පළාත් හතරක මහ වැසි: පළාත් පහක මහ නියඟ: ඇයි මෙහෙම වුණේ? | Page 2 | සිළුමිණ

පළාත් හතරක මහ වැසි: පළාත් පහක මහ නියඟ: ඇයි මෙහෙම වුණේ?

 “කොළඹට කළුතරට හො‍ඳටම වහිනවා. ඒත් අනුරාධපුරයට කුරුණෑගලට මොනරාගලට මන්නාරමට මහ නියඟ. ඇයි මෙහෙම වෙන්නේ? කිහිප දෙනෙකු මගෙන් ඇසූ ප්‍රශ්නයකි මේ.

පසුගිය සතිය පුරා කොළඹට කළුතරට මහවැසි ලැබුණි. නමුත් උතුරු මැද, වයඹ, නැ‍ඟෙනහිර, උතුරු පළාත්වල තවමත් නියඟය තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ලක්ෂ 20 ක් පමණ දෙනා ඒ ප්‍රදේශවල නියඟය නිසා පීඩා විඳින බවයි. ඒ සමඟ ඉදිරියේදී බස්නාහිර, සබරගමුව ප්‍රදේශවල ගංවතුරට සූදානම් බව ද ‍එම ආයතනය පවසයි. මේ අනුව අපේ රටේ දැන් පළාත් 4 කට වැස්සය. පළාත් 5 කට නියඟයකි. ඒ අයට නියං ආධාර රජය ලබාදෙයි. දේශගුණික කාලගුණික ගැටලු අතීතයේ නොතිබුණු අපේ රටට මොකද මේ වුණේ?

මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල මහතා කෙළින් ම පවසන්නේ මේ කාලගුණ විපර්යාසවලට ප්‍රධාන හේතුව ලොව මිහිතලය උණුසුම්වීම් හා ලොව දේශගුණ විපර්යාසවල බලපෑම අපේ ර‍ටටත් එල්ලවීම බවයි.

ගෝලීය උණුසුම ඉහළ යාම නිසා සුළං රටාව හා සාගර දියවැල් රටාව වෙනස්වීම්, පෘථිවිය මතුපිට උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටාව වෙනස්වීම, වියළි කලාපයේ වියළි බව තවත් ඉහළ යාම තෙක් කලාපයට වැඩිපුර වැසි ඇතිවීම හා ගංවතුර වැඩිවීම සිදුවන බව ද ඔහු පවසයි.

මිහිතලය මහ මුහුද රත්වීම නිසා ලොව විශාල දේශගුණ විපර්යාස ඇතිවෙලා තිබෙනවා. පසුගිය දිනවල ලොව දියුණු රටවල දරුණු ගංවතුර හා සුළිසුළං ඇති ව‍ූයේ සමුදුර රත්වීම නිසායි.

අපේ රටේ අවට මහ මුහුද ඇති නිසා මේ සමුදුර උණුසුම් වීම ප්‍රධාන ලෙස අපට බලපානවා. ඒ සමුදුර උණුසුම් වීම නිසා අපේ රට හරහා යන සුළං ධාරාවල වෙනස්වීම් සිදුවෙලා තිබෙනවා. මේ නිසා සමහර ප්‍රදේශවල වැස්සය. සමහර ප්‍රදේශවල නියඟය ඇතිවෙනවා. මේ තත්ත්වය තමයි දැන් ඇතිවී තිබෙන්නේ” මහාචාර්ය සුමතිපාල පෙන්වා දෙයි.

මිනිසාගේ ඍජු හෝ වක්‍ර ක්‍රියාකාරකම් නිසා වායුගෝලයේ පැවතුණ වායු සංයුතියේ වෙනස්වීමත් සමඟ දේශගුණයේ විවිධ වෙනස්වීම් ඇතිවීම දේශගුණ විපර්යාස ලෙස සරල ලෙස හැඳින්විය හැකි ය.

කාර්මීකරණයත් සමඟ වායුගෝලයේ පැවති හරිතාගාර වායු සාන්ද්‍රණයේ වැඩිවීම නිසා එහි සමතුලිත මට්ටම ඉක්මවීමට පටන්ගත් අතර එම නිසා පසුගිය කාලය ඇතුළත දේශගුණයේ සැලකිය යුතු වෙනස්කම් දක්නට ලැබුණි.

කාබන් ඩයොක්සයිඩ්, මීතේන් නයිට්‍රස් ඔක්සයිඩ්, හයි‍ෙඩ්‍රාෆ්ලෝරොකාබන්, (HFC) ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්, (CFC) ජල වාෂ්ප වායු හරිතාගාර වායු ලෙස විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ ගැටලුවට කෙළින් ම විසඳුම් නැත. ඒ අනුව අපි ඊට මුහුණ දිය යුතුව තිබේ. සුළි සුළං නියඟය ටෝනේඩෝ ආදියත් මේ කාලගුණ විපර්යාස සමඟ ඇතිවෙන්න පුළුවන්. මේ නිසා සමාජ ගැටලු ජනතාවට ජීවත්වීමේ ගැටලු ඇති වෙයි. ඒවාට මුහුණ දීමට රජය කටයුතු කළ යුතුව ඇත.

