ගිනස් උමතුවෙන් ගිනිගත් ඔසරි පොට | Page 3 | සිළුමිණ

ගිනස් උමතුවෙන් ගිනිගත් ඔසරි පොට

 අපේ ඇත්තෝ ගිනස් වාර්තා තබන්නට රුසියෝය. කඹයක් එල්ලා පැය ගණනක් ඒ මත නිරාහාරව එල්ලෙමින් අමුතු දුකක් දෙන්නේ ගිනස් පොතට යාමේ තන්හාවෙනි. සමහරු සිය ජීවිතය පවා පරදුවට තබමින් ගිනස් වාර්තා තබන්නට ගන්නා උත්සාහයන් ඕනැ තරම් සොයා ගන්නට හැකිවෙයි. තවත් සමහරු සිය හැකියාවන් උපරිමයට ළඟාකර ගනිමින් ගිනස් වාර්තා පොතට යන්නට උත්සහ කරති. නමුත් මේ කිසිම දක්ෂතාවයක් නැත්තවුන්ද අපූරු දෑ නිමවුම් කරමින් ගිනස් පොතට නම දා ගන්නට උත්සාහ කරන්නේ අපේ ඇත්තන්ටත් ගිනස් උමතුව ඇති නිසාමය. ගිනස් වාර්තා ගැන අසා තිබුණද ගිනස් වාර්තා දෙන්නට ගොසින් නැති ප්‍රශ්න ඇති කර ගත් අවස්ථාද කලාතුරකින් අසන්නට ලැබේ‍. පසුගියදා සිදුවූ ඔසරි පොටේ කතාවත් එවැනිම ගිනස් වාර්තා ඉක්ම වූ අපේ ඇත්තන්ගේ තවත් අනුවණ ක්‍රියාවකි.

‘Sri Lanka probes longest saree wedding for using childlabour‘ මේ පසුගියදා ගිනස් වාර්තා තබන්නට ගොස් අපේ ඇත්තන් ජාත්‍යන්තරයට කියා පෑ දෙය The Telegraphs පුවත්පතේ විස්තර වූ ආකාරයයි. මන්ද එක්සත් ජාතීන්ගේ ළමයින් පිළිබඳ ප්‍රඥප්තියට අනුව රටවලින් ළමා මෙහෙකාර සේවය තුරන් කර ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී යි. දුර දිග නොබලා ළඟ පෙනෙන වාසිය කතා සාරි පොටකින් අමුතු ආකාරයේ වාර්තාවක් දෙන්නට ගොස් ඇණ ගත් ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ශ්‍රි ලංකාවේ මංගල්‍යයකට ළමා ශ්‍රමය යොදාගැනීමක් වශයෙනි. නිරූපණ ක්ෂේත්‍රයේ සචිනි ප්‍රියංගිකා නම් වූ මනාලියත් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලි රුවන් පුෂ්පකුමාර නම් වූ මනාලයාත් සිය මංගල්‍යය ගිනස් පොතට එක්කරන්නට වූයේ ලොව දිගම ඔසරි පොට හැඳගත් මනාලිය වශයෙනි. මේ මංගල්‍යයට නිල වශයෙන් මල් කුමාරියන් සියයක් සිටි අතර ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම දක්වා දිග හැරෙන සාරි පොට අල්ලා ගන්නට තවත් පාසල් ළමුන් 150 දෙනෙකු සහභාගි කර ගත්තේ පාසල් දිනයක පාසල් නිළ ඇඳුමිණි. ගිනස් දක්වා ගියද අවසානයේ ඔසරි පොට ගිණි ගත්තේ රටේම මහත් වූ ආන්දෝලනයක් ඇති කරමිණි. ඒ අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමිකයේ ළමුන් පාසල් වේලාවක මේ කටයුත්ත සඳහා යොදා ගැනීම, පාසල් නිල ඇඳුම භාවිතා කිරිම, ළමයින් අව්වේ පැය ගණනක් තබා ඔසරි පොට අල්ලා ගෙන සිටීමට සැලැස්විම ආදි කරුණු වෙනුවෙනි. මේ වන විට ළමා රක්ෂණ අධිකාරිය අධ්‍යාපන අමාත්‍යාංශය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය යන සතර දිග් භාගයෙන්ම කඩිනම් පරීක්ෂණ ආරම්භ වූයේ මෙසේ පෞද්ගලික අරමුණක් පිරිමසා ගන්නට කුඩා පාසල් දරුවන් කෙසේ යොදා ගත්තේ කුමන පදනමක් හා කුමන අවසරයක් ඇතිවද යන්න සොයා බලන්නයි.

