සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු | සිළුමිණ

සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ මඟ සලකුණු

‘වර්ජිනියා වුල්ෆ්’ නමැති ඉංග්‍රීසි සාහිත්‍ය කතුවරියට අනුව “සාහිත්‍යකරුවාගේ ආදර්ශ රූපය මිනිස් ජීවිතයයි” එයින් ගම්‍ය කෙරෙනුයේ සාහිත්‍යය තුළ මිනිස් දිවිය හා බැඳුණු සියලු බලවේග විවරණය කෙරෙන බවයි. සාහිත්‍යකරුවා සාමාන්‍ය සමාජයේ සාමාජිකයන්ට වඩා නිර්මාණශීලී නිරීක්ෂණයෙන් ද තියුණු වින්දනයෙන් ද හෙබි කෙනෙකි. මේ නිසාම සාහිත්‍යකරුවාගේ ජීවන දෘෂ්ටිය අන්‍යයන්ට වඩා පුළුල් ක්ෂේත්‍රයක පැතිරී පවතී. එයින් ලබා ගන්නා අත්දැකීම් සාහිත්‍යයෙන් නිරූපිතය. එවන් සාහිත්‍යයට සමීප වන සහෘදයාට තමන්ගේ ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි වන අතර ම සියුම් වින්දනයකට පත් කෙරේ. රොබට් ෆ්‍රොස්ට් නමැති ඇමෙරිකානු කවියා පළ කළේ ‘කවියක් පටන් ගන්නේ කියවන්නා ප්‍රීතියෙන් කුල්මත් කරමිනි. අවසන් වන්නේ ඔහුට ඥානය ලබා දීමෙනි’ යනුවෙනි.

ශ්‍රී ලාංකේය සාහිත්‍යය රටේ ද ඉතිහාසයේ ද පමණටත් වඩා වැඩිමාලු වන තරමට ම පරිණත බවින් යුතු වීම ජාතියේ බුද්ධිමතුන්ගේ ඥානයේ විශිෂ්ටත්වය ප්‍රකට කරවන සාධකයකි. ඈත අනුරාධපුරයේ සිට මෑත වර්තමානය දක්වා බිහි වූ සකල සාහිත්‍ය කලාවන් භෞතිකව ගොඩ ගැසුවහොත් සමනොළ කන්ද වැනි කී ගුණයක් විය හැකි ද? සිංහල බස මෙතරම් පොහොසත් බසක් වූයේ අපට උරුම වූ මේ විශිෂ්ට සාහිත්‍යාංග හේතුවෙනි.

සිංහල සාහිත්‍යයේ වර්ගීකරණයක් වෙතට අපගේ අවධානය යොමු කළ විට එහි පුළුල් බව පසක් වෙයි. මේ පිළිබඳ අපේ බොහෝ වියතුන් කර ඇති පර්යේෂණ බොහෝය. පුඤ්චි බණ්ඩාර සන්නස්ගලගේ සිංහල සාහිත්‍යවංශය, මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍යෝදය කතා, චාල්ස් ගොඩකුඹුරගේ සිංහල සාහිත්‍යය, කොත්මලේ අමරවංශ හිමියන්ගේ සිංහල සාහිත්‍ය ලතා, ආනන්ද කුලසූරියගේ සිංහල සාහිත්‍යය 1, 2, 3, 4 කෘති, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ සාහිත්‍ය කතා වැනි කෘති ඒ සඳහා දැක්විය හැකි වැදගත්ම නිදසුන් කීපයකි. මොවුන්ට අනුව සිංහල සාහිත්‍යයේ අංගෝපාංග රාශියකි. එනම් විනය ග්‍රන්ථ, ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ, බුදුගුණ වර්ණනා, ජාතක සාහිත්‍යය, වංසකතා, සන්දේශ කාව්‍ය, උපදේශාත්මක කාව්‍ය, ප්‍රශස්ති හා හටන් කවි, ප්‍රේම කාව්‍යය, ජනකාව්‍ය, ව්‍යාකරණ, නිඝණ්ඩු, ගී කාව්‍ය, මහා කාව්‍ය, ඡන්දෝලංකාර, ශතක කාව්‍ය, ශෘංගාර පද්‍ය, මාල පද්‍ය, නවකතා, කෙටිකතා, නාට්‍ය, සිනමා ආදි ලෙස සරල වර්ගීකරණයක් කිරීමෙන් මේ පිළිබඳ අවබෝධයක් ලද හැකිය.

