අපේ රටේ පසින් බිහි වුණු අදීන චින්තනයක් අපට නැහැ | සිළුමිණ

අපේ රටේ පසින් බිහි වුණු අදීන චින්තනයක් අපට නැහැ

ආචාර්ය ගුණදාස අමරසේකර මෙරට සිටින ප්‍රාමාණික සාහිත්‍යධරයන් අතර ප්‍රමුඛ පෙළේ සිටින්නෙකි. කවිය, නවකතාව, ශාස්ත්‍රීය පර්යේෂණ, විචාර කලාව ඈ නන්විධ ක්ෂේත්‍රයන්හි නිපුණ එතුමා, දැනට දශක අටක පමණ කාලයක් තිස්සේ මෙරට සාහිත්‍ය කලාවේ විවිධ විපර්යාසයන් දෙස විමසුම් සහගත ව බලා සිටින්නේ ය; හැකි සෑම විට ම ඒ ගැන අදීන ව කතා කරන්නේ ය. නිදහසින් පසු ලංකාවේ සාහිත්‍යය ගමන් කළේ කොතනකට ද යන්නත්, අප ස්වාධීන මනසක් සහිත නොවීම මේ පරිහානියට කෙතරම් බලපෑම් කරන්නේ ද යන්නත් ගැන මේ සංලාපයේ දී එතුමා අවධාරණය කරයි.

• සාහිත්‍යය ලෙස අප අර්ථකථනය කරගන්නේ කුමක්ද?

ඕනෑ ම රටක ජීවත්වන මිනිසුන්ගේ මනස පිළිබිඹු කරන කැඩපත වන්නේ සාහිත්‍යයයි. ඒක ජනතාවගේ සංස්කෘතික ප්‍රකාශනයක්. එක එක රාජ්‍ය සමයන්හි ඇතිවන ප්‍රවණතා, වෙනස්කම් අවබෝධ කරගන්න නම් ඒ යුගයේ ඉන්න මිනිසුන්ගේ මනය ක්‍රියාකරන ආකාරය අවබෝධ කරගන්න ඕන.

• නිදහස ලැබීමට පෙර යුගයේ සාහිත්‍යකරණය පිළිබඳ ඔබ කවර මතයක් ද දරන්නේ?

මෙය යුග කිහිපයක් ඔස්සේ සාකච්ඡා කළ හැකියි. පළමු යුගය තමයි නිදසට පෙර යුගය. ඊළඟට 1948 ඉඳන් 1956 වන තෙක් යුගය. ඊට පස්සේ 1956 සිට 1977 දක්වා යුගය. අන්තිමට 77 න් පස්සෙ අද දක්වා යුගය. වඩා නිවැරැදි ව කතා කරන්න නම් මේ ලෙස යුග‍ බෙදා ගත යුතු යැයි මට සිතෙනවා.

• එසේ නම් පළමුව නිදහසට පෙර යුගයේ සාහිත්‍යකරණය ගැන කතා කරමු.

මේ යුගය දිහා බැලුවහම අපට පේන එක දෙයක් තමයි වර්තමාන සාහිත්‍ය කියන එක. අපට හිටපු හොඳ ම නවකතාකරුවන් දෙන්නා වූ පියදාස සිරිසේන හා මාර්ටින් වික්‍රමසිංහ පහළ වුණේ නිදහසින් පෙර යුගයේ.

• ඩබ්. ඒ. සිල්වා මේ යුගයේ පහළ වූ තවත් විශිෂ්ට නවකතාකරුවකු යැයි මට සිතෙනවා.

ඔව්. ඩබ්. ඒ. සිල්වාත් ගත හැකියි. නමුත් අර දෙන්නා ඒ යුගයේ ඉතා ප්‍රමුඛ මෙහෙයක් කළා. ඒ කාලේ මේ රට පාලනය කළේ විජාතිකයන් සහ අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ මේ රටේ කොම්ප්‍රදෝරු විජාතික පන්තිය. අධිරාජ්‍යවාදීන් මේ රටේ බිහි කළා විජාතිකකරණය වුණු පිරිසක්. ඉංග්‍රිසියෙන් හිතන, බටහිරට ගැති, තමන්ගෙකම නැති පිරිසක්. ඒ අයත් අධිරාජ්‍යවාදනුත් තමයි ඒ කාලේ ආධිපත්‍යය දැරුවේ.