මේ ප්‍රශ්නයේ වැඩි චෝදනා එල්ල වන්නට වූයේ මධ්‍යම පළාත් මහ ඇමැති මෙන්ම අධ්‍යාපන ඇමැති වන සරත් ඒකනායක මහතාටය. විශේෂයෙන්ම ග්‍රාමීය පාසලක් වන මෙහි නම වන්නේද අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමිකයයි.

“මේක ලෝක වාර්තාවක් තියන්න කරපු දෙයක්. රාජ්‍ය නායකයෝ එනකොට පැය ගණන් දරුවෝ අව්වේ වේළවනවා. එතකොට කවුරුත් වැරැදි නැහැ. මේක මගෙන් අහන්න එපා. දෙමවුපියන්ගෙන්ම අහන්න, ඇත්තටම මොකද වුණේ කියලා. අපි මේ දේවල් කළේ කළ යුතු නීතිමය පිළිවෙළටයි. ළමා ආරක්ෂක කාර්යාලයට කියන්න ඕන මේ දරුවන්ට හිරිහැරයක් වුණා නම් නේ. මේ දරුවොයි දෙමවුපියොයි කියයි ප්‍රශ්නයක් වුණාද නැද්ද කියලා...“ ඒ මධ්‍යම පළාත් මහ ඇමැතිවරයාය. ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් කරන ලද විමර්ෂණයේදි ඔහු වැරදිකරුවෙකු වූයේ නැති අතර වැරැද්ද පැවැරුණේ මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ටය. ආණ්ඩුකාර තීන්දුවෙන් පසු ඔහු ඌව පළාත් ප්‍රධාන ලේකම්ය. නමුත් අපගේ දැනුමේ හැටියට එය සේවා උසස් වීමක්ද වන්නේ ය. මෙවැනි කැකිල්ලේ තීන්දු බුද්ධිමතුන්ට තරම් නොවන්නේ ය.

ගිනස් වාර්තාව මේ ගමේ අයට අලුත් අත්දැකීමක් විය. අලවතුගොඩ ප්‍රාථමිකයේ සිසුන්ට එය විශේෂ අත්දැකීමක් වූයේ මෙයට සම්බන්ධ වන්නේ පාසලේම ආදි සිසුවියක විම නිසාය. මනමාලිය සිය මංගල දිනයේදි මෙලෙස ගිනස් වාර්තා තැබුවද වාර්තා වන අන්දමට මෙම ගිනස් වාර්තාවේ හිමිකාරිනිය වන්නේ මංගල සාරියේ නිමැවුම් කළ ඉන්දුමාලා රාජපක්ෂ නම් තැනැත්තිය බව ආරංචිය. කටුගස්තොට, අලවතුගොඩ ආදි ප්‍රදේශ ගණනාවකම ඇගේ සැලෝන් ඇති බව පැවැසෙන අතර මේ පාසලේම දෙමවුපියන් ඇය යටතේ සේවය කරන බවද වාර්තා වෙයි.( ඇය සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද, ඇය විදේශගත වීම නිසා උත්සාහය අසාර්ථක විය)

ළමුන් 800 ක් පමණ සිටින අලවතුගොඩ කණිෂ්ඨයේ ළමුන් 250 දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වූයේ විදුහල්පති අවසරය මතය. මේ අවස්ථාවට විදුහල්පති මෙන්ම ගුරුවරු, දෙමවුපියන් විශාල පිරිසක් සහභාගී වූයේ පාසල් වේලාවේදි විම සැලකිය යුතුය. අලවතුගොඩ ප්‍රාථමිකය යනු කලක් විභාග ප්‍රතිපල අතින් පහතට වැටුණු, ගුරු හිඟයන් පැවැති, ගුරුවරු අතර සමඟියක් නොපැවති පාසලක් බවද වාර්තා වෙයි. මේ විදුහල්පතිවරයා වැඩ බාරගත් පසු පාසල යම් තත්ත්වයකට පත්වූ බව දෙමවුපිය අදහසයි. එහෙත් පාසලට තැනක් දෙන්නට දෝ කළ අනුවණ ක්‍රියාවෙන් මේ වන විට විදුහල්පතිවරයාද දැඩි පීඩනයට හසුවී ඇත. බොහෝ විට ඔහු ඉහළ අණසකට යටත් වූවා විය හැකිය.

