සුව සදන නිවහන ‘රසුනි ලංකා ඉන්’ | Page 2 | සිළුමිණ

සුව සදන නිවහන ‘රසුනි ලංකා ඉන්’

 ශ්‍රී ලංකාවේ පැරැණිතම අගනුවර වන අනුරාධපුරයේ පිහිටි ආගමික හා ඓතිහාසික සිද්ධස්ථාන දැක බලාගෙන, වැඳ පුදාගෙන එන්න යන බැතිමතුන්ටත් දෙස් විදෙස් සංචාරකයන්ටත්, සුව පහසුව, සලසා දෙන්නට අලුතෙන් ම සැරැසුණු නවාතැන්පොළක් ලෙස රසුනි ලංකා ඉන් සංචාරක නිවහන හඳුන්වා දෙන්න පුළුවන්.

අනුරාධපුර මහා රෝහලට නුදුරින් පිහිටි හරිශ්චන්ද්‍ර මාවතේ අංක 390/A යන ස්ථානයේ රසුනි ලංකා ඉන් නිවහන පිහිටා තිබෙනවා. නගර මධ්‍යයේ මහා මාර්ගයට නුදුරින් වුවත් එය පිහිටා තිබෙන්නේ නාගරික කලබලයෙන් මිදුණු නිසංසල වටපිටාවක.

නවීන ගෘහභාණ්ඩ, උණු සහ ඇල් දියෙන් යුතු නාන කාමර රූපවාහිනී, වයිෆයි ඇතුළු පහසුකම් සියල්ලෙන් සපිරි සුවපහසු කාමර දොළහකින් සමන්විත එය සංචාරකයන් සඳහා විවෘත කෙරුණේ 2017 අප්‍රේල් මාසයේදී බවයි එහි හිමිකරු අජිත් පුෂ්පකුමාර මහතා පවසන්නේ.

යුරෝපීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද දැකුම්කළු නිවහනක් වූ එය තනි කාමරයක් යුගළ කාමර හතක්, සිව් දෙනෙකු සඳහා වන කාමර තුනක් සහ පස් දෙනෙකු සඳහා වන කාමර දෙකකින් සමන්විතයි. එහි එකවර අමුත්තන් 35 දෙනෙකුට පහසුවෙන්ම නවාතැන් ගන්නට පුළුවන්.

රසුනි ලංකා ඉන් හෝටලයේ සිට ජයසිරි මහා බෝධිය වැඳ පුදා ගන්නට මිනිත්තු 10ක් වැනි සුළු කාලයකින් යන්නට පුළුවන්. එහි නැවතෙන ඔබට ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කරන්නට ගිලන්පස මෙන්ම අලුයම බුද්ධ පූජාවට කිරි ආහාර පාත්‍රා පිළියෙල කර දෙන්නටත් ඔවුන් සූදානමින් සිටීමත් විශේෂත්වයක්. ගමේ විදිහට ගමේ කෑම වේලක මෙන්ම බටහිර හෝ ඉන්දීය පන්නෙට ඔබට අවශ්‍ය පරිදි ඔබේ කෑම වේල සකස් කර දීමටත් හැකි බවයි පුෂ්පකුමාර මහතා පවසන්නේ. රසුනි ලංකා ඉන් නවාතැනේ සිවුවැනි මහලෙහි පිහිටි සඳළුතලයේ සිට සඳ පහන් රැයෙක හාත්පස සිසාරා අවට බලන්නෙකුට දුරින් දිස්වන රුවන්වැලි සෑයේ කොත් කැරැල්ලෙහි කාන්තිය මනබඳින සුලුයි. දුර ඈත පොල් රුප්පාව අතරින් දිස්වෙන ජේතවනාරාම චෛත්‍යයේ දසුනත් රමණීයයි.

අනුරපුරයට සුපුරුදු උණුසුම් පවන් රැලි වෙනුවට රාත්‍රියේ සිසිලස දැවටුණු මද නළෙහි පහස විඳිමින් දුරින් දිස්වන ඒ මනරම් දසුනෙහි වෙලී කල්පනාවක ගිලෙන්නට හෝ ගීයක් ගයා තුටු පහටු වෙන්නට එහි ඇති අහස් උයන කදිම තැනක්. පූජා නගරයක් මධ්‍යයේ වන හෙයින් රාත්‍රී නිහඬ බව බිඳිමින් මහා හඬින් ඝෝෂා නඟන්නට එය සුදුසු නොවන්නක් බවත් එහි යන ඔබ සිතට ගත යුතුයි. සතුටු සාද හෝ කුඩා කණ්ඩායම් හමු පවත්වන්නට ඒ සඳළුතලය වඩාත් සුදුසුයි දිවා කල එහි සිට අනුරපුර නගරයේ කලබලයත් රාත්‍රියේදී නිදිගත් පුදබිමත් දැකගන්න එහි යන ඔබට පුළුවන්.

අනුරාධපුර යන බොහෝ දෙනෙකු අටමස්ථානය වඳින්න ගියාට හරියටම අටමස්ථානය පිළිබඳ නිවැරැදි තොරතුරු දන්නෙ නෑ. ඒ පිළිබඳ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකු හැරෙන්නට වැඩි දෙනෙකුට ඒ පිළිබඳව උනන්දුවකුත් නෑ. නිවාඩු කාලෙට දූලා පුතාලා සමඟ වට වන්දනාවේ යන ඔබ අනුරාධපුරයේ අටමස්ථානය පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගෙන ඒවා දරුවන්ට කියා දීම වැදගත්. වර්තමාන අටමස්ථානය වශයෙන් පිළිගන්නා ස්ථාන වන්නේ 1. ශ්‍රී මහා බෝධිය, 2. ලෝවාමහාපාය, 3. රුවන්වැලිසෑය, 4. අභයගිරි වෙහෙර, 5. ථූපාරාමය, 6. ජේතවනාරාමය, 7. ලංකාරාමය හා 8. මිරිසවැටියයි මේ සිද්ධස්ථාන අට.

1909 ජනවාරි 16 වැනි දින, එවක ආණ්ඩුකාර ධූරය දැරු එච්. ඒ. මැකලම් මහතාත් අටමස්ථාන කොමිටියේ ලේකම් තුමාත් විසින් නම් කරන ලද ඒවා. මේ සියලු ස්ථාන පිහිටා ඇත්තේ අනුරාධපුරයේ පැරැණි පූජා නගරය තුළයි. මේ සිද්ධස්ථාන අටම වරුවක් ඇතුළත දැකබලා ගත හැකි දුරකින් රසුනි ලංකා ඉන් හෝටලය පිහිටා තිබෙනවා. හිතේ හැටියට වැඳ පුදාගන්නට නම් දවසක් දෙකක් වුණත් ගත කළ යුතුයි. මහාවංශයේ සඳහන් වන පරිදි අනුරාධපුරය එනමින් හැඳින්වෙන්නේ අනුරාධ නමැති අමාත්‍යවරයකු විසින් මේ ස්ථානය ජනාවාස කරගැනීම නිසයි. විජය කුමරා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු සමඟ පැමිණි අනුරාධ නමැති ඇමැතිවරයා ‘කදම්බ නදිය’ හෙවත් මල්වතු ඔය අසබඩ අනුරාධ ග්‍රාමය පිහිටවූ බව බුද්ධදත්ත හිමියන් විසින් රචිත මහාවංසයේ සඳහන් කරනු ලැබ තිබෙනවා. පසු කලෙක ලංකාවේ රාජ්‍ය අත්පත් කරගත් පණ්ඩුකාභය කුමාරයා අනුරාධපුරය සිය වාසස්ථානය බවට පත් කරගෙන නගරය ඉදිකළ බව ද ඉතිහාසයෙහි සඳහන් වෙනවා. මල්වතු ඔය ආශ්‍රිතව ගොඩනැඟුණු අනුරාධපුරයෙහි ජනාවාස බිහිවීමත් සමඟ වැඩි වූ ජන අවශ්‍යතාවට සරිලන පරිදි මහා වැව් බැඳ අනුරාධ ග්‍රාමය හෙළදිව අගනුවර බවට පත් කරන්නට පණ්ඩුකාභය රජතුමා කටයුතු කර තිබෙනවා. පණ්ඩුකාභය රජතුමා විසින් ඉදිකරන ලද බසවක්කුලම හෙවත් අභයවැව එකල අභයවාපී යනුවෙන් ද හැඳින්වුණා. අනතුරුව දේවානම්පියතිස්ස රජු විසින් තිසාවැව කරවන ලදී. පණ්ඩුකාභය රජ සමයේ සිට හතරවැනි මිහිඳු රජ සමය දක්වා කාලය තුළ නොයෙකුත් රජවරුන් අනුරාධපුරයෙහි ශ්‍රී විභූතිය නැංවීම සඳහා ඇවැසි වෙහෙර විහාර, කෙත් වතු, වැව් අමුණු, පොකුණු, මාලිගා සහ ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා. කලාවැව සහ නුවර වැව අනුරාධපුරයෙහි පිහිටි වැව්ය. අනුරාධපුර ප්‍රදේශයෙහි ඇති විශාලතම වැව ලෙස සැලකෙන්නේ නුවර වැව. අක්කර 2960ක් පුරා පැතිර ඇති නුවර වැවෙහි ජල ධාරිතාව අක්කර අඩි 3600ක්. දෙවැනි මුගලන් රජ සමයේ ඉදිකරන ලද නාච්චදූව වැවෙහි සිට සැතැපුම් පහක් පමණ දිග ඇළකින් නුවර වැවට ජලය සපයා ගත් බව ද පොත පතෙහි සඳහන් වෙනවා.