• මේ මතවාද ප්‍රතික්ෂේප කරමින් හා ඊට විරෝධය පාමින් පියදාස සිරිසේන, එස්. මහින්ද හාමුදුරුවෝ වගේ නවකතාකරුවන්, කවීන් බිහි වුණා.

ඔව්. සිංහල සාහිත්‍යය කියලා ඒ කාලේ මේ මතවාදවලට විරුද්ධ පිරිස වෙන ම සාහිත්‍යයක් ගොඩනැඟුවා. බහුතර ජනතාව හිටියේ මේ සාහිත්‍යකරුවන් අතරේ. ඔවුන් අතේ තමයි මේ සාහිත්‍යය බිහි වුණේ. සම්පූර්ණයෙන් ම මේ සාහිත්‍යකරණයේ අරමුණ වුණේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමයි.

පියදාස සිරිසේනගේ සියලු ම නවකතාවලිනුත්, මාර්ටින් වික්‍රමසිංහගේ ‘මිරිඟු දිය’ වගේ නවකතා‍වකිනුත් මේ තත්ත්වය පැහැදිලි වෙනවා. ඒ යුගයේ ඇතිවුණු ජාතික ප්‍රබෝධය නිසා තමයි මේ නවකතාකරුවන් බිහිවුණේ. ඒ ජාතික ප්‍රබෝධයට ඒ යුගයේ මුල් වුණේ අනගාරික ධර්මපාලතුමාගේ චින්තනයයි, ඒ ජාතික විමුක්ති ව්‍යාපාරයයි. ඒ නිසා සුළු පිරිසක් ආධිපත්‍යය දැරුවත් නිදහසට පෙර යුගයේ ජාතික පුනර්ජීවන විමුක්ති සටන ඇසු‍ෙර් අපට සිංහල සාහිත්‍යයක්, නවකතාවක් බිහිවුණා.

පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ විතරක් නොවෙයි, මුනිදාස කුමාරතුංග, එස්. මහින්ද හිමි වගේ කවියොත් බිහිවුණා. ඒ යුගයේ තමයි වර්තමාන සිංහල සාහිත්‍යයේ ආරම්භය පටන් ගත්තේ. මේ සාහිත්‍යයේ ප්‍රධාන ලක්ෂණය තමයි අර අධිරාජ්‍යවාදී සටනට සහය දීම.

• පියදාස සිරිසේනයන් හා මාර්ටින් වික්‍රමසිංහයන් මේ සටන ගෙන ගිය ක්‍රමවේදය එකිනෙකට වෙනස් නොවේද?

පියදාස සිරිසේන ප්‍රචාරකවාදී සාහිත්‍යයකයි නිරත වුණේ. මාර්ටින් වික්‍රමසිංහ ඊට වඩා ප්‍රබුද්ධ චින්තනයකින්, නිර්මාණශීලී ලෙස මේ සටන අරගෙන ගියා. වික්‍රමසිංහගේ ‘ගම්පෙරළිය’ පිටවුණෙත් 1944 දි. ඊට කලින් කළ ‘මිරිඟු දිය’ මඟිනුත් මේ ගැනයි කතා කරන්නේ. මෙන්න මේ යුගයේ තමයි ජාතික විමුක්ති ‍ව්‍යාපාරයක් පටන් අ‍රගෙන සිංහල සාහිත්‍යයකුත් බිහිවුණේ.

• මේ කාලයේ ම වෙන ම කවි සම්ප්‍රදායකුත් බිහිවුණා නොවේද?

ඔව්. එස්. මහින්ද හාමුදුරුවෝ, මුනිදාස කුමාරතුංග වගේ කවියෝ ප්‍රබල වශයෙන් අධිරාජ්‍ය විරෝධී සටනට මූලිකත්වය දුන්නා. ජනතාවගේ ජාතික ආලය වඩවන්න මේ කවි ප්‍රධාන වශයෙන් බලපෑවා. තමන්ගේ රට, ජාතිය, ආගම, භාෂාව ගැන මිනිස්සුන්ට ඇල්මක්, කැක්කුමක් ඇතිකරන්න මහින්ද හාමුදුරුවන්ට වගේම කුමාරතුංගයන්ටත් හැකි වුණා.

