙක් අරමුණ විය.

වහාම ක්‍රියාත්මක වූ ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන සහ එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්වරුන් රජයේ සැලැස්ම පරාජය කිරීමට නිල නොලත් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්තෝය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මහජන මතය බණ්ඩාරනායක මැතිනියගේ ක්‍රියාකලාපයට එරෙහිව ගොඩ නැංවීමට ඔවුහු සමත් වූහ. මාස දෙකක් ඇතුළත බෞද්ධ භික්ෂූන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකයන්, වෘත්තීය සමිති, මහා ජනතාව ආදී සියලුම පාර්ශ­්වයන් බණ්ඩාරනායක මැතිනියගේ ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ යෝජනාවට එරෙහිව නැගී සිටියෝ ය.

ඒ සමඟම පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂ බලය නැවත තහවුරු කර ගැනීමට ඔහුන් තීරණය කළ අතර ඒ සඳහා සිය මිත්‍ර පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුනේ මෙන්ම එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා විසින් මෙහෙයවනු ලැබූ ෆෙඩරල් පක්ෂයේ සහය ලබා ගැනීමට ද එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමත් වූවේ ය. ඉන්පසු බණ්ඩාරනායක මැතිනියගේ දෙවැනියා ලෙස කටයුතු කළ සී. පී. ද සිල්වා මහතා සමඟ සාකච්ඡා ඇරඹුණි. සිල්වා මහතා ඒ වන විට මැතිනියගේ රජය පිළිබඳ පසුවූවේ නොමනාපයෙනි.

මේ ආදී වශයෙන් ඇතිකරගත් එකඟතාවන් අනුව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුහු කටයුතු කළෝ ය. විශාල කැලඹීම් මැද එක් ඡන්දයකින් විශ්වාසභංග යෝජනාව ජයගත් අතර ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු විය. මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සුළු ජයග්‍රහණයක් අත් කර ගත්තේ ය. නමුත් පාර්ලිමේන්තුව තුළ බහුතරය තහවුරු කරගැනීමට තරම් බලයක් එහිදී එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ නැත. එම නිසා නව රජයට සහයෝගය ලබා ගැනීමේ අරමුණින් නැවත චෙල්වනායගම් මහතා හමුවූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් එහිදී ඔහු සමඟ සම්මුතියක එළඹිණි. සේනානායක - චෙල්වනායගම් ගිවිසුම ලෙස හැඳින්වෙන්නේ එම එකඟතාවයි.

නමුත් ජාතීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් එම එකඟතාව හකුළා ගැනීමට රජයට සිදු විය. සේනානායක මහතා සහ ජේ. ආර්. ජයවර්ධන මහතා අතර පැවති අමනාපකම් නිසා නව රජය තවත් දුර්වල අඩියකට ඇද වැටුණි. 1968 දී එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් ආයතනයේ සේවයෙන් විශ්‍රාම ගිය නමුත් දේශපාලන වේදිකාවේ ඔහුගේ භූමිකාව එතැනින් අවසන් නොවීය.

ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ විට නිල උපදේශකයෙකු ලෙස ඔහුට සහය දීමට ආරාධනා කිරීමට තරම් එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ඔහුගේ සමිපතම සගයෙක් වූවේය. ජේ.ආර්. ජයවර්ධන මහතාට මාධ්‍ය ආයතනයක අවශ්‍යතාව දැඩිව දැනී තිබිණ. ඒ වනවිටත් ලේක්හවුස් ආයතන රජයේ අයිතියට පවරාගෙන තිබිණ. ලංකාදීප පුවත්පත් ශ්‍රී ල නි ප පාලනයට නතුව තිබිණි. දවස පුවත්පතට සීල් තබා තිබිණි. ලේක්හවුස් හි සහ දවස පුවත්පතෙහී සේවය කළ පුවත්පත් කලාවේදීන් ගණනාවකගේ සහයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශන අංශයක් ආරම්භ කිරීමේ කර්තව්‍යය එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සිය වගකීමක් කර ගත්තේය. 1976 වනවිට එජාප පුවත්පතේ සැපයුම අබිබවා ඉල්ලුම ඉහළ නැගිණ. මේ අතර එජාපයට සහය නොදැක්වූ නමුත් බණ්ඩාරනායක මැතිනියගේ රජයට විරුද්ධව කටයුතු කළ වාමාංශික, වෘත්තිය සමිති සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසකගේ සහය ලබා ගැනීමට එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට හැකි විය.