අටමස්ථානය හැරුණු විට අනුරාධපුර යුගයට අයත් රාජ මාලිගාවල නටබුන්, උයන් වතු ජල පොකුණු ආදි ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන රාශියක් දැකබලා ගැනීමට නම් ඔබ එහි යා යුත්තේ දින කිහිපයක් හෝ ගත කරන්නට සූදානමින්. අනුරාධපුරයේ සිට කිලෝමීටර් 11ක් පමණ දුරින් පිහිටි මිහින්තලය හා කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි තන්තිරිමලේ සිද්ධස්ථානයත් දිනක් තුළ දැකගන්නට පුළුවන්. අනුරාධපුරයට නුදුරින්ම පිහිටි ඉසුරුමුණිය හා වෙස්සගිරි පුදබිමත් දැකබලාගෙන වැඳ පුදාගන්න වටිනා සිද්ධස්ථාන. මේ සියලු සිද්ධස්ථාන වෙත පහසුවෙන්ම ළඟාවිය හැකි දුරකින් රසුනි ලංකා ඉන් හෝටලය පිහිටා තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයට ආවේණික එළවළු හා පලා වර්ගත්, කැමැතිනම් වැව් මාළු හෝ කුකුළු මස් සමඟ අලුත් හාලේ බත් වේලක රස බලන්න එහි යන ඔබට පුළුවන්. අඹ වාරෙට විවිධ අඹ වර්ගවල රස බලන්නත් ගස්ලබු, කෙසෙල්, වැනි කාබනික පොහොර පමණක් යොදා වවන ලද පලතුරුවලිනුත් ඔවුන් අමුත්තන්ට සංග්‍රහ කරනවා. එහි එන දෙස් විදෙස් සියලුම අමුත්තන් උණුසුම්ව පිළිඅරන් සුහදව සත්කාර කරන්නට ඔවුන් සූදානම්.

කුඩා කණ්ඩායම් සඳහා සම්පූර්ණ නිවහනම වෙන් කර ගන්නට හෝ කුඩා කණ්ඩායම් සාද සඳහාත් හෝටලය වෙන් කරගන්නට අවස්ථාව තිබෙනවා. වන්දනාවට හෝ විනෝදයට යන ඔබේ සංචාරය අතරතුර ගිමන් නිවාගන්නටත් විවේක ගන්නටත් සුදුසු නිස්කලංක පරිසරයකින් යුතු රසුනි ලංකා ඉන් කළමනාකාරිත්වය හා සේවක මණ්ඩලය ඔබට ගෙදර වගේම නිදහස් තැනක් ලබාදීමට මෙන්ම උපරීම ආගන්තුක සත්කාර පිරිනමන්නටත් ඉත සිතින් සූදානම්.

වැඩි විස්තර - 0714283821 සහ 025 2051070 යන දුරකථන අංකවලින් හෝ rasunilanka@gmail.com හෝ www.rasunilanka.lk යන විද්‍යුත් ලිපිනවලින් විමසා දැනගැනීමට පිළිවන්.

සාගරිකා දිසානායක 

Comments