නපුරු පරෙවියෝ සහ අහිංසක කාක්කෝ | Page 2 | සිළුමිණ

නපුරු පරෙවියෝ සහ අහිංසක කාක්කෝ

 නගරාසන්න පාරේ යන එන කොට ඕනෑතරම් හම්බවෙනවා ලයිට් කම්බි, ටෙලිෆෝන් කම්බි. ඒවයේ පිහාටු සුද්ද කරන කාක්කො එහෙමත් නැත්තම් පපුව පුම්බගෙන ගුරු ගුරු ගාන පරෙවියෝ එක පේළියට වහල ඉන්නවා. කම්බියේ පැද්දීම වැඩි වෙනකොට කොහේට හරි පියාඹලා යනවා. ඉඳ හිටක කාක්කෙක් ඒ පරෙවියො පේළි අතරින් ඉඳගෙන ඉන්නවා. පරෙවියන්ට ඒක එච්චරම ගානක් නැහැ.

පරෙවියෙකුටත් පුළුවන් කපුටු වෙස් ගන්න. අරගෙන කපුටෝ අතරේ ඉන්න. එහෙම ඉන්නකොට පරෙවියාව කැපිල පේනවා. කපුටො තමන්ගේ කෑමකට පරෙවියා අත තