
ශ්‍රී ලංකාව, ක්‍රිකට් ලොවට දායාද කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු, නායකයකු සහ පිතිකරුවකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා රග්බි සහ ලොව ප්‍රකට නවසීලන්ත රග්බි කණ්ඩායම පිළිබඳ අදහස් දක්වා තිබුණි.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අන්තර්ජාතික තරගවලදී විශාල ප්‍රගතියක් අත්පත්කරගෙන තිබුණද ශරීර ශක්තිය අතින් තිබෙන අඩුපාඩු ඉදිරිගමනට බාධාවක් බව මහේල පවසයි.
මම විශ්වාස කරන විදියට අපේ රග්බි ක්‍රීඩකයෝ ස්ථාවර ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. පහළොස් සාමාජික තරගවලදී අන්තර්ජාතික මට්මේදී අපිට තිබෙන ලොකුම බාධාව තමයි අපේ ක්‍රීඩකයන් ශරීර ප්‍රමාණයෙන් කුඩාවීම. අපේ ක්‍රීඩකයන්ට වේගය - දක්ෂතාව තිබුණත් විශාල ශරීර නැහැ. රග්බි තරගවලදි ප්‍රතිවාදීන්ට පීඩනයක් යොමු කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට විශාල ශරීර තියෙන්න ඕනෑ.
කෙසේ වෙතත් නැඟී එන කුසලතා සහ අත්පත් කර ගන්නා වූ දියුණුව ගැන පැහැදීමකින් කතා කරන මහේල,
අපේ ක්‍රීඩකයන් දිනෙන් දිනම වගේ විශාල අත්දැකීම් සම්භාරයක් ඒකරාශි කරගනිමින් ඉදිරියට යනවා. මේ දියුණුව එක්ක යන ගමන අඛණ්ඩව ගියොත් තව අවුරුදු කිහිපයකින් ලොව හොඳම රග්බි කණ්ඩායම් 20 අතරට එන්න පුළුවන් වෙයි. ඒ වගේම රග්බි ලෝක කුසලානයක් සඳහා සුදුසුකම් ලබා ගන්නත් පුළුවන් වෙයි.
ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට විශාල පිළිගැනීමක් තිබෙන බවද මහේල පවසයි.
සමහර විදේශ ජාතින් පුදුම වෙනවා අපේ රටේ විශාල ක්‍රීඩක පිරිසක් රග්බි ක්‍රීඩවේ නිරත වෙන බව කියන කොට. සමහර පාසල් හෝ සමාජ රග්බි තරගවලට දහස් ගණන් ක්‍රීඩාලෝලයින් එකතු වෙනවා. මගේ පාසල ගත්තත් ඒ හැදුණු වැඩුණු පරිසරයේ රග්බිවලින් අඩු වුණේ නෑ. ඒ නිසා මට රග්බි ගැන හොඳ පැහැදීමක් වගේම අවබෝධයක් තියෙනවා.
අපේ අන්තර් සමාජ තරගවලට ෆීජි, සැමෝවා, වගේ රටවල ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම තුළින් රග්බි ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබෙන බව පැහැදිලියි.
ලෝ ප්‍රකට ඕල්බ්ලැක්ස් කණ්ඩායමේ රසිකයකු බවද පවසන මහේල,
ක්‍රිස්ටියන් කැලන්, ජෙෆ් විල්සන්, ජෝනා ලෝමු සහ ග්ලෙන් ඔස්බෝර්න් වැනි ක්‍රීඩකයන් ඕල්බ්ලැක්ස් කණ්ඩායම නියෝජනය කරන කාලයේ පටන් මම එයට සහය පළ කරනවා
ශ්‍රී ලංකා කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩකයන් ද රග්බි ක්‍රීඩාවට විශාල වශයෙන් උනන්දුවක් දක්වනවා. අපි පහුගිය කාලයේ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන කොට සුපිරි ලීග් තරග දෙකක් බලන්න ගියා. සුපිරි ලීග් තරගාවලියේ කෘෂේඩර්ස් කණ්ඩායමට තමයි මම සහාය දැක්වූවේ.
ආසියානු සත් සාමාජික තරගවල අපි ඉදිරියෙන් සිටින බවද පවසන මහේල,
අපේ ක්‍රීඩකයන් වඩාත් තරගකාරි සහ කුසලතාවලින් පූර්ණයි. විශේෂයෙන් ආසියානු සත් සාමාජික තරගවල අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.