• 48 නිදහස ලැබීමත් සමඟ 56 දක්වා කාලවකවානුවේ සාහිත්‍ය ගමන් මඟ ගැන ඔබේ අදහස?

48 ලැබුණු නිදහස අර ජාතික ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණක් නොවෙයි. ඒ නිදහස අර මැකෝලි සාමිගෙ දරු පරපුරේ බමුණු කුලය විසින් පවත්වා ගෙන ආපු ආධිපත්‍යයෙන් යුතු යුගයක්. ඔවුන් කිසිම විදියකින් සිංහල බහු සංස්කෘතිය පිළිබඳ ඇල්මක් අවධානයක් තිබුණු පිරිසක් නොවෙයි. සිංහලයෙන් ආණ්ඩුකරන්නත් බෑ කිව්වා. ඩී.එස්. සේනානායක වගේ කෙනෙක් කිව්වේ සිංහලය රාජ්‍ය භාෂාව කරනවා නම් වෙන පාලකයෙක් පත්කර ගන්න කියලයි. ඔවුන් කළේ ඔවුන්ගේ ස්වාමිවරුන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමයි. ඒ අතින් බැලුවම බොරු නාමික නිදහසක් අපට ලැබුණේ. ඉංග්‍රීසි කතාකරන බමුණු කුලයක් බිහිකරලා ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා ගෙන ගිය වැඩපිළිවෙළක් මිසක් රටේ බහුතර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ හෝ වුවමනා එපාකම් උදෙසා ගෙන ගිය වැඩපිළිවෙළක් ඔවුන්ට තිබුණේ නැහැ. මේ රටේ ඉන්න බහුතර ජනතාව ගැන ඔවුන් හිතුවේ අප්‍රිකාවේ කොලනියක ඉන්න මිනිස්සු වගේ සංස්කෘතියක් සභ්‍යත්වයක් නැති, භාෂාවක් නැති ජන කොසක් ය කියලා. 48 ඉඳන් 56 දක්වා ම මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුණා. ඉතින් ස්වාධීන සාහිත්‍යයක් බිහිවුණේ නැහැ.

• 56 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමඟ බණ්ඩාරනායක රජය යටතේ යළිත් දේශීය සාහිත්‍ය, සංස්කෘතික පුනර්ජීවනයකට මංපෙත් හෙළි වුණා යැයි ඔබතුමා සිතනවද?

56 වෙන කොට අර නිදහසට පෙර යුග‍යේ අනගාරික ධර්මපාලතුමා ගෙන ගිය චින්තනයේ ප්‍රභාව දෙවැනි වරටත් මතු වුණා. ඇත්ත වශයෙන් ම 56 බණ්ඩාරනායක ජයග්‍රහණයෙන් පෙන්වන්නේ මේක බණ්ඩාරනායක ම කරපු දෙයක් කියලා නොවෙයි. අනගාරික ධර්මපාලතුමා කරපු ජාතික ව්‍යාපාරයේ ම එක්තරා අවස්ථාවක් ලෙසයි මට මෙය පෙනෙන්නේ. 56 ආව රජය පැවති තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා රටේ භාෂාවට තැනක් දුන්නා. සිංහල භාෂාවෙන් රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත්තා. සිංහලෙන් ඉගැන්වීම පටන් ගත්තා.

• විද්‍යෝදය හා විද්‍යාලංකාරය විශ්වවිද්‍යාල බවට පත් කිරීමත් ඉතිහාසයේ සංධිස්ථානයක්.

ඔව්. එය විශාල කාර්යයක්. ඒ වගේම බහුතර ජනතාවගේ ඇඳුම, සංස්කෘතිකාංග එළියට ආවා. මේක බහුතර ජනතාවට ඉතාමත් සතුටට කාරණයක්. සල්ලි තියෙන පිරිසක් රට ගිහිල්ලා ඉගෙනගෙන ආවට බහුතර සාමාන්‍ය මිනිස්සුන්ට විශ්වවිද්‍යාලයකට යන්න තරම් ලැබුණේ මේ විශ්වවිද්‍යාල නිසයි. භාෂා සාහිත්‍යයික ප්‍රබෝධයට එයත් බලපෑවා.