ඒ සඳහා රජය දැනට විෂන් 2030 වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. එමඟින් තිරසර සංවර්ධන ඉලක්ක 17 යටතේ පරිසර හිතකාමී සංවර්ධන හා සංරක්ෂණ කටයුතු ක්‍රියාවට නංවා ඇත. මෙරට විද්‍යාඥයන් පරිසරවේදීන් සමඟ මේ වැඩසටහන ක්‍රියාවට නංවමින් තිබේ. එමඟින් මේ දේශගුණ විපර්යාසවලට මුහුණදීමට කටයුතු කෙරේ. ඊට අමතරව රජය පසුගියදා ක්‍රියාවට නංවා V2025 නව ඒකාබද්ධ වැඩපිළිවෙළ යටතේ ද තිරසර හා නිල් හරිත යුගයක් ඔස්සේ රට සංවර්ධනය කිරීමට සැලසුම් ඉදිරිපත් කර ඇත.

පෘථිවිෙයහි මුලින් ම තිබූ ලොකු ගැටලුවක් වූයේ ඕසෝන් ස්තරය සිදුරු වී ඉන් එන පාරජම්බුල කිරණ නිසා ජනතාවට පරිසරයට වන බලපෑම් සමුදායයි. නමුත් ලොව සියලු රටවල් එක්වී එයට විසඳුම් ක්‍රියාවට නංවා ඕසෝන් ස්තරය සිදුරු වීම පාලනය කර ඇත. නමුත් ඕසෝන් ස්තරය සිදුරුවීම පාලනයට අපි එතෙර මෙතෙර ශීතකරණ හා වායු සමීකරණවලට දැමූ HFC වායුව නිසා මිහිතලය උණුසුම්වීම වැඩිපුර සිදුවෙන බව දැන් සොයාගෙන තිබේ.

ඒ අනුව ලොව රටවල් මොන්ට්‍රියල් සන්ධානයේ උපදෙස් අනුව ඉදිරි වසර 3 – 4 ඇතුළත HFC පාලනය කිරීමට කටයුතු යොදන බවත් මහාචාර්ය ඩබ්. එල්.සුමතිපාල මහතා පවසයි‍.

කෙසේ වුවත් අපේ රටට දේශගුණ විපර්යාස නිසා වන බලපෑම් අවම කිරීමට අපේ රටේ පරිසරයට කෘෂිකර්මාන්තයට, කාලගුණයට ජලයට සම්බන්ධ සියලු ආයතන එක්වී ඒකාබද්ධ ක්‍රම විධි සකස් කළ යුතුව තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්සන් කළ පැරිස් සම්මුතිය යටතේ දැන් රජය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. නමුත් සමහර ආයතන එයට උදව් නොදීම ඉතා කනගාටුදායකය. ඒකාබද්ධ ක්‍රමවේදයකට නොගියොත් දේශගුණ විපර්යාස නිසා අපේ ර‍ටට වන බලපෑම් අවම කර ජනතාවට සහන සැලසීමට නොහැකි වනු ඇත. ඉන් සිදුවන්නේ රජයට තවත් ජනතා ගැටලුවලට විසඳුම් සෙවීමට සිදුවීම පමණක් නොව රටේ ම ජනතාවට දුක්විඳීමට සිදුවීමයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාතික උපදේශක (ජල කළමනාකරණ) ආචාර්ය පී.බී. ධර්මසේන මහතා ද පවසන්නේ මේ ජල හිඟය ද ජලය වැඩිකම පිළිබඳව හා දේශගුණ විපර්යාසවලට මුහුණදීමට මෙරට ජලයට සම්බන්ධ අමාත්‍යාංශ 10 ට අයත් ආයතන 20 ම එකතු වී ජනාධිපතිතුමා යටතේ විධායක බලයලත් ජල කළමනාකරණ අධිකාරි කමිටුවක් ඇති කළ යුතු බවයි. එය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් අස්සන් කරන අවබෝධතා ගිවිසුමක් ලෙස සකස් කළ යුතු බවත් මීට පෙර තමා එවැනි අවබෝධතා ගිවිසුමක් සකස් කළත් එක් අමාත්‍යාංශ ලේකම්වරයෙක්ම එය අස්සන් නොකළ බවත් ධර්මසේන මහතා පවසයි.

අද සමහර විද්වතුන් අපේ රටේ කාන්තාරකරණය පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන ධර්මසේන මහතා පැවසුවේ උතුරු මැද වයඹ, පළාත්වල හා මොනරාගල දිස්ත්‍රික්කවල කාන්තාරකරණයට ලක්වන ලක්ෂණ ඇති බවයි. කටු පඳුරු බහුලවීම මොනරුන් බහුලවීම කාන්තාරකරණයේ යම් ලක්ෂණ බව ඔහු කියයි. ඒවා එම ප්‍රදේශවල දක්නට ලැබේ.

