ක්‍රීඩා ඇමැතිතුමාට දෙකක් කියන්න තියෙනවා සුනිල් ගුණවර්ධන - ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු | සිළුමිණ

ක්‍රීඩා ඇමැතිතුමාට දෙකක් කියන්න තියෙනවා සුනිල් ගුණවර්ධන - ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු

බන්දුල ජයමාන්න

ඔලිම්පික් ගිය ආසියානු රන් පදක්කම් දිනපු ක්‍රීඩකයෙක් විදියට මම ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ ආසියානු රන් පදක්කම් දිනූ අයගේ පුහුණුකරු විදියට. ඊට වඩා මම සතුටු වෙන්නේ සුගතදාස මහත්තයා මේ ක්‍රීඩාංගණය ආරම්භ කරලා ප්‍රදර්ශණාත්මක සහාය දිවීමේ කණ්ඩායමට මාව ඇතුළත් කරපු එකට. ඊට පස්සේ මොන්ඩෝ ධාවන පථය විවෘත කරන දවසේත් මට දුවන්න ලැබුණා.

මම මේ අවස්ථාවේ ක්‍රීඩා ඇමැතිතුමාට දෙකක් කියන්න කැමැතියි. මේ වෙලාවේ මලල ක්‍රීඩාව මහා කඩාවැටීමකයි තියෙන්නේ. ඒකට මූලිකම හේතු වුණේ මේ සුගතදාස ක්‍රීඩාංගණයයි. දැන් අවුරුදු දෙකතුනක හතරක පහක ඉඳලා අපේ ළමයි ජාත්‍යන්තරයට යනවා. අපි එහෙ ගිහින් තරග කරන්න ගියාම තණකොළ පිටියක හරි මැටි පිටියක දුවලා හරි කැඩිච්ච පිටියක දුවලා හරි අනේ දෙයියනේ, චීනයම පරාජය කරන්න කියන්නේ ඇයි?

එහෙම කරන්න බෑ

මේ ළමයින්ට එහෙම කරන්න බෑ. පසුගිය කාලය ම අපට තිබුණු ලොකුම ගැටලුව ක්‍රීඩා පිටි නැති එකයි. අනිත් අතට පහසුකම් නැතුව දිනන්න බෑ. අපේ රටට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ලොකුම ජයග්‍රහණ ගෙනත් දීලා තියෙන්නේ මලල ක්‍රීඩාවලින් විතරයි. ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් දිනුවට ක්‍රිකට් කියන්නේ ඔලිම්පික් ක්‍රීඩාවක් නෙවෙයි.

අනෙක් සියලුම ක්‍රීඩා ඔලිම්පික් ගියාට අදටත් ඔලිම්පික් පදක්කම් දෙකයි දිනලා තියෙන්නේ. ඒ මලල ක්‍රීඩාවෙන්.

ආසියානු රන් 10 යි

ආසියානු තරගවල අපි රන් පදක්කම් 10 ක් දිනලා තියෙන්නේ මලල ක්‍රීඩාවෙන් විතරයි. දකුණු ආසියාවේ 52% ක් රන් පදක්කම් දිනලා තියෙන්නේ මලල ක්‍රීඩාවෙන්. ඒ ක්‍රීඩාවට හරි විදියට හරි වෙලාවට පුහුණු වෙන්න ක්‍රීඩා පිටියක් නැත්නම් ඒ ක්‍රීඩාව විතරක් නෙවෙයි, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා අසරණයි.

පසුගිය කාලයේ අපේ හුඟක් ළමයින් විවිධ ආබාධවලට ලක් වුණා. ඒ අයගේ ඉලක්කවලට අපට යන්න බැරි වුණා. පිට්ටනියක් දෙකක් තියාගෙන ඒකත් හොඳටම අබලන් වෙලා තියෙන කොට ජ්‍යෙෂ්ඨයෝ, කනිෂ්ඨයෝ විතරක් නෙවෙයි පාසල් ළමුන් පවා එකට පුහුණුවීම් කරන්න ගිහින් කාටවත් හරියට පුහුණුවීම් කරගන්න බැරි වුණා.

