
ප්‍රශාන්ත ඇල්පිටිය
වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවලි සතරකි. මින් අවසානයට පැවැත්වෙන්නේ අමෙරිකානු විවෘත ශූරතාවලියයි. මෙවර එහි කාන්තා කේවල (තනි) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ අමෙරිකානුවන් දෙදෙනෙකි. ඒ ස්ලොආන් ස්ටීවන්ස් සහ මැඩිසන් කීස්ය.
මේ නිසාම බොහෝ අමෙරිකානුවන් කවුරුන් දිනුවත් කමක් නැතැයි යන මතයේ සිටියහ. ඒ ශුරිය වනුයේ අමෙරිකානුවෙක් වන බැවිනි. අමෙරිකන් විවෘත ටෙනිස් ශූරතාවලියේ මීට පෙර අවසන් වරට අමෙරිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් කේවල ශූරතාවට තරග කර තිබුණේ 2002 වසරේදීය. එහිදී තරග කළේ වෙන කවුරුන් හෝ නොව වීනස් සහ සෙරිනා විලියම්ස් සොහොයුරියෝය.
මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබා සිටි ස්ටීවන්ස් සහ කීස්ගේ මතය වූයේත් ශූරතාව කවුරුන් දිනුවත් කමක් නැතැයි යන්නයි. ඒ ඔවුන් දෙදෙනා කුඩා අවධියේ සිටම සමීපතම මිතුරියන් වූ බැවිනි. මෙය ඔවුන් දෙදෙනාගේම ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරගයයි.
ස්ටීවන්ස් 24 හැවිරිදිය. කීස් 22 හැවිරිදිය. ඇය දකුණත හුරු ක්‍රීඩිකාවකි. අඩි 5 අඟල් 10 ක් උසැතිය. ඇයට ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව අංක 15 ස්ථානය හිමිය. ස්ටීවන්ස්ට අංක 83 ස්ථානයයි. කෙසේ වෙතත් අවසන් මහා තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් වූයේ ස්ටීවන්ස්ය. ඒ තරග වට 2 - 0 කිනි. ලකුණු 6 - 3, 6 - 0 කි.
එය වාර්තාගත ජයකි. ඒ විලියම්ස් සොහොයුරියන් හැරුණු විට ගත වූ 15 වසරක කාලය තුළදී වෙනත් කිසිදු අමෙරිකානු ක්‍රීඩිකාවකට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවක් හිමිකර ගැනීමට හැකි වී තිබුණේ නැති බැවිනි. අවසන් වරට විලියම්ස් සොහොයුරියන් හැරුණු විට ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනූ අමෙරිකානු ක්‍රීඩිකාව වූයේ ජෙනිෆර් කැප්රියාටිය. ඒ 2002 ඔස්ට්‍රේලියානු විවෘත ශුරතාවයි. විලියම්ස් සොහොයුරියන් හැරුණු විට අවසන් වරට අමෙරිකානු කේවල ශූරතාව හිමිකර ගත් අමෙරිකානු ක්‍රීඩිකාව වනුයේ ලින්ඩ්සේ ඩෙවන්පෝර්ට්ය. ඒ 1998 වසරේදීය.
ස්ටීවන්ස් සිය වාර්තාගත ජය හිමිකර ගත්තේ මුල් වටයේදී ඉතාලියේ 34 හැවිරිදි රොබර්ටා වින්සි පරාජය කරමිනි. ඒ තරගවට 2 - 0 කිනි. ලකුණු 7 - 5, 6 -1 කි. රොබර්ටා 2015 වසරේ අමෙරිකානු විවෘත කේවල අනුශූරියයි. ස්ටීවන්ස් දෙවන වටයේ දී ලොව අංක 09 ක්‍රීඩිකාව වූ ස්ලොවේකියාවේ ඩොමිනිකා සිබුල්කෝවා පරාජය කළාය. ඒ වට 2 - 1 කිනි. ලකුණු 6 - 2, 5 - 7, 6 - 3 කි. සිබුල්කෝවා 28 හැවිරිදිය. ඇය 2014 ඔස්ට්‍රේලියානු විවෘත කේවල අනුශූරියයි.