• පළමු වතාවට සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටුවීමත් සාහිත්‍ය කලා පුනර්ජීවනය සම්බන්ධයෙන් බලපෑම් කරන්නට ඇති.

ප්‍රථමයෙන් සංස්කෘතික අමාත්‍යාංශයක් ඇතිකිරීම වැදගත්. ඒ වගේම සාහිත්‍ය දිනයක් නම් කළා. සඟරාවක් නිර්මාණය කළා. සැප්තැම්බරයේ රටේ තැන තැන විවිධ සාහිත්‍ය උත්සව පැවැත්වුණා. මට මතකයි මේ කාලේ විශාල ප්‍රබෝධයක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජන සම්ප්‍රදාය මුල් කරගත් ‘මනමේ’ වගේ නාට්‍යයක් බිහිවුණා. පාරම්පරික දැනුමට ඉහළ තැනක් ලැබුණා. ඒ වගේ විශාල අනන්‍ය සංස්කෘතියක් ගොඩනැ‍ඟෙන්න අඩිතාලම වැටුණා. 56 තිබුණු ඒ පෙරළිය 77 වෙනකල් තිබුණා. 77 න් පස්සේ ආයෙත් මේක කඩාගෙන වැටුණා.

• 77 විවෘත ආර්ථික ක්‍රමය දේශීය චින්තනය, සාහිත්‍යය යළිත් දෙවන පෙළට ඇද දැමුවා.

ඔව්. සම්පූර්ණයෙන් ම අර තිබුණු ප්‍රබෝධය කඩන් වැටුණා. යටපත් වෙලා තිබුණු 48ට ෙපර පැවැති විජාතික චින්තනය, බලවේග යළිත් හිස ඔසවන්න පටන්ගත්තා. 77 ඉඳන් අද වෙනකම්ම තියෙන්නෙ ඒ බලවේග විසින් ඇති කරන ලද සංස්කෘතිය හා සාහිත්‍යය. ආණ්ඩු වෙනස් වුණාට මේ තත්ත්වයේ වෙනසක් වුණු බවක් අපිට පේන්න නැහැ.

මේ වන විට රටේ කිසිම හරවත් සංස්කෘතියක්, මතවාදයක්, සාහිත්‍යයක්, විචාරයක් නැහැ. නවකතාව ටෙලි නාටකයක් වෙලා. කවිය, සින්දුවක් වෙ ලා. හැමදේම සරල, ක්ෂණික, ජනප්‍රිය පහත් මට්ටමේ දේවල් බවට පෙරළිලා තියෙනවා.

• මේ විග්‍රහයේදී මට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි මෙහෙම වෙන්න හේතුව?

ඔබ මගෙන් නැඟූ ප්‍රශ්නය අහන්න හොඳම වෙලාව මේකයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බලන කොට අපිට පේනවා මෙහෙම දෙයක්.

56 දි අපි කිව්වනේ ජාතික පුනර්ජීවනයක් ඇතිවුණා කියලා. ඒ සංස්කෘතික පුනර්ජීවනය බාහිරව ඇතිවුණු පුනර්ජීවනයක් ද කියන ප්‍රශ්නය මතුවෙනවා. අපි කලිසම කබාය ගලවලා රෙද්ද බැනියම ඇන්දට අපේ අධ්‍යාත්මය, මනස වෙනස් වුණාද? අපි සිංහලෙන් කාර්යය කළාට අපේ චින්තනය වෙනස් වුණාද? එහෙම වෙනසක් වුණා නම් 77 සිදුවෙච්චි දේ සිදුවෙන්න බැහැ. මෙන්න මේක තමයි අපි අද තේරුම් ගන්න ඕන.

 

• විශ්වවිද්‍යාල මඟින් හෝ හරවත්, ගැඹුරු සංවාදයකට ගියේ නැහැ කියල ද ඔබ හිතන්නේ?

