
කෙටිකතාව කියන්නේ මොකක් ද?
මේ සරල ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍යකරුවන්, විචාරකයන් බොහෝ දේ කියා-ලියා තිබේ. සිය-දහස් ගණනින් පොත-පත පළ කර තිබේ. එහෙත් කෙටිකතාවට මෙන් ම කිසිදු සාහිත්‍යාංගයකට නොවරදිනසුලු නිර්වචන සැපයීමට කිසිවකු සමත් ව ඇතැයි අපට නම් නොසිතෙයි. කෙටිකතාව කුමක් දැයි හරියට ම දන්නේ විශිෂ්ට කෙටිකතා බොහෝ සංඛ්‍යාවක් කියවා, රසවිඳ ඇති සහෘද පාඨකයා වන බව ය, අපගේ අදහස වන්නේ.
සැබැවින් ම සාහිත්‍යය සම කළ හැකි වන්නේ සාගරයට නොඑසේනම් සංසාරයට ය. සංසාර ගමනේ ද අගක්-මුලක්, පරක්-තෙරක් සොයා ගැනීම අසීරු ය. සංසාර ගමන, ආත්මය හෝ පුනර්භවය පිළිබඳ ඡායාමාත්‍ර, බොඳ සිතුවම් මිස ඒවායේ පැහැදිලි රූපකයක් දුටුවකු ජීවත්වන්නවුන් අතරේ නම් නොසිටී. එසේ වුව ද විචාරයේ ගෝචර භූමිය වන්නේ ද සාහිත්‍යයයි.
කෙටිකතාව නමින් අද අප හඳුන්වන සාහිත්‍යාංගය ආරම්භ වූයේ දහනව වැනි සියවසෙහිදී යැයි කිව හැකි වෙතත් බොහෝ ඈත අතීතයෙන් ද වඩා දිගු නොවූ කථාන්තර අපට සොයා සපයා ගත හැකි ය. ඒ, ජාතක පොතෙන්, අරාබි නිසොල්ලාසයෙන් හා පංචතන්ත්‍රයෙනි.
කෙටිකතාව ගැන තව-තවත් නිර්වචන සැපයීම විභාගාපේක්ෂකයන්ට මිස අන් අයට එතරම් වැදගත් විය හැකි ද? කෙටිකතාවේ ඒකීය ධාරණාව ගැන අප සිය දහස් වාරයක් කියා-ලියා තිබේ. කෙටිකතාව යනු නවකතාවට වඩා කෙටි වූ ගද්‍ය ප්‍රබන්ධයකි යි කී තරමින් ඊට අර්ථසම්පාදනය වන්නේ නැත. ලෝක සාහිත්‍යයේ ඉතා දිගු නිර්මාණ (කෙටිකතා) මෙන් ම ඉතා කෙටි නිර්මාණ ද වන හෙයිනි. නවකතාවේ මෙන් ම කෙටිකතාවේ ද ජාතභූමිය වන්නේ බටහිර යැයි වැඩිදෙනකු පොදුවේ පිළිගත්ත ද සම්භාව්‍ය සිංහල කතා කලාවෙහි ද ව්‍යක්ත කෙටිකතා ලෙස දැක්විය හැකි අවස්ථා (කතාවස්තු) ඇතැයි පෙන්වා දුන්නෝ ද වෙති. එවැනි කතාවස්තූන් රැසක් ම දක්නට ලැබෙන්නේ ජාතක පොතේ හා සද්ධර්මරත්නාවලියේ වන බව ය, ඔවුන්ගේ අදහස වන්නේ කෙටිකතාව ඒ පැරණි කතාවල ක්‍රම විකාශයකි යි ඔවුහු කියති. මේ කුමන ආකාරයේ අදහස්-උදහස්, මතවාද, තර්ක-විතර්ක පැවැතුණත් ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ කෙටිකතාව නම් වූ සාහිත්‍යාංගයෙන් මනුෂ්‍යයා-පාඨකයා අවශෝෂණය කරගන්නා වින්දනය හා ජීවිත පරිඥානයම ය.