“අනේ මට මේ ගැන කිසිම ප්‍රකාශයක් දෙන්න බැහැ. අපි යමක් කියන්නට කලින් ආයතන ප්‍රධානීන්ගෙන් අවසර ගන්න ඕන“. විදුහල්පති වයි.එච්.බී.එම් ජයසිංහ මහතා අප කළ විමසීමේදි පිළිතුරු දුන්නේ ඒ ආකාරයෙනි. ඔහු තමන්ට ඉහළ නිලධාරීන්ගේ නියෝග පිලිපදින්නෙකු වුවද පාසල් ප්‍රධානියකු වශයෙන් තම හෘද සාක්ෂයට අනුව නිවැරදි තීන්දු ගැනීමටද දක්ෂයකු විය යුතුය. මන්ද පාසලට ළමුන් ඇතුළත් වූ පසු සවස 1.30 වනතෙක් දරුවන්ගේ සියලු වගකිම් හිමි වන්නේ අදාල පාසලේ විදුහල්පතිවරයාට නිසා කවුරු කිව්වත් හොඳ නරක දේ තෝරා ගන්නට ඔහුට හැකිවිය යුතුය.

අලවතුගොඩ ගමේ දරුවන්ගේ දෙමවුපියන් කියන්නේ මීට වෙනස් කතාවති. මේ සියලු දෙයෙහි වගකිම් භාර ගැනිමට ඔවුන් සූදානම් ය. දරුවන් මෙයට යැවුණේ තමන්ගේ උවමනාව නිසා බව පවසන මේ දෙමවුපියන් මෙහි සියලු වගකිම් භාර ගනිමින් මේ වන විට ආණ්ඩුකාරවරියට ලිඛිතව ලිපියක්ද භාර දී ඇතැයි වාර්තා වෙයි.

“මේ සිද්ධිය වුණේ 21 වැනිදා. අපිට ආරංචි වුණා අපේ පාසලේ ආදි ශිෂ්‍යාවක් වන ඉන්දුමාලා මිස් ගිනස් වාර්තාවක් තියන්න යනවා කියා. මේකෙ මල් කුමරියන් විදියට ගත්තෙත් අපේ පාසලේ 2 හා 3 වසර ළමයින්. ඉතින් අපිටත් ඕනවුණා, අපේ ළමයින්වත් මේ අවස්ථාවට සම්බන්ධ කරන්න. මොකද අපි මේ අවස්ථාව සැලකුවේ අපේ පාසලේ ළමයින්ටත් පාසලටත් ගමටත් ලැබුණු අනගි අවස්ථාවක් විදියට. අධ්‍යාපන ඇමැති නිසා අපි මේ ඉල්ලීම මහ ඇමැතිතුමාගෙන් කෙරුවා. මහ ඇමැතිතුමා අපිට ඒ අවසරය ලබා දුන්නා. අපේ දරුවන් මේ අවස්ථාවට ගත්තේ අපේ පාසලට කීර්තියක් අතිකරදෙන්න. මන්ද මෙය කරන්නේ අපේ පාසලේම ආදි සිසුවියක් නිසා. ඒත් දරුවන් 100 කට විතරයි ඇඳුම් තිබුණේ. අපේ දරුවන්ට ඇඳුම් නැති නිසා අපි තීරණය කළා දරුවන්ට පාසල් නිල ඇඳුමින්ම සහභාගි කරවන්න. අපිට වැරදුණේ එතැනින්. දරුවන්ව පාසලට ගේන්න තිබුණේ එදා පාන්දර 3.30 ට විතර . ඒත් එක එක වෙලාවට ළමයින් ගෙනාවා. පාන්දර 5.15ට තමයි අපේ දරුවෝ පාසලින් ගෙන ගියේ. අපි ට්‍රිප් එකක් යනවා වගේ ආසාවෙන් තමයි මේ ගමන ගියේ. එත් වුනේ නොසිතපු දෙයක්...“එසේ පැවැසුවේ මේ සඳහා සහභගි වූ දරුවෙකුගේ පියෙක් වූ සම්පත් සුබසිංහ ය.