අපේ රටේ කාලගුණ හා දේශගුණ රටාව වෙනස්වී කොටසකට ගංවතුරත් කොටසකට නියඟයත් ඇතිවන්නේ පරිසර විනාශය හා දේශගුණ විපර්යාසවල බලපෑම නිසා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන විද්‍යා හා පරිසර මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පවසන්නීය.

අපේ රටේ වනාන්තර විනාශවීමේ වේගය වැඩිවෙලා. ජල දූෂණය වායු දූෂණය වැඩිවෙලා.

“වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය රටාව වෙනස් වී ඇති අතර දෛනික උෂ්ණත්ව පරතරය (උපරිම හා අවමය අතර වෙනස) වර්ධනය වෙමින් පවතිනවා.‍ අභ්‍යන්තරයේ සෑම දේශගුණික කලාපයකින් ම වාගේ වැසි රහිත දින ගණන් වාර්ෂිකව වැඩිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.”

ඉතා මෑත කළ ගණන් කිරීම් අනුව පසුගිය වසර 22 ක කාලය ඇතුළත අපේ රටේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් අංශක 0.45 කින් ඉහළ ගොස් තිබෙන බවත් ඒ අනුව සෑම දශකයකම අපේ රටේ උෂ්ණත්වය සෙන්‍ට්‍රිග්‍රේට් අංශක 0.2 කින් ඉහළ යන බවත් මහාචාර්ය හේමන්ති රණසිංහ පෙන්වා දෙන්නීය.

ඉතා කෙටි කාල පරාසයක් ඇතුළත අපේ රටට දැඩි වර්ෂාපතනයක් ලැබීම හා වාර්ෂිකව එවැනි වර්ෂා ලැබෙන දින ගණන් වැඩිවීම සිදුවෙමින් තිබේ.

මේ සියලු කරුණු සැලකිල්ලට ගත්විට දේශගුණ වෙනස්වීම්වල බලපෑම් අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජික සෞඛ්‍ය සනීපාරක්ෂාව යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට දැඩි බාධකයන් වනු ඇත. කෙසේ වුවත් ඒ පිළිබඳව අදාළ ජනතාව දැනුම්වත් කිරීමට හා ඊට පිළියම් සෙවීමට වහාම කටයුතු කළ යුතු බවත් මහාචාර්ය හේමන්ති රණසිංහ පවසයි.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ වසර කිහිපයක සිට අතීතයේ මෙරට තිබ‍ූ වැසි රටාවේ බරපතළ අඩු වැඩි වීම් හා ඒවා ලැබෙන කාල වකවානුවල වෙනස්වීම ඇතිවෙමින් තිබෙන බවයි.

පසුගිය වසර 1 ½ ක් ඇතුළත වියළි කලාපයට වැස්ස ඉතාමත් අඩු වී ඇති බවත් මෙයට අප අවට සාගර කලාපයේ සිදුවන සුළං රටාවේ හා දේශගුණ විපර්යාසවල වෙනස්වීම් හේතු වන බවත් අතුල මහතා පවසයි. කෙසේ වුවත් ඉදිරි ඔක්තෝබර් මාසයේ රටේ සියලු ප්‍රදේශවලට තරමක හෝ වැස්සක් ලැබෙනු ඇති බවත් ඒ මහතා උප කල්පනය කරයි.

මේ සියලු විද්වත් අදහස් ඒකරාශි කළ විට අපට පැවසීමට හැක්කේ අපේ රටේ පවතින කාලගුණය විෂම ආකාරයට වෙනස්වීමට ප්‍රධාන හේතුව ලොව දේශගුණ විපර්යාස අපේ රටටත් ප්‍රබල ලෙස අහිතකර ලෙස බලපෑම බවයි.

“අයහපත් දේශගුණික බලපෑම් හේතුවෙන් ඇති‍ කෙරෙන බලපෑම් එක් භූගෝලීය ප්‍රදේශයකට හෝ එක ජන කොටසකට සීමාවෙන්නේ නැත. එහි බලපෑම අපේ රටේ සියලු ජනතාවට විවිධ අයුරින් විවිධ මට්ටම්වලින් ඇති වේ.

මේ නිසා සාමාජික, පාරිසරික, සෞඛ්‍ය විද්‍යාත්මක ගැටලු මතුවෙමින් ඇත. අප මෙයට මුහුණ දීමට අවශ්‍ය සියලු වැඩසටහන් ඒකාබද්ධ ක්‍රම වේදයක් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ ක්‍රියාත්මක කළ යුතුව ඇත. මෙහිදී බලපෑම්වලට ලක්වන මහජන සහභාගිත්වය හා දායකත්වය සඳහා ප්‍රමුඛත්වය ලබාගත යුතු ය.

මේ අනුව අද කළ යුත්තේ විද්වතුන් ප්‍රතිපත්ති සම්පාදකයන් දේශගුණ විපර්යාසවලට කාලගුණ වෙනස්වීම්වලට ප්‍රධාන ලෙස බලපෑමට ලක්වන අය එක්වී රටත් ජනතාවත් මේ අවදානමින් බේරා ගැනීමට කාර්යක්ෂම හා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි.

නිහාල් පී. අබේසිංහ 

Comments