හොඳ කෙටිකතාකරුවකු විය හැක්කේ විශිෂ්ට කෙටිකතා පරිශීලනය කරන්නකුට ය. එහෙත් විශිෂ්ට කෙටිකතා පරිශීලනය කරන සියල්ලෝ ම කෙටිකතා රචකයෝ නොවෙති. ලංකාවේ බිහිවූ හොඳ කෙටිකතා රචකයන් බොහොමයක් මුල් කාලයේදී ආභාසය ලැබුවේ පරිවර්තිත කෙටිකතාවලිනි යි බොහෝ දෙනා කියති. ජගත් කෙටිකතාකරුවන් සිංහල පාඨකයාට හඳුන්වා දී ඇති පරිවර්තකයන්ගේ නාමාවලිය සිහි කරන විට කළුබෝවිල සිරිල් සී. පෙරේරා, කේ.ජී. කරුණාතිලක, පද්මහර්ෂ කුරණගේ, දැදිගම වී. රුද්‍රිගු යනාදී වශයෙන් නම් ගණනාවක් මතකයට නැගෙයි. එහෙත් බොහෝ විදේශීය කෙටිකතා සිංහල පාඨකයාට හඳුන්වාදීමේ ලා පුරෝගාමී මෙහෙවරක නිරත වුණේ කේ.ජී. කරුණාතිලක නම් වූ පරිවර්තකයා ලෙස හැඳින්වීම බොහෝ දුරට නිවැරදි යැයි සිතමු. ‘බිම්ගෙයි සිරකරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ කෙටිකතා’ නම් වූ සුප්‍රකට කෙටිකතා සංග්‍රහය ඔහු විසින් පළකරන ලද්දේ මීට වසර 61කට පෙර (1956) දී ය. ඒ හැරුණු විට ලෝක සාහිත්‍යයේ විශිෂ්ට ලේඛකයන්ගේ නිර්මාණ ඇතුළත් කෙටිකතා සංග්‍රහ ගණනාවක් ඔහු විසින් සිංහලෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
සිංහල කෙටිකතාව කෙරෙහි බලපෑම් කළ විදේශීය කෙටිකතාකරුවන් අතරින් ප්‍රමුඛ වූයේ ඇන්ටන් චෙකොෆ් බව පොදු පිළිගැනීමකි. චෙකොෆ් කෙටිකතාවේත්, නාට්‍යයේත් එතරම් දස්කම් විස්කම් දැක්වූයේ කෙසේ දැයි පුදුම හිතෙන්නේ ඔහුගේ කෙටි ජීවිතයේ මුල් යුගය, ඒ පසුබිම විමසන විට ය. 1860 වසරේ දකුණු රුසියාවේ ටැගන්රෝග් නම් වූ කුඩා නගරයේ දී උපත ලැබූ චෙකෝෆ්ගේ ළමාවිය ගෙවී ඇත්තේ පීඩාකාරී හා අවාසනාවන්ත ලෙසිනි. බරවැඩවල යෙදෙමින් විවිධ දුක්පීඩා ඉවසා දරා ගැනීමට කුඩා චෙකොෆ්ට සිදුව ඇත්තේ ඔහුගේ පියා ඉතා දරදඬු පුද්ගලයකු වූ නිසා ය. වහල් සේවයේ යෙදුණු ඔහුගේ මුත්තා පසුකලෙක මුදල් ගෙවා නිදහස ලැබූවෙකි. නිර්මාණ බීජයක් රෝපණය විය නොහැකි, වියළි රළු පොළොවක මෙවැනි විශිෂ්ට කෙටිකතාකරුවකුගේ සම්භවය සිදු වූයේ කෙසේ දැයි විමසමින් කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයන් ලියූ අපූරු රචනාවක් මෙහිදී මගේ සිහියට නැගෙයි. එය නම් කොට ඇත්තේ ‘ප්‍රවේණිය’ ලෙස ය.
රුසියාවේ
නිකම්ම නිකම් වහලෙක්
මහා ලේඛක
ඇන්තන් පව්ලොවිච් චෙකොෆ්
තනා ලීය.
ඒ ඇන්තන් චෙකොෆ්
තම උපන් බිම වූ
තගන්රොග්හි
පාසලක් ඇති කළේය.
ඒත් ඉන්
චෙකොෆ් සෙවණැල්ලක්වත්
බිහි නොවීය.