මෙම සාහිත්‍ය ගමන්මඟ සොයා යන විට හමු වන සන්ධිස්ථාන රාශියකි. විශේෂයෙන් මෙවන් මහා සාහිත්‍යයක් බිහිවන්නට සුදුසු ලෙස හෙළ බස ගොඩනැ‍ඟෙන්නේ. ක්‍රි. පූ. තුන්වන සියවසේ බෞද්ධ ධර්මදූතාගමනයෙනි. සිංහලයාගේ ඉතිහාසය ඊටත් බොහෝ ඈත අතීතයට ගමන් කළ ද වහරන බසෙහි දියුණු ලේඛනයක් පැවැති බවට සාක්ෂි මඳය. එබැවින් සිංහල අක්ෂර කලාව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ විකාශනයකි.

සිංහල අක්ෂර වර්තමාන ස්වරූපය ගනු ලැබූයේ ක්‍රි. ව. අටවන සියවස පමණ කාලයේදීය. බ්‍රාහ්මී අක්ෂරයෙන් ඇරැඹි අපගේ ලේඛන කලාව සෙල්ලිපි මාධ්‍ය වෙමින් අවුරුදු දහසක තරම් කාලයක් විකාශනය වී තිබෙයි. පැරැණිතම ලේඛනය උත්තිය රජුගේ කාලයට අයත් ‘ගමන් උති මහ රජ’ යනුවෙන් මිහින්තලේ කණ්ඨක චේතියෙන් හමුවන ලේඛනයයි. ක්‍රි. පූ. පළමුවන සියවසෙහි සිදු වූ හෙළටුවා ග්‍රන්ථාරූඨකරණයට ද භාවිත වූයේ මෙම බ්‍රාහ්මී අක්ෂර බව කල්පනා කළ හැකිය.

සිංහලයන් බුදුසමය වැලඳ ගැනීම සිංහල සාහිත්‍යෝන්නතියට හේතු වීය. මාර්ටින් වික්‍රමසිංහයන් මේ පිළිබඳ දක්වන අදහස ඉතා වැදගත්ය. සසර දුකින් ගැලවිය හැක්කේ ප්‍රඥා ලාභයෙන් බවත්, භික්ෂුන් බුදුදහම පොදු ජනයාට උගන්වන්ට වෑයම් කිරීමත්, සංඝාරාමය භාෂාව හා ධර්ම ශාස්ත්‍ර උගන්වන ශාස්ත්‍ර ශාලාව බවට පත්වීමත්, බුදුසමය මුහුණ දුන් ඇතැම් අභියෝග හමුවේ ඒවාට මුහුණ දීමේ පියවරක් ලෙසිනුත් මුල් කාලයෙහි බුදුසමය හා සාහිත්‍යය එකට වැඩීම ආරම්භ විය. මෙහි සමාරම්භය ලෙස මාගධී බසින් පැමිණි බුද්ධ ධර්මය හෙළ බසින් සැකසුණු හෙළටුවාවන් දැක්විය හැකිය. “මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළදිව් ඇජුරො හෙළ බසින් තුබූහ” යනුවෙන් දම්පියා අටුවා ගැටපද කෘතියෙහි දැක්වෙන අදහසින් විශද කෙරෙන්නේ හෙළටුවා සාහිත්‍යයක් මෙරට ඇදුරන් විසින් බිහි කළ බවයි. එහෙත් මෙම හෙළටුවා සියල්ල පසුකාලීනව අවිද්‍යමාන වීමෙන් අපගේ මුල්ම සහ අදීන සාහිත්‍යය අපට අහිමි විය.