තෙවන වටයේදී ස්ටීවන්ස්ට තරග වට 2 - 0 ක ජයකි. ලකුණු 6 - 2, 6 - 4 කි. පරාජය වූයේ ඔස්ට්‍රේලියාවේ 21 හැවිරිදි ඇෂ්ලියාහ් බාර්ටිය. ඇය ලොව අංක 37 ක්‍රීඩිකාවයි. ස්ටීවන්ස් සිවුවන වටයේ දී ලොව අංක 26 ක්‍රීඩිකාව වූ ජර්මනියේ ජුලියා ගෝර්ජෙස්ව පරාජය කිරීමට සමත් වූවාය. ඒ තරග වට 2 - 1 කිනි. ලකුණු 6 - 3, 3 - 6, 6 - 1 කි. ජූලියා 28 හැවිරිදිය.
අර්ධ අවසන් තරගයේදී ස්ටීන්ස්ට තරග වට 2 - 1 ක ජයකි. ලකුණු 6 - 3, 3 - 6, 7 - 6 (7 - 4) කි. එහිදී පරාජය වූයේ ලැට්වියාවේ ඇනස්ටාෂියා සෙවස්ටෝවාය. 27 හැවිරිදි ඇය ලොව අංක 18 ක්‍රීඩිකාවයි. ස්ටීවන්ස් අවසන් පූර්ව තරගයේදී අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකා වීනස් විලියම්ස්ව පරාජය කළාය. ඒ තරග වට 2 - 1 කිනි. ලකුණු 1 - 6, 6 – 0, 5 - 7 කිනි. 37 හැවිරිදි වීනස් 2000 සහ 01 අමෙරිකානු විවෘත කේවල ශූරියයි.
අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියේදී ස්ටීවන්ස් දැක්වූ දස්කම් සැබවින්ම අගය කළ යුතුය. ඒ ඇය පසුගිය කාලයේදී පාදයේ ආබාධයකට ලක්වීම නිසා ක්‍රීඩාවෙන් ඉවත් වී සිටි බැවිනි. "පසුගිය වසරේ වැඩි කාලයක් මම ක්‍රීඩා කළේ නැහැ. මට සැත්කමක් කළේ ජනවාරි මාසයේදී. එවිට කවුරු හරි කිව්වා නම් මම අමෙරිකානු ශූරිය වෙනවා කියලා මම කියන්නේ ඒක වෙන්න බැහැ" ස්ටීවන්ස් ශූරතාව දිනා ගැනීමෙන් පසුව පැවසුවාය.
ස්ලොආන් ස්ටීවන්ස් 1993 වසරේ මාර්තු මස 20 වැනිදා උපත ලැබුවාය. ඒ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්ලාන්ටේෂන් නගරයේය. ඇගේ මවුපියන් ක්‍රීඩාවට සම්බන්ධය. පියා වූ ජෝන් අමෙරිකානු වෘත්තියමය පාපන්දු ක්‍රීඩකයෙකි. මේ වන විට ඔහු ජීවතුන් අතර නැත. ඒ 2009 වසරේදී මෝටර් රථ අනතුරකින් හෙතෙම මිය ගිය බැවිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 43 කි. මව වන සීබිල් ස්මිත් පිහිනුම් ශූරියකි. මල්ලී වන ෂෝන් බේස්බෝල් සහ පාපන්දු ක්‍රීඩකයෙකි.
ස්ටීවන්ස් වයස අවුරුදු 09 සිට ටෙනිස් ක්‍රීඩාවේ නිරත වූවාය. අඩි 5 අඟල් 07 ක් උසැති ඇය දකුණතහුරු ක්‍රීඩිකාවකි. ඇය වෘත්තීයමය වශයෙන් තරග කරන්නේ 2010 වසරේ සිටය.
මේ වන විට කාන්තා ටෙනිස් සංගමයේ කේවල ශූරතා 05 ක් සහ අන්තර්ජාතික ටෙනිස් සම්මේලන ශූරතාවයකුත් ස්ටීවන්ස් හිමිකරගෙන තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඇගේ ඉහළතම දස්කම වනුයේ 2013 වසරේදී අංක 11 තැන හිමිකර ගැනීමයි.
මේ අතර නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ටීවන්ස්ට අංක 17 හිමි වී තිබේ. ඒ ස්ථාන 66 ක්ම ඉදිරියට පැමිණීමට ඇයට හැකි වූ බැවිනි. ඊට මූලිකවම බලපෑවේ 2017 අමෙරිකානු විවෘත කේවල ශූරිය වීමයි.