(සංකල්පන - 111 පිටුව - කේ. ජයතිලක)
නිර්මාණයේ අරුමය නම් මේ ය. පාසලකට හෝ විශ්වවිද්‍යාලයකට නිර්මාණකරුවකු බිහි කළ නොහැකි ය. නිර්මාණකරුවකු උත්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම අසුවල් ආකාරයෙන් සකස්ව තිබිය යුතු යැයි කීමට කිසිවකුට බැරි ය. එහෙත් නිර්මාණකරුවාට ආවේණික යම් යම් ගතිලක්ෂණ, හුරුපුරුදු ගැන අවධාරණයෙන් පැවසූ විශිෂ්ට නිර්මාණකරුවෝ ද වෙති. රුසියානු මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි වරක් කියා ඇත්තේ කිසියම් නිර්මාණයක් උත්තම හෝ අධම වන්නේ නිර්මාණකරුවාගේ අවංකභාවය මත යැයි කියා ය. ලේඛකයකු තුළ තිබිය හැකි සුවිශේෂ ගුණාංග ගැන මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කියා ඇත්තේ ද මීට වෙනස් කතාවක් නොවේ.
දැනුම ලබන තරමට තමාගේ නොදන්නා කම ද වැඩිවන බව උගත් නිහතමාන ලේඛකයා දකියි. දතයුතු දේවල ඉමක් කොනක් නැති බවත් තමා උගන්නා විෂයය පවා දැනුම ලබන සැටියෙන් පළල් වෙමින් විසාල වන සැටිත් දකින්නේ දැනුම ලබන්නා ය. අනිත් කාරියක් කරන්නාට වඩා ලේඛකයාට නිහතමානය වුවමනාය. නිහතමාන ලේඛකයා තමා දන්නා දේ දන්නකු ලෙස ලියයි. නොදන්නා දේ නොදන්නකු ලෙස උගනියි. සටකපටකම් වෙළෙන්දකුට, දේශපාලනඥයකුට ප්‍රයෝජනවත් විය හැකිය. යම්කිසි උගැන්මක් ගත් අවංක මිනිසුන් උදෙසා පොත් ලියන්නකුට සටකපටකම් නුවුවමනාය. බුද්ධිමත් ජනයා සඳහටම රැවටිය නොහැකිය
(මාර්ටින් වික්‍රමසිංහ - වහල්ලු)
රුසියානු කෙටිකතාව හැරුණු විට ප්‍රංස කෙටිකතාව ද සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ මුල්ඇදුණු ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබේ. ශ්‍රේෂ්ඨ ප්‍රංස කෙටිකතාකරුවකු වන ගී ද මෝපසාංගේ අගක්, මුලක් හෝ මැදක් නැති කතාලතාව මෙන් ම ඒ චරිත නිරූපණය ද සිංහල කෙටිකතා රචකයා කෙරෙහි මහත් බලපෑමක් කළ බව නිසැක ය. ගොගොල්ගේ ‘හිමකබාය’ මෙන් ම මෝපසාංගේ ‘දියමන්ති මාලය’ ද නොකියවූ සිංහල පාඨකයන් සිටින්නේ නම් ඒ අතළොස්සක් පමණකි.
මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූ මුල් ම සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස හැඳින්වෙන්නේ 1924 දී පළ වූ මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගැහැනියක්’ නම් කෘතිය වුව ද විසිවන සියවස ආරම්භයේ පටන් ම සිංහල පුවත්පත් හා සඟරාවල කෙටි ප්‍රබන්ධ කතා පළ වී තිබේ. ඒවා ලියා ඇත්තේ හේමපාල මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ල්යු. ඒ. සිල්වා ආදීන් ය.
මුල් යුගයේ සිංහල කෙටිකතාකරුවන්ට මෝපසාං ආභාසය බෙහෙවින් බලපෑම් කළ බව පෙන්වා දෙමින් ජී. බී. සේනානායකගේ හා මාර්ටින් වික්‍රමසිංහගේ කෙටිකතා කෙරෙහි මෝපසාංගේ ආභාසය බලපෑ අන්දම ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් වරක් විස්තර කොට ඇත්තේ මෙසේ ය.
‘මාර්ටින් වික්‍රමසිංහ සහ ජී. බී. සේනානායක යන කතුවරුන් දෙදෙනා චරිත නිරූපණය සම්බන්ධයෙන් මෝපසාන් විසින් දක්වන ලද අවධානය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූහ.
සැබැවින් ම ජී.බී. සේනානායක වූ කලී ස්වකීය කතාකලාවෙහිලා සිද්ධි සහ චරිතවල පරිසමාප්තිය කෙරෙහි අතිශයෙන් ම සැලකිලිමත් වූ ලේඛකයෙකි. ඔහුගේ කතාව කොතරම් පරිසමාප්ත ද යත් එම කතාව විවරණය කිරීම සඳහා වුවත් එහි වරපට ලෙහීම අතිශයින් ම දුෂ්කර ය. ජී.බී. සේනානායකගේ බොහෝ කතාවල මෝපසාංන්ගෙන් ලබන ලද එකී හොඳ ආභාසය දැකිය හැකිය.
(මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා විමසුම ප්‍රවේශයෙනි - ඩබ්ලියු.ඒ. අබේසිංහ)
ජී. බී. සේනානායකන්ගේ ‘නිධානය’ නම් වූ (ප්‍රමාණයෙනුත් ඉතාම කෙටි වූ) කෙටිකතාවට ලෝක ප්‍රසිද්ධියක් අත්වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් එය සිනමාවට නැගූ නිසා ය. එයින් ද ප්‍රකට කෙරුණේ සිනමාකරුවකුට වඩාත් සිනමාරූපීව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නවකතාවට වඩා උචිත වන්නේ කෙටිකතාව වන බව ය.
කෙසේ වුව ද මේ පොළොවේ ශක්තිමත් ලෙස මුල් ඇදී ඇති වෙනත් විදේශීය කෙටිකතාවලට සමගාමී ව එක් අතකින් අපට මගහැරුණේ දැයි සිතෙන්නේ ජපන් කෙටිකතාව හා ඉන්දියානු කෙටිකතාව ය. නොබෙල් ත්‍යාගලාභී ප්‍රථම ආසියාතිකයා වන රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කෙටිකතා බොහෝ ප්‍රමාණයක් සිංහලට පරිවර්තනය වී ඇතත් ඒවා බහුතරයකගේ අවධානයට හෝ ඇගැයීමට ලක්වූ බවක් පෙනෙන්නට නැත. සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් දෙවන ආසියාතිකයා වන කවබත යසුනරි නම් වූ ජපන් ලේඛකයාගේ අපූරු කෙටිකතා සම්බන්ධයෙන් කිව යුත්තේ ද ඒ ම ය. ජපන් සංස්කෘතියේ සාරය ඉතා සියුම් ලෙස උකහා ගන්නා කවබත විසින් සිය කුඩා ප්‍රමාණයේ කෙටිකතා හඳුන්වන ලද්දේ ‘තනගොකොරො නො ෂෝසෙත්සු’ නමිනි. ඒවා ජපන් බසින් සිංහලට පරිවර්තනය කළ මහාචාර්ය ආරිය රාජකරුණා කියයි. එහි අර්ථය ‘අල්ලක ප්‍රමාණයේ කතාන්දර’ යනුයි.
ජපන් කෙටිකතාකරුවන් සිය කතාවස්තූන් පිඬුකොට, කැටිකොට, ගුලිකොට දක්වන සුවිශේෂ ආකාරය, ඒ මෝස්තරය පිළිබඳව විස්මයක් මා තුළ හටගැනුණේ මහාචාර්ය ආරිය රාජකරුණා විසින් සංස්කරණය කරන ලද ‘අසලියා මල් සහ තවත් ජපන් කෙටිකතා’ සහ ‘ෂිග විහාරයේ මහතෙරුන් වහන්සේගේ ප්‍රේමය’ (කලින් ඉෂ්ටාර්ථසිද්ධිය) නම් වූ කෘතීන් කියවීමෙන් පසුව ය. සාම්ප්‍රදායික ජපන් කවියට ආවේණික සංක්ෂිප්ත භාවය ජපන් නිර්මාණකරුවන් කෙටිකතාවට ගළපාගෙන ඇති සූක්ෂ්ම ආකාරය විශිෂ්ට යැයි ද, ලෝකයේ වෙනත් කිසිදු රටකින් බිහිවූ කෙටිකතාවලට ඒවා දෙවෙනි නොවන්නේ යැයි ද තවමත් මම අවංකව ම විශ්වාස කරමි. ‘අසලියා මල්’ කෘතියේ එන ‘මිදි පොකුර’ හා ‘බළලෙකුගේ කතන්දරය’ යන කෙටිකතා දෙක සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඉංග්‍රීසියෙන් නොව මුල් ජපන් බසෙනි. මේ පරිවර්තකයා මහාචාර්ය ආරිය රාජකරුණා ය. මේ කතාවලින් වහනය වන නලමුදු සුවඳ ඒවා කියවන්නාගේ හදවත් තුළට කිඳාබැස, සුගන්ධවත් තෙතමනයකින් හදවත පොඟාලන බව ය, මගේ අදහස වන්නේ. සොබාදහමේ සංසිද්ධීන් (රතුපාට මල් පිපෙන උමෙගස වැනි කෙටිකතා) මෙන් ම තිරිසන් සතුන් ද සිය නිර්මාණයට වස්තු විෂය කරගන්නා ජපන් කෙටිකතාකරුවා ඒ ඔස්සේ විශද කරන්නේ සියුම් ජීවන සත්තාවකි. ලෝක සත්තාවකි. අපරදිග කෙටිකතාව අන්ධානුකරණයට සූදානම් නොවූ මේ කෙටිකතාකරුවන් පෙරඅපර දෙදිග කෙටිකතාවෙන් ආභාසය ලබා නවමු කෙටිකතා කලාවක් ගොඩනංවා ගෙන ඇත්තේ දේශීය ලක්‍ෂණවලින් ද නොතොරව ය.