සුසන්තිකා - දර්ශා

සුසන්තිකාලා, දර්ශලා, ශ්‍රියානිලා, සුගත්ලා දුවන කාලයේ ඒ ක්‍රීඩා පිටි වෙන්වෙලා තිබුණේ දක්ෂතම අයට විතරයි. පසුගිය කාලයේ අපිට ක්‍රීඩා පිටි නැති වුණාම ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට ගැහැව්වා.

යුසෙන් බෝල්ට්

මම පහුගිය කාලයේ යුසෙන් බෝල්ට්ගේ පුහුණුවීම් බලන්න ගියා. බෝල්ට්ගේ පුහුණුවීම්වලට ක්‍රීඩා පිටි දෙකක් තිබුණා. එකක් තණකොළ පිටියක්. අනික සින්තටික් ධාවන පථයක් සහිත පිටියක්. ඒකේ දුවන්න දෙන්නේ මීටර් 100 - 200 - 400 දුවන අයට විතරයි.

කඩුලු තරණය, දුර දුවන්න, දුර පනින්න, උස, තුන්පිම්ම ඒ පිට්ටනිවල බෑ. ඒවා වෙන් කරලා. එහෙම හෝ වෙන්කරලා පුහුණුවීම් කරලා තමයි ඒ රටවල් දිනන්නේ. ඒ නිසා සුගතදාස ක්‍රීඩාංගණය මේ ආකාරයෙන් හෝ ලබාදීමට කටයුතු කිරීම අපේ මලල ක්‍රීඩාවට වැදගත්. සුගතදාසය විතරක් මදි අපිට තව ක්‍රීඩාංගණ දෙක තුනක් ඕනා. නැත්නම් මේ ක්‍රීඩාංගණය මොන තරම් හොඳට හැදුවත් රටේ මලල ක්‍රීඩාවට ප්‍රමාණවත් නෑ.

බැනුම්වලින් අඩුවක් නෑ

ටොරින්ටන් සහ තවත් පිට පළාත්වලත් ක්‍රීඩාංගණ හදන්න ඕනෑ. වැඩක් පටන් ගන්නකොට බැනුම් අහන්න වෙනවා තමයි. ඒක අපේ සංස්කෘතිය වෙලා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව අද ගත්තොත් හැමෝම අහන්නේ ක්‍රිකට් කාලද කියලනේ. සෝබර්ස්ලා, රිචඩ්ස්ලා, ගවස්කාර්ලා ලෝකයේ හිටපු කාලයක් තිබුණා. අපේ දක්ෂයෝ අයින් වුණාට පස්සේ යම් පසුබෑමක් ඇතිවුණා තමයි. ඕනෑම රටකට එහෙම කාලයක් එනවා. ඒකට මුහුණ දෙමින් තමයි ඉදිරියට යන්න ඕනා.

අපිට සුගත්ලා, සුසන්තිකාලා, දර්ශලා, ශ්‍රියානිලා හිටපු කාලයක් තිබුණා. ජයග්‍රහණ ගෙනාපු කාලයක් තිබුණා.

සහජ හැකියාව

ක්‍රීඩාව කියන්නේ සහජ හැකියාවෙන් කරන දෙයක්. මේ ක්‍රීඩා කරන ඔක්කෝටෝම සෝබර්ස්ලාවත්, අර්ජුනලාවත් වෙන්න බෑ. මේ ඔක්කෝම දිව්වත් සුගත් කෙනෙක්, සුසන්තිකා කෙනෙක් හොයන එක ලෙහෙසි නෑ. මේක තමයි ඇත්ත. අපේ ක්‍රිකට්වල ගත්තත් මලල ක්‍රීඩාවේ ගත්තත් රත්තරන් වගේ හිටපු ක්‍රීඩකයෝ ටික නැතුව ගියා. මේක එකපාරට හදන්න පුළුවන් දෙයක් නොවෙයි. ටික කාලයක් යනවා. ක්‍රමානුකූලව හදාගෙන ආවේ නැත්නම් මේ කිසි දෙයකින් ගොඩ යන්නවත්, ලෝකය දිනන්නවත් බෑ.

හොඳ ක්‍රිකටර් කෙනෙක් ගත්තත්, මලල ක්‍රීඩකයෙක් ගත්තත් දාහකින් කෙනෙක් වෙන්න පුළුවන් හොඳ ක්‍රීඩකයෙක් වෙන්නේ.