හෙළටුවාවන් අභාවයට යෑමට හේතුව ලෙස ක්‍රි. ව. පස්වන සියවසෙහි සිදු වූ බුද්ධඝෝෂ හිමියන්ගේ පාලි අටුවාකරණය දැක්විය හැකිය. එය ලෝකය වෙත හඳුන්වා දුන්නේ වී නමුදු ඉන් පසු ලංකාවේ පාලි සාහිත්‍යයක උදාව සිදු වීම නතර කළ නොහැකි වීය. මේ අතරෙහි හයවන සියවසෙහි පළවන අග්බෝ රජුගේ කාලයෙහි සක්දාමල, අසක්දාමල, දැමිය, බෑබිරිය, දළබිසෝය යනාදිව කවීන් රාශියක් සිටි බව මහාවංශයෙහි දැක්වෙතත් ඔවුන් කළ කාව්‍ය රචනා කවරේ ද යන්න හමු නොවේ. හත්වන අටවන සියවස්හි සීගිරියෙහි ලියැවී ඇති කුරුටු ගී සමුච්චය පෙන්වා දෙන්නේ කවිය පිළිබඳ පැවැති උනන්දුවයි. ඒ අනුව දහස් ගණන් කවි පොත් ලියැවෙන්නට ඇති මුත් ඒ සියල්ල පාලි සාහිත්‍යයේ මහිමය ඉදිරියේ වැළලී ගොසිනි. අනුරාධපුර රාජධානිය අවසන අපට හමු වන සිඛවළඳ විනිස, දම්පියා අටුවා ගැටපදය හා සියබස්ලකර දැනට ශේෂ වූ විද්‍යමාන ග්‍රන්ථ වෙයි.

පාලි සාහිත්‍යය පොදු ජනතාවට ළං නොවීමේ ප්‍රතිඵලයක් ලෙසින් දහවන සියවසෙහි අලුත් සාහිත්‍යාංගයක් සිංහලයට එකතු වෙයි. එනම් ව්‍යාඛ්‍යාන සාහිත්‍යයයි. ව්‍යාඛ්‍යාන යනු විවරණයයි. පාලි කෘති පොදු ජනතාව වෙතට රැගෙන යාමට ව්‍යාඛ්‍යානය හොඳ වාහකයක් වීය. ගැටපද, සන්න, පරිකථා, පිටපොත්, සහ විනිස යනුවෙන් ව්‍යාඛ්‍යාන කොටස් පහක් දැකිය හැකිය. මේවා මහනුවර යුගය දක්වා ම විකාශනය විය.

11 වන සියවසින් ඇරැඹෙන පොලොන්නරු යුගය සිංහල සාහිත්‍යයෙහි නිර්මාණාත්මක යුගය විය. එය එසේ වීමට බලපෑ ප්‍රධාන බලවේග දෙකක් වෙතට අපගේ අවධානය යොමු වේ. එනම් හින්දු ආගමික සංකල්ප මුල්බැස ගැනීමත්, බුදු හිමියන් දෙවියෙකු ලෙස දකින්නට එකල වැසියන් දැරූ උත්සාහය, පොලොන්නරු සාහිත්‍යය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. අනෙක් පසින් අනුරාධපුර යුගයේ අවසන සැකසුණු සියබස්ලකරින් සිංහල සාහිත්‍යයට නව මානයක් පෙන්වා දීමයි. එනම් බුදුසිරිත සාහිත්‍යකරුවන්ගේ වස්තු විෂය බවට පත් විය යුතු ය යන නිර්දේශයයි. මේ කාරණා දෙක හේතුවෙන් පොලොන්නරු යුගය බුදුගුණ විෂය කර ගත් නිර්මාණාත්මක යුගයක් ලෙස ඉස්මතු විය.