ක්‍රමයෙන් බණ්ඩාරනායක මැතිනියගේ රජයට එරෙහි විශාල සංධානයක් එජාපය විසින් ගොඩ නගමින් පැවතිණ. අවසන් ප්‍රතිඵලය වූයේ 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය අති දැවැන්ත ජයක් ලබා ගැනීමයි. නමුත් එම ජයග්‍රහණයේ අමතක නොවන පෙරගමන් කරුවකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා කිසි දිනෙක රජයේ ස්ථිර තනතුරක් භාර නොගත්තේය. ඔහුගේ ජීවිතයේ අවසානය දක්වාම ඔහු එජාප කෘත්‍යාධිකාරි කමිටුවේත් උපදේශකයන්ගෙන් සැදුම් ලත් අභ්‍යන්තර මඩුල්ලේත් සාමාජිකයෙක් විය.

බණ්ඩාරනායක මැතිනිය විසින් ඉදිරිපත් කරන ලද ලේක්හවුස් ආයතනය පවරාගැනීමේ පනත පරාජයට පත් කිරීම නිසා, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා අන්තර්ජාතික මාධ්‍ය තුළ වීරයෙකු බවට පත් විය. පත්‍රකලා නිදහස වෙනුවෙන් 'ස්වර්ණ පෑන' (ගෝල්ඩන් පෙන්) ඔහුට ලැබිණ. ජාත්‍යන්තර පත්‍රකලා ආයතනයේ (ඉන්ටර්නැෂනල් ප්‍රෙස් ඉන්ස්ටිටියුට්) සහ ආසියානු පත්‍රකලා පදනමේ සභාපති ලෙස ඔහු පත් කෙරිණ. එක්සත් ජනපදයේ සිට ජපානය දක්වා පුළුල් වපසරියක් පුරා සේවය කළ ප්‍රධාන පත්‍රකලාවේදීන් මාධ්‍යකරුවන්ගෙන් සමන්විත ජාලයක සම්බන්ධතා ඔහු සතු විය.

ලොව ඕනෑම කලාපයක පත්‍රකලාවේ නිදහස උදෙසා ඔහුගේ සහය නිරන්තරයෙන් හිමි විය. පත්‍රකලාවේ නිදහස ප්‍රවර්ධනය උදෙසා ඔහු කළ අනභිභවනීය දායකත්වය හේතුවෙන් ජාත්‍යන්තර පත්‍රකලා ආයතනය විසින් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් හීරෝ ෙලස නම් කරන ලදී. මේ දක්වා එම ගරුනාමය නම් කරනු ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේද එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා වේ.

නිදහස ලබාගැනීමෙන් පසු උදා වූ දශක තුන හමාරක පමණ කාලය පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය, භාෂා ප්‍රතිපත්තිය, ආර්ථිකය සහ ලෝක දේශපාලනය තුළ භූමිකාව සම්බන්ධයෙන් බුද්ධිමය සංවාදයක් පැවතිණ. එම සංවාදයේ ප්‍රධාන පහසුකම් සපයන්නා බවට ලේක්හවුස් ආයතනය පත්කිරීමට එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. ඔහු විසින්ම පෞද්ගලිකවම ඔහුගේ දායකත්වයද එම සංවාදයට ලබාදීමට ඔහු කටයුතු කළේය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ භාෂා ගැටලු නිරාකරණය කරගැනීමේ කටයුතු සදහා කැප වූවේය.

ඇත්ත වශයෙන්ම ලිබරල් පක්ෂය තුළදී නවීනකරණය වෙනුවෙන් ඔහු සමඟ ක්‍රියාකාරී වූ සගයන් දිවියෙන් නික්ම ගොස් තිබීම ඔහුගේ මෙම දැඩි කැපවීමට ප්‍රධානතම හේතුවක් විය. සමාජවාදී ආර්ථික සැලසුම් වඩා ප්‍රචලිතව ඇති සමයක නැගෙනහිර ආසියානු කලාපයේ ආර්ථික ආකෘතිය ලෙස වෙළදපළ ආර්ථික සැලසුම් ප්‍රවර්ධනය කිරීමේ අභියෝගයට ඔහු කැප වූවේය.