අපේ කාලයේ

පසුගිය කාලයේ ක්‍රිකට්වල වගේම මලල ක්‍රීඩාවෙත් ගැටලු තිබුණා. පහසුකම් ලැබුණා තමයි. ඒවා විසඳා ගනිමින් ඉදිරියට යන්න ඕනෑ. අපේ කාලයේ පිට්ටනි තිබුණෙත් නෑ. මේ වගේ පහසුකම් තිබුණෙත් නෑ. දීපු දෙයක් නෑ. තරගයක් දිනුවොත් අපි වැඩ කරපු තැන්වලින් උසස්වීමක් දුන්නා.

මට මතකයි මායි විමලදාසයි ආසියානු තරග දිනලා ආවාම අපිට ගල්කිස්ස හෝටලේ එක රැයක් ඉඳලා එන්න දුන්නා. මම නම් ගියේ නෑ. විමලදාස දවසක් ඉඳලා ආවා. ඕවා තමයි අපිට තෑගි විදියට ලැබුණු දේවල්.

රිලේ ටීම් එක

අපේ රිලේ ටීම් එකට සහබන්ධුයි - ප්‍රේමචන්ද්‍රයි තේරුණා. ආසියානු තරගාවලිවලට. මායි විමලදාසයි ජර්මනියේ ට්‍රේනින්වලට ගිහින් ආවේ. සහබන්ධුයි, ප්‍රේමචන්ද්‍රයි ඉස්සෙල්ලාම රටකට ගියේත් ඒකට. මේ දෙන්නා අරගෙන ගිහින් තිබුණේ තණකොළ පිට්ටනිවල දුවනකොට දාන ඇණ තියෙන සපත්තු.

මට මතකයි සහබන්ධු ඒ දෙක දාගෙන පිට්ටනියට බැස්සම ඒ ඇණ බැහැලා පිට්ටනියේ හිර වුණා. බොහෝම අමාරුවෙන් ඒක පිට්ටනියෙන් ගලවලා අරගෙන වෙන සපත්තු දෙකක් දාගෙන තමයි දිව්වේ.

ආසියානු වාර්තාව විනාඩි 3:07.40 කට අපි දිව්වේ පහසුකම් තිබිලා නෙවෙයි. ඒක තමයි සහජ හැකියාව කියන්නේ. ඒක අදත් අපේ ක්‍රීඩකයන්ට දුවන්න පුළුවන් නම් අපිට ආසියාවේ තැනක් තියෙනවා. මේක තමයි ඇත්ත.

අපිට සහජ හැකියාව තියෙනවා මේ සහජ හැකියාව තියෙන අය තමයි හොඳ ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ වෙන්නේ. මේ සහජ හැකියාවන් වැඩිදියුණු කරගන්න අපිට පිට්ටනියක් දෙකක් තිබිලා මදි.

මුලින්ම

මම පාසලෙන් ඇවිත් ඉස්සෙල්ලාම දිව්වේ ඕවල් එකේ. ඊට පස්සේ වැඩියෙන්ම රේස් දිව්වේ පොලිස් ග්‍රවුන්ඩ් එකේ. පාසල් තරග ඔක්කොම වගේ දිව්වේ ශාන්ත පීතර ග්‍රවුන්ඩ් එකේ. ඊට පස්සේ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ. එදා එහෙම ග්‍රවුන්ඩ් තිබුණාට, අද අපිට එහෙම ග්‍රවුන්ඩ් නෑ.

අපිට මේ අභාග්‍යයෙන් ඔලුව උස්සලා එළියට එන්න පුළුවන්. අපි හැම වෙලාවේම අපිට තියෙන දේවලින් උපරිම ප්‍රයෝජන ගන්නවා වගේම ඒවා හොඳට බලාගන්නත් ඕනෑ. අපට තියෙන්නේ සුගතදාස ක්‍රීඩාංගණය විතරයි. මේ ක්‍රීඩාංගණයේ වැඩ ටික ඉවර වෙනකොට අලුත් පිට්ටනි දෙකකටවත් යන්න වෙනවා. නැත්නම් මේකත් බේරගන්න බැරිවෙනවා.

බෝල්ට් පුහුණුවීම් කළේ ක්‍රීඩාංගණ දෙකක

 

 

Comments