මෙහි ප්‍රතිඵල රාශියක් සිංහල සාහිත්‍යය වර්ණවත් කරලන්නට සමත් වීය. බුදුගුණ විෂයෙහි අමාවතුර සහ බුත්සරණත්, ජාතක පද්‍ය විෂයෙහි සසදාවත මෙන්ම මුවදෙව්දාවතත්, ව්‍යාඛ්‍යාන විෂයෙහි ධර්ම ප්‍රදීපිකාවත්, වෙසතුරුදාසන්නයත් ජාතක අටුවා ගැටපදයත් මේ යුගයෙහි සිංහල සාහිත්‍යයට එක් වීය.

මෙම ගද්‍ය පද්‍ය ග්‍රන්ථාවලිය ධර්ම සාහිත්‍යය පොදු ජනයා වෙතට සමීප කළ පළමු අවස්ථාව විය. සාහිත්‍යකරණය උදෙසා සිංහලයේ ජනප්‍රිය භාෂා ලක්ෂණ යොදා ගැනීමෙන් බස ද පෝෂණය විය. මාර්ටින් වික්‍රමසිංහගේ අදහස වූයේ පොදු ජනයාගෙන් වෙන් කළ සාහිත්‍යය වූ කලී වැදු මෑණියන්ගෙන් වෙන් කළ දරුවෙකු හා සමාන වන බවයි. ඒ අනුව පොදු ජනතාවගේ බස ද සිතුම් පැතුම් ද සොම්නස දොම්නස් ද හැඬීම් වැලපීම් ආදිය ද සාහිත්‍යයෙන් නිරූපණය විය යුතු බව ඔහු කියයි. එය පළමු වරට ගුරුළුගෝමි ඉටුකළ අතර විදුසක්විති එය වඩාත් ප්‍රබල තලයක් වෙත බුත්සරණ වෙතින් රැගෙන ආවේය. හින්දු ආභාසයට නතු වූ ජනයා වෙත “බුදුන් සරණ යෙමි” යි බුත්සරණ යා යුතු” යනුවෙන් ආමන්ත්‍රණය විදුසක්විති බුත්සරණ ඔස්සේ බුදුගුණ මන්ත්‍රයක් ජප කළේය;

බුදුන්ගේ අතිමානුෂීය ලක්ෂණ නාට්‍යකරුවෙකු මෙන් රඟ දැක්වීය. එයින් නතර නොවූ ඔහු දහම් සරණ හා සඟසරණ ද කරමින් තෙරුවන්ගේ ඒ ගුණ මහිමය සාහිත්‍යයට නැංවීය. බෝසත් සිරිත වෙත ද සාහිත්‍යකරුවාගේ යොමුව මෙකල බිහි වූ පද්‍ය කාව්‍ය දෙකෙන් ප්‍රකට වෙතත් ඒවා සංස්කෘත කවි සමයට අනුගත වීම හේතුවෙන් පොදු ජනතාවගේ කාව්‍ය බවට පත් නොවීය.

උග්‍ර ශිව භක්තිකයෙකු වූ මාඝ විසින් ආක්‍රමණය කළ පොලොන්නරු යුගය අවසන් වන්නේ බෞද්ධ විහාරාරාම සහ පොතපත ආදිය විශාල පීඩාවට ලක් කරමිනි. අනතුරුව දෙවන විජයබාහු දඹදෙණි රාජධානිය ගොඩනඟා ගනිමින් මාඝ ඇතුළු සොළී සේනාව පරාජය කර නෙරපා දමා නැවත වරක් සාහිත්‍යයට තෝතැන්නක් ගොඩනැඟීය. විශේෂයෙන් මෙකල බිහි වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු විශිෂ්ටතම ධර්මධරයකු මෙන්ම සෞන්දර්යකාමියෙකු වීමෙන් දඹදෙණි යුගයේ සාහිත්‍යය බැබළිණි.