ආර්ථික ලිහිල්කරණය (ඉකොනොමින් ලිබරලයිසේෂන්) සම්බන්ධයෙන් මහාචාර්ය ෂෙනොග් විසින් සකසන ලද ප්‍රථම වාර්තාව සඳහා අනුග්‍රහකත්වය දැක්වූවේද එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසිනි. එම වාර්තාව සිංගප්පූරුවේ ආර්ථික ලිහිල්කරණ යෝජනාවලට සමකාලීනවම ඉදිරිපත් වූවකි. නමුත් සිංගප්පූරුව පූර්වගාමීව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහ. මේ කාල සීමාව තුළදීම එස්මන්ඩ් වික්‍රමසිංහගේ භාර්යාව, නාලිනි වික්‍රමසිංහ මහත්මිය සිංහල සංස්කෘතිය යළි පිබිදීම ප්‍රවර්ධනය සදහා කටයුතු කරමින් සිටියාය.

ගෝලීය සම්බන්ධතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ භූමිකාව, එස්මන්ඩ් වික්‍රමසිංහ ප්‍රධානතම රුචියක් දැක්වූ විෂයයක් විය.

සර් ජෝන් කොතලාවල මහතා ඔහුව අග්‍රාමාත්‍ය සහ විදේශ සම්බන්ධතා උපදේශක ලෙස පත් කළේය. ඉන්දියාව, පාකිස්තානය, බුරුමය සහ ඉන්දුනීසියාව සහභාගීත්වය දැක්වූ 'ආසියානු බලය' සමුළුව කැදවීම සදහා ඔහු සර් ජෝන් කොතලාවල සමග කටයුතු කළේය. 1955 දී ඉන්දුනීසියාවේ බැන්ඩැන්ග් හී පැවති 'අප්‍රිකා-ආසියා සමුළුව'ට මූලික වූයේද ඉහත පැවසූ ආසියානු බලය සමුළුවය.

දෙවැනි ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාව රුසියාවට සහ මිත්‍ර පාර්ශික රටවලට තම සහය ලබාදුන්නද, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුල් වීමේ ශ්‍රී ලංකාවේ උත්සහය තම නිෂේධ බලය උපයෝගී කරගනිමින් රුසියාව විසින් නවතා දැමීය. ඊට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීමේ මොංගෝලියාවේ උත්සහය එක්සත් ජනපදය විසින් නිෂේධ බලය උපයෝගී කරගනිමින් නවතා දැමීමයි.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධනයේ සාමාජික රටක් බවට පත් කිරීමේ මෙහෙයුම, සර් ජෝන් කොතලාවල විසින් භාරදෙන ලද්දේ එස්මන්ඩ් වික්‍රමසිංහටය. ඒ සඳහා ඉන්දියානු විදේශ අමාත්‍ය වී. ක්‍රිෂ්ණ මෙනන්ගේ සහය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1955දී ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව යන රටවල් දෙකටම එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් බවට පත්වීමේ අවස්ථාව හිමි විය.

දෙවැනි ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාව රුසියාවට සහ මිත්‍ර පාර්ශ්වික රටවලට තම සහය ලබාදුන්නද, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුල් වීමේ ශ්‍රී ලංකාවේ උත්සහය තම නිෂේධ බලය උපයෝගී කරගනිමින් රුසියාව විසින් නවතා දැමීය. ඊට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීමේ මොංගෝලියාවේ උත්සහය එක්සත් ජනපදය විසින් නිෂේධ බලය උපයෝගී කරගනිමින් නවතා දැමීමයි.

මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධනයේ සාමාජික රටක් බවට පත් කිරීමේ මෙහෙයුම, සර් ජෝන් කොතලාවල විසින් භාරදෙන ලද්දේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාටය. ඒ සඳහා ඉන්දියානු විදේශ අමාත්‍ය වී. ක්‍රිෂ්ණ මෙනන්ගේ සහය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1955දී ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව යන රටවල් දෙකටම එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් බවට පත්වීමේ අවස්ථාව හිමි විය.