56 පෙරළියත් එක්ක විශ්වවිද්‍යාලවලින් පිටවුණු අය මේ මතවාද එක්ක හිටියා. පේරාදෙණියෙන් පිටවුණු අය විශේෂයි. පේරාදෙණියේ ලියැවුණු නවකතා අරගෙන බැලුවොත් අපට පේනවා ඒවා සිංහලෙන් ලියැවුණාට මොකද චින්තනය අරන් තියෙන්නේ සම්පූර්ණයෙන් බටහිරෙන්. බටහිර ලේඛකයෝ අනුව යමින් ඔවුන්ගේ චින්තනයට අනුව සම්පූර්ණයෙන් ම ඒ මතවාද මෙහෙට ආදේශ කරලා ලිව්වා. කවිය අරගත්තත් ‍එහෙමයි. අපේ සාම්ප්‍රදායික කවියට නොවේ මූලිකත්වය දුන්නේ. එලියට්ලා තමයි අනුකරණය කළේ. නවකතාව ගත්තත් එහෙමයි.

තායිලන්තේ එක් බුද්ධිමතෙක් කියලා තියෙනවා, ආසියාවේ රටවල් අතරින් රටවල් තුනකට තමන්ගේ පාරම්පරික අතීත සංස්කෘතියට යන්න පුළුවන් කියලා. ඒ රටවල් තමයි කාම්බෝජය, බුරුමය හා ලංකාව.

ඔහු පවසනවා කාම්බෝජයට ඒක කැරැල්ලක් ඇතිවීම නිසා කරන්න බැරි වුණා. බුරුමයටත් ඒක බැරි වුණා, ලංකාවේ බණ්ඩාරනායක 56 පත් කළේ මේ වගේ වෙනසක් බලාපොරොත්තුවෙන් ය කියලා. ඒක බොහොම හොඳ නිරීක්ෂණයක්. බණ්ඩාරනායකට ඒක කරන්න බැරිවුණේ බටහිර ලිබරල්වාදී චින්තනය ඉගෙන ගත්ත ඒ චින්තනය මනසන් ඉවත් කර ගැනීමට බැරි වූ පුද්ගලයෙක් නිසා ය කියලා. එයාගේ චින්තනය බටහිර චින්තනයයි කියලා ඔහු කියනවා. මේක ඉතාම පැහැදිලි, බරපතළ නිරීක්ෂණයක්.

56 දී විශාල පෙරළියක් වුණාට ඒක උඩින් පල්ලෙන් ඇතිවුණු බාහිර වෙනසක් මිසක් ජනතාවගේ චින්තනයට එය බලපෑම් කළේ නැහැ. මේක තමයි ඛේදවාචකය. මේ නිසා 77 දී නව යටත්විජිතවාදී බලවේගවලට අද තිබෙන මේ අනුකරණ සංස්කෘතිය ඇතිකරන්න පුළුවන් වුණේ, අපිට කියලා අනන්‍ය සාහිත්‍යයක් බිහි නොවී බටහිර ලේඛකයන් අනුකරණය කරන්න, පරිවර්තන කියවන්න පුරුදු වෙන්නෙත් මේ නිසා.

• මේ තත්ත්වයට අපි කුමක් කළ යුතුද?

අපිට ඕන නම් දේශපාලනඥයන්ට දොස් කියන්න පුළුවන්. බණ්ඩාරනායක ලිබරල්වාදයේ එල්ලිලා හිටියා, ජේ.ආර්. නව යටත්විජිතවාදයේ එල්ලිලා හිටියා කියලා අපිට චෝදනා කරන්න පුළුවන්. ඒත් එක ම ප්‍රශ්නය තියෙන්නේ අපිට දේශපාලනඥයන්ට දොස් කියන්න පුළුවන්ද කියන එකයි.

දේශපාලනඥයෝ හැම දෙයක් ම කරන්නේ බලයට ඒම පිණිස. මේකට මූලික හේතුව වශයෙන් මම දකින්නේ මේ රටේ පසින් අදීන චින්තනයක් ඇති අය බිහි නොවීමයි. අපි හැමදාම යන්නේ අනුන්ගේ මත කරපින්නාගෙන. මෙන්න මේක වෙනස් කරගත්තොත් එදා අපිට පුළුවන් ස්වාධීන සාහිත්‍යයක්, සංස්කෘතියක් ගැන කතා කරන්න.

Comments