එහෙත් අලවතුගොඩ ගමේ ඇත්තෝ නොදන්නා බොහෝ දේ ඇත්තේය. යම් යම් අවස්ථාවන්හීදි තමන්ගේම දරුවන් ගැන යම් යම් තීරණ ගැනීමේදි දෙමවුපියන්ට පමණක් තීන්දු ගත නොහැකි අවස්ථාද ඇත්තේය. විශේෂයෙන්ම ලංකාවේ පාසලක ඉගෙනුම ලබන දරුවෙකු නම් ඒ දරුවා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදි රටේ නීතිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නීතිය මෙන්ම පාසලේ යම් යම් නීතීන්ද වලංගු වන්නේ දරුවන් යොදාගෙන සිදුකරන විවිධ ජාවාරම් වළක්වා දරුවන්ගේ ළමා අයිතින් සුරකින්නටය. උදාහරණයක් ලෙස තමන්ගේ දරුවෙකු තමන් සමඟ විදේශ ගත වන්නේ නම් ඒ සඳහා අවසර ගැනීමට රටේ පිළිගත් නීතිමය ක්‍රමවේදයක්ද ඇත්තේ ය. ඒ අවසරය නැතුව තම දරුවෙකු සිය දෙමවුපියන් සමඟ චාරිකාවකට හෝ විදේශයකට ගෙන ගියහොත් එයම සිසුවිය පාසලින් ඉවත් කිරීමට හේතුවක් වෙයි. පාසල් දරුවන් පාසල් වේලාවේදි මෙන්ම පාසල් නිල ඇඳුමින් යම් යම් බාහිර කටයුතු සඳහා යොදවන විට ඒ සම්බන්ධයෙන් නීතිමය රාමුවක් අධ්‍යාපන අමාතයාංශය මඟින් පනවා ඇත්තේ ය. හිටපු අධ්‍යාපන ලේකම් ටාරා ද මැල් මහත්මියගේ අත්සනින් නිකුත් කළ 2004/25 දරණ චක්‍ර ලේඛයට අනුව ප්‍රදේශයේ විවිධ සංවිධාන විසින් මෙහෙයවනු ලබන ආයතන හා සංගම් පාසල් සිසුන් යොදාගෙන කරනු ලබන නේවාසික හා නේවාසික නොවන වැඩ සටහන් වලට පාසල් සිසුන් සහභාගි කරවීම නොකළ යුතු බවයි. එසේම රේඛීය අමාත්‍යාංශය විසින් හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් සංස්කෘතික උත්සව ,නිදහස් උත්සව හා විදේශීය රාජ්‍ය නායකයින් සහභාගි වන උත්සව වලට සිසුන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරගත යුතු බවයි. මෙය රේඛිය අමාත්‍යාංශයට අයත් පාසලක් නොවූවද මේ චක්‍රලේඛ සියලු පාසල් වලටද අදාල වන්නේ ය. මේ වන විට ළමා ආරක්ෂක අධිකාරිය මගින්ද සිදුකරන පරික්ෂණ කටයුතු වඩාත් පුළුල් වී ඇත්තේ මෙවැනි දේ මින් ඉදිරියට සිදු නොවන්නටය. මේ ආකාරයේම වාර්තාවක් මීට පෙර ඉන්දියාවේ පිහිටුවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේය. ඉන්දියාවේ භරුච් නගරයේ නර්මදා නදිය හරහා පාලමක් ඉදිකරන්නට යෙදුණ අවස්ථාවක සැමරුමක් ලෙස මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙයට සහභාගී වූ අතර පාලම විවෘත කරන්නට පෙර පාලම දිගේ සාරිය අල්වා සිටියේ විශේෂයෙන් ඒ සඳහා යෙදවූ තරුණ තරුණියන් මිස පාසල් දරුවෝ නොවෙති . පාලමෙන් එපිට ගඟ දිගේ ඔරු මත නැගුණ මිනිසුන්ද එදා උත්සවයට සහය පළකරමින් සාරියේ ඉතිරි කොටස අල්ලා සිටි බව වාර්තා වී තිබේ.

අපට ආසන්නම රටවලින් වාර්තා වු මෙවන් සිදුවීම් අප ආදර්ශයට ගත යුත්තේ කල්පනාකාරීව යමක් හොඳින් සිදුකරන්න මිස අභියෝග කරන්නට නොවේ. අලුත් දේ සිතන්නා සේම අප අලුත් දේ කළ යුතුය. එහෙත් කරන දෙයින් හොඳක් මිස අයහපතක් නොවිය යුතුය.

සුභාෂිණි ජයරත්න

Comments