1977න් පසුව, ජේ.ආර්. ජයවර්ධනගේ විශේෂ නියෝජිතයෙකු ලෙස උතුරු කොරියාව ඇතුළු රටවල් කීපයකට රාජ තාන්ත්‍රික දූත මෙහෙවරේ යෙදෙන්නට ඔහුට පැවරිණ. ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය ව්‍යාපෘතිය සඳහා යුනෙස්කෝ සංවිධානයේ මහ ලේකම්ව සිටි ඇමෙදු මහ්තා ඇම්බෝ ගේ සහය දිනා ගැනීමේ වගකිම පැවරුණේද ඔහුටය.

එවකට දැඩිව මතභේදයට තුඩු දුන් ඉන්දු ලංකා සම්බන්ධතාව තර කිරීම, එස්මන්ඩ් වික්‍රමසිංහගේ වැඩිම දායකත්වය ලද විෂයය බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. 1979දී ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනියගේ උපදේශකයෙකු මෙන්ම එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිත්‍රයෙකු වූ රැල්ෆ් බුල්ජෙන්ස් සමග අග්‍රාමාත්‍යවරිය මුණ ගැසිණ. එහිදී 1983 කෝලාහල ගැන ඇයගේ ස්ථාවරය සම්බන්ධයෙන් සහ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන සෘජු සාකච්ඡා පැවැත්විණ. එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ ජී. පරතාසරාති යන පැරණි මිතුරන් දෙපළ මෙම සාකච්ඡා වල ආකෘතිගත නොවූ සන්නිවේදන නියෝජිතයෝ වූහ.

1985 මැයි මසදී, සාර්ක් සංවිධානය ආරම්භ කිරීමේ තීරණාත්මක සාකච්ඡා වටය භූතානයේ, තිම්පු නුවර පැවැත්විණ. එම සාකච්ඡා වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ විශේෂ නියෝජිතයා ලෙස එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා පත් කෙරිණ. එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාශයේ ලේකම් රොමේෂ් භන්දාරි සමග ඔහුගේ මිත්‍රත්වය ආරම්භ විය. එම මිත්‍රවයේ ප්‍රතිඵලයක් ලෙස නැවත ශ්‍රී ලංකාවට එන මග අතරතුර නව දිල්ලියේදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා මුණ ගැසීමට ආරාධනාවක් ලැබිණ. එම මුණ ගැසීම සැලකිය යුතු සාර්ථකත්වයකට පත් වූ බවට හොඳම නිදසුන වන්නේ ඉන් අනතුරුව සිදු වූ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ නව දිල්ලි සංචාරයයි.

ජනාධිපති ජයවර්ධන සමග නව දිල්ලියේ රැදී සිටින කාලය අතරතුර එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හදවතේ අසාමාන්‍ය තත්වයක් නිසා රෝගාතුර වූවේය. වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව නිර්දේශ වූයේ ඉක්මනින් බයිපාස් සැත්කමක් සිදු කළ යුතු බවයි. ඒ සඳහා ඔහුව එක්සත් ජනපදයේ ටෙක්සාශි හූස්ටන් නුවර රෝහලකට ඇතුළත් කෙරිණ. සති කීපයකින් තමන්ට නැවත රොමේෂ් භන්දාරි සමග සාකච්ඡා සඳහා පැමිණිය හැකි වෙතැයි ඔහු තදින්ම විශ්වාස කළේය. නමුත් දෛවයේ අකාරුණික තීරණයට යටත් වෙමින් සැත්කමින් දින කීපයකට පසු 1985 සැප්තැම්බර් 29 වන දින සදහටම දෙනෙත් පියා ගැනීමට එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට සිදු විය.

ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ යළි උදා නොවෙන විශේෂතම අවස්ථා බොහොමයක කොටස්කරුවෙකු බවට පත් වූ ඔහු එම ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහන් තැබුවේය. ඒ සියල්ලටම ඉහළින්, පත්‍රකලාවේ නිදහස උදෙසා නොසැලී ක්‍රියා කළ දැවැන්තෙකු ලෙස, නොමියෙන වීරයෙකු ලෙස එස්මන්ඩ් වික්‍රමසිංහ නාමය ආසියානු කලාපයෙන් ඔබ්බටද පැතිර තීබීමේ අභිමානය අපද විඳිමින් සිටින්නෙමු.

සටහන
මංජුල සමරසේකර

Comments