සිංහල භාෂාවේ දියුණුව උදෙසා පතිරාජ පිරුවන්පති හිමියන් සිදත් සඟරාව ලිවීමෙන් භාෂාවට වියරණ ග්‍රන්ථයක් එක් විය. සිංහල බසෙහි ජනප්‍රියතාව මෙකල බිහි වූ සද්ධර්මරත්නාවලියෙන් ද, පූජාවලියෙන් ද දිස් වූ අතර, සිංහල බසෙහි විදග්ධ බව කව්සිළුමිණ වෙතින් ප්‍රකට විය. සිංහල කාව්‍යයෙහි මුදුන්මල ලෙසින් ද පිළිගැනෙන කව්සිළුමිණ දෙවන පැරකුම්බාවන්ගේ භාෂා ඥානය මෙන්ම සෞන්දර්ය ඥානය ද ප්‍රකට කෙරෙයි. අනෙක් පසින් මෙම රජතුමාගේ ධර්ම ඥානය විකසිත කෙරෙන විශිෂ්ට ග්‍රන්ථයක් වූ විසුද්ධි මාර්ග සන්නස මෙකල සාහිත්‍යයට එක් වෙයි. එය සිංහල සාහිත්‍යයේ බිහි වූ ගැඹුරුතම ධර්ම ග්‍රන්ථය වෙයි. එය සංස්කරණය කොට නූතන පරපුර වෙත දායාද කළෝ බෙන්තර සද්ධාතිස්ස මහා ස්වාමීන්ද්‍රයෝය.

බුදුරදුන්ගේ ‘අරහං’ ගුණය විෂය කොට බුදු පුත් හිමියන් රචනා කළ පූජාවලිය දෙවන පැරකුම්බාවන් විසින් මගුලැතු පිට තබා දෙපෝයක් තිස්සේ පූජා පවත්වා ශ්‍රී ලංකා රාජ්‍යයෙන් පිදුම් කළේය. එසේ වූ වෙනත් කෘතියක් සිංහල සාහිත්‍යයට නොමැත. මෙකල රාජ සභාවෙහි සිට පොදු ජනයා දක්වා ධර්මය ඉගෙනීමට තිබූ කැමැත්ත පූජාවලියෙන් පෙන්වයි. පූජාවලිය හැරුණු කල්හි දඹදෙණි යුගය අමරණීය කළ පොදු ජනතාවගේ බණ පොත සද්ධර්මරත්නාවලියයි. සිංහල ගද්‍ය ප්‍රබන්ධ අතරෙහි අග්‍රස්ථානය හිමි වන මේ කෘතිය ඔස්සේ සිංහල සාහිත්‍යයේ දේශජ ලක්ෂණ ඉස්මතු කළේය. සිංහලයන්ගේ දිවි පෙවෙත පළමු වරට සාහිත්‍යයෙන් නිරූපණය කරන ගැමි රසවතා ධර්මසේන යතිවරයන් වහන්සේය. මට්ටකුණ්ඩලියට වැරදි අවස්ථාවෙහි ප්‍රතිකාර යෝජනා කිරීම ධර්මසේන යතිවරයන්ට අනුව ආඳා යවා තබාලා වල්පත ගැනීමකි. සාමාන්‍ය ගැමියෝ මට්ටකුණ්ඩලී කථාවම ආඳාගේ කථාවෙන් උගත්හ. මනුෂ්‍යයන්ගේ පොදු දුබලතා සාහිත්‍යයෙන් සුවපත් කළ මහා වෙදැදුරාණෝ ධර්මසේන හිමියෝය.

ස්වර්ණමාලී ඉතිහාසයත්, එහි ශ්‍රේෂ්ඨ නිමැවුම්කරු දුටුගැමුණු නරේන්ද්‍රයාත් වර්ණිත කොට මෙකල පාලි ථූපවංසය රචනා වීම ද විශේෂත්වයක් වන්නේ පසුකාලීනව මෙය සිංහලයට හැරී වංසකතා සාහිත්‍යය එළිය කළ බැවිනි.

දඹදෙණි යුගයෙන් පසු උදා වන කුරුණෑගල සාහිත්‍ය යුගය පොදු ජන සාහිත්‍යය දීප්තිමත් කළ යුගයකි. මෙහි විසූ සිවුවන පැරකුම්බාවන් රසකාමී රජෙකු වීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතක පොත් වහන්සේ අපේ උරුමය බවට පත් වෙයි. සිංහලයාගේ බණ ඇසීමේ ආශාව සහ කැමැත්ත ප්‍රකට කරවන්නේ ද සියලු සාහිත්‍යාංගයන් පෝෂණයට මංපෙත් විවර වන්නේ ද ජාතක පොත හේතුවෙනි. මනුෂ්‍යයාගේ සුන්දරත්වය ද භයංකරත්වය ද, මෝඩකම් මෙන් ම දුෂ්ට කවි ද, කුරිරුකම් හා ආත්ම පරිත්‍යාගයන් ද, මිනිස් සිතේ ගුප්ත බවේ බිහිසුණු ලක්ෂණ ද මානව සමාජය වෙත සාහිත්‍යයකින් විවරණය කෙරුණේ ජාතක පොත සකස් වීමෙනි. ලෝක සමාජයේ විවරණයට හසු නොවූ කවර චරිතයක් නොමැති තරමින් ම ජාතක කතාකරුවාට සමාජය විෂය විය. රීස් ඩේවිස් ලීවේ ලොව විශිෂ්ටතම කතා සංග්‍රහය ජාතක කතා සංග්‍රහය බවයි. දෙසීයක් අවුරුද්දක් ජීවත් වීමෙන් නොලද හැකි මනුෂ්‍ය දිවිය පිළිබඳ අපූර්ව අත්දැකීම් රාශියක් ජාතක පොතෙන් ලැබිය හැකි ය. ජාතක කථාවේ ආභාසයෙන් නූතන සාහිත්‍යකරුවාට ද මිදිය නොහැකි තරම් එය සාහිත්‍යයේ ප්‍රගමනයට දායක වීය.

අනතුරුව උදා වන ගම්පොළ යුගයෙහි ඊළඟ මහා බණ පොත ලෙස සද්ධර්මාලංකාරය ධර්මකීර්ති හිමියන් වෙතින් රචනා වෙයි. දානාදි කුසලයෙහි අනුසස් ප්‍රබලව ගෙන හැර පෑ මෙම ග්‍රන්ථය තත්කාලීන සමාජයේ පිරිහුණු මිනිසුන්ට ධර්මය ගෙන යෑම සඳහා කළ උපක්‍රමයක් දැයි සැක සිතේ. ඒ තරමට ම පිංකම්හි අනුසස් වර්ණිත බැවිනි. එමෙන් ම සිංහල සන්දේශාවලිය ඇරැඹෙමින් මෙකල තිසර සන්දේශය හා මයූර සන්දේශය යන ග්‍රන්ථද්වය ද ලියැවුණේ ගම්පොළ යුගයේදීය.

සිංහල පද්‍ය සාහිත්‍යයට ස්වර්ණමය යුගයක් උදා කළේ කෝට්ටේ සාහිත්‍ය යුගයෙහිය. සිංහලයාගේ පුනර්ජීවන සමයක් ලෙස දැක්වෙන්නේ කෝට්ටේ සවැනි පැරකුම්බාවන් රජ කළ යුගයයි. මහ පඬිවරුන්, මහ පිරිවෙන් බිහිවන මෙකල මහ පොත් පත් ද අප වෙත දායාද වෙයි. මෙකල බිහි වූ කවි පරපුර සුඛිත මුදිත යුගයක ජනතාවගේ ඔද වැඩුණු ප්‍රහර්ෂය මොනවට ප්‍රකාශ කරන්නක් ද? එනිසාම සිංහල සාහිත්‍ය වංශයෙහි පද්‍ය සමය කෝට්ටේ සමයයි. රහල් හිමියෝ ද, වීදාගම හිමියෝ ද, වනරතන හිමියෝ ද වෑත්තෑවේ හිමියෝ ද, රණස්ගල්ලේ හිමියෝ ද මෙකල යති කවි පරපුරේ විශිෂ්ටයෝය.

මේ කවි පරපුර වෙතින් අපූර්ව සන්දේශාවලියක් දැයට දායාද විය. පරෙවි, කෝකිල, ගිරා, හංස හා සැලළිහිණි නමින් සිංහල කවියෙහි අලංකාර රස ගඟුල් නිමැවිය. හෙළ බසෙහි රමණීය බව පසක් කළේය. මේ හැර කාව්‍යශේඛරය නම් මහා කාව්‍යය ද බුදුගුණලංකාරය ද ලෝවැඩ සඟරාව මෙන්ම ලෝකෝපකාරය ද මෙකල පද්‍යාවලියේ මුතු මැණික් බවට පත් වීය. කෝට්ටේ කාව්‍යය වෙනසකට පත් කළ කවියා වෑත්තෑවේ හිමියෝය. සිංහල කවි රස සයුරෙහි නිරහංකාර කාව්‍ය ගුත්තිලයයි. සකු කවියෙන් මිදී දේශීය ජන කවියා විසින් ප්‍රචලිත කෙරුණු කාව්‍ය සම්ප්‍රදාය මනාව විකසිත කළ ගුත්තිලය වෙතින් හමා එන්නේ ධර්ම රසය අබිබවනය කළ සෞන්දර්ය ප්‍රවාහයකි.

කෝට්ටේ යුගයෙහි පද්‍යය ඉතාම මනහර බසකින් හැඩ වෙද්දී ගද්‍යය ගාඪ ලීලාවක් ගත් අයුරු එළුඅත්තනගලුවංසයෙන් ධ්වනිත කෙරෙයි. එහෙත් වීදාගම හිමියෝ මෙම පරිවර්තනය ඉටු කළේ කවර යුගයක වුව බලකාමි රජවරුනට මැති ඇමැතිවරුනට ප්‍රබල උපදේශ ද ගෙනෙමිනි.

සිංහල සාහිත්‍යය කෝට්ටේ යුගයෙන් පසු පසුගාමී වන අයුරු පෙනෙන අතර මහනුවර අවධියේදී සිදු වූ ශාසනික සංශෝධන හේතුවෙන් නැවත වරක් නව සාහිත්‍යයක උදාව සිදු වෙයි. ජාතියේ පිනෙන් සිරිලක ජනිත වූ මහා යුග වීරයාණන් ලෙසින් වැලිවිට සරණංකර හිමියන් භාෂා ශාස්ත්‍ර ඉගෙනීමේ කලාව නැවත ජාතියට හඳුන්වා දීමෙන් මහනුවර සාහිත්‍යය අපට දායාද විය. මහනුවර සාහිත්‍යයේ මාතර අවදිය ලෙසින් විශේෂ සාහිත්‍යයක් ද මෙකල බි‍හිවෙමින් සාම්ප්‍රදායික සාහිත්‍ය ගමන්මඟ මුළුමනින් ම වෙනස් මංපෙත් වෙත අවතීර්ණ වීම හේතුවෙන් නූතන සාහිත්‍යයක උදාව ද ඒ හා සමඟම සිදු වීය. සිංහල වර්ගයාගේ නිර්මාණ උල්පත් වෙතින් ගලා ආ මහා සාහිත්‍ය සාගරයකින් අපි කුල්මල්ව වසමු. නව තාක්ෂණයට කිසිදා ජයගත නොහැකි මානව දයාව ගොඩනු පිණිස මේ මහා සාහිත්‍යයට කළ නොහැක්කක් නොමැත.

Comments