‘අසලියා මල්’ කෘතියේ එන බළලාගේ කතන්දරයට ප්‍රස්තුත වන්නේ කාමරයක් කුලියට ගෙන හුදෙකලාව ජීවත්වන ළමයකු හා බළලකු අතරේ ඇතිවන සහසම්බන්ධයයි. ළමයා බළලාට නම් තබන්නේ ‘කරෝ’ කියායි. දිනක් කවුළුවෙන් පිටත බලා සිටින ළමයාට කරෝ පාර මාරුවනු පෙනෙයි. තත් නිමේෂයක් තුළ වේගයෙන් පැමිණි වාහනයකට යටවන බළලාට අත්වන්නේ ශෝකජනක මරණයකි. උමෙශකි හරුඔ නම් වූ ජපන් කෙටිකතාකරුවා මේ අවස්ථාව නිරූපණය කරන්නේ පාඨක සිත්සතන් කම්පනයට පත්කරමිනි.
අඳුරු අහස යට, පුළුල් මහ පාර මැද, උගේ චප්ප වූ මළකඳ කඩමාල්ලක් සේ වැතිර තිබුණි. එය දුටු විගස හඬා වැලපීමට ඇති වූ හැඟීම යටපත්කර ගනිමින් කම්පනය මැඩ ගනිමින් ඔහු අයා ගත් දෙනෙතින් ද සැලෙන දෑතින් ද යුතුව සිටියේ ය.
එදින රාත්‍රියෙහි ඔහු ඇතිරිල්ල තුළට වැදී බොහෝ වේලාවක් හඬමින් හුන්නේ ය. තමා බළලාට මහත් ඇල්මකින් සිටි බවක් ඔහු මෙතෙක් කල් දැන සිටියේ නැත. ගලා එන කඳු`ඵ අතරින්, ජීවමාන ව සිටි උගේ රූපය මැවී පෙනී, ඔහු තව තවත් අඬන්නට විය. එවිට ම මෙන් වැස්ස වහින්නට පටන් ගත්තේ ය.
(අසලියා මල් සහ තවත් ජපන් කෙටිකතා - සංස්කරණය: ආරිය රාජකරුණා - 238-239පිටු)
බළලාගේ මරණයෙන් දෙවෙනි දිනයේ ළමයා තුළ හටගැනෙන වේදයිතයන් කතුවරයා වචනයට නගන්නේ මෙසේ ය.
එදින ඔහු කවුළුව අසල පුටුවක් තබා ගෙන මු`ඵ දවස පුරා ම පාර දෙස බලා ගත් ගමන් සිටියේ ය. රථ වාහනත් සමග ම කරො ගේ මළ සිරුරෙහි කොටසුත් අතුරුදහන් වීම ඔහුට කෙසේ වත් ඉවසා ගෙන සිටිය නොහැකි විය. දිවා කාලයෙහි සිය ගණනක් රථවාහන උගේ සිරුර උඩින් ගමන් කළේය. එකී රථවාහන අතර දර්ශනීය මෝටර් කාර් ද ගැස්සෙන ට්‍රක් රථ ද මෝටර් බයිසිකල් ද විය. කලාතුරකින් මිනී කාර් ද දක්නට ලැබිණි. ඒවා, බළලාගේ සිරුරෙහි කොටස් ටිකින් ටික ඩැහැගෙන පලා යනු පෙනිණි. එවිට ඔහු දෑතින් ම මුහුණ වසා ගත්තේ ය.
(අසලියා මල් සහ තවත් ජපන් කෙටිකතා - සංස්කරණය: ආරිය රාජකරුණා - 241 පිටු)
‘අසලියා මල් සහ තවත් ජපන් කෙටිකතා’ කෘතියේ එන ඉනොඋඑ යසුෂිගේ නිර්මාණයක් වන ‘අසලියා මල්’ කෙටිකතාව සිංහලට පරිවර්තනය කර ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. ‘මේ ජපන් කෙටිකතාව සිංහලට නැගීම සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට තමා විසින් තෝරා දෙන ලද්දේ කෙටිකතාවේ නිරූපිත මහාචාර්යවරයාගේ චරිතයේත්, සරච්චන්ද්‍ර චරිතයේත් වන ඇතැම් පොදු ලක්ෂණ තමාට ඉව වැටුණ හෙයිනි’ යි පොතේ ප්‍රස්තාවනාවෙන් මහාචාර්ය රාජකරුණා කියයි.
‘රතුපාට මල් පිපෙන උමෙගස’, ‘කිරිල්ලී’, ‘අපායේ දොරටුව’, ‘ෂිග විහාරයේ තෙරුන් වහන්සේගේ ප්‍රේමය’, ‘හංගේ අපරාධය’ වැනි ජපන් කෙටිකතා කියවූවකුට විචාර, විමර්ශන කිසිවකින් ලැබිය නොහැකි ආකාරයේ වැටහීමක් කෙටිකතාව පිළිබඳ තුන්වන ඇසක් නිසැකව ම සම්පාදනය වන බව ය, මගේ වැටහීම වන්නේ. මේ කෙටිකතා සිංහල පාඨකයාට හඳුන්වා දීමේලා මහාචාර්ය ආරිය රාජකරුණා මෙන් ම ජයන්ත විමලසේනයන් ද ඉටු කර ඇති මෙහෙය ප්‍රශංසනීය ය.
හේමපාල මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ල්යු. ඒ. සිල්වා ආදී ලේඛකයන්ගේ පුරෝගාමීත්වයෙන් යුතුව ඇරඹුණ සිංහල කෙටිකතා කලාව ඉන් අනතුරුව ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම, දයාසේන ගුණසිංහ, ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ වැනි ප්‍රවීණයන් අතින් විවිධ මංපෙත් ඔස්සේ ඇදීගොස් විසිතුරු වර්ණ ගැන්වී මේ වන විට ප්‍රවිෂ්ටව ඇත්තේ නවමු හා අමුතු ඉසවුවකට ය.
අද දවසේ කැපී පෙනෙන කෙටිකතාකරුවන් වන නිශ්ශංක විජේමාන්න, පියල් කාරියවසම්, ප්‍රභාත් ජයසිංහ මෙන් ම කෙටිකතා කලාව උඩුයටිකුරු කරන්නේ දැයි සිතෙන මංජුල වෙඩිවර්ධන ද සිය වියමන් සඳහා ගුරුහරුකම් ලබා ඇත්තේ කවර නම් කෙටිකතා කලාවකින් දැයි හරියට ම කියන්නට බැරි ය. ඔවුන්ට පෝෂණ පදාර්ථ එන්නත් කළ දේශීය හෝ විදේශීය කෙටිකතාකරුවන් ඇත්තේ ද යන්න අවිනිශ්චිත ය. එසේ වුව ද ඒ බොහෝ කෙටිකතා පෙර නෑසූ විරූ ය. ඒවා කියවන පාඨකයා අත්විඳින්නේ නුහුරු නුපුරුදු වින්දනයකි. මංජුල වෙඩිවර්ධන මෑතකදී ලියූ ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ සඳහා පූර්වාදර්ශයක් සැපයුණේ කොතැනින් දැයි සිතන විට ඩබ්ලියු. ඒ. අබේසිංහයන්, ජී. බී. සේනානායකයගේ කෙටිකතා අරබයා කී කතාවක් යළි මතකයට නැගෙයි.
ඔහුගේ (ජී. බී. සේනානායකගේ) කතාව මොනතරම් පරිසමාප්ත ද යත්, එම කතාව විවරණය කිරීම සඳහා ම වුවත් එහි වරපට ලෙහීම අතිශයින් දුෂ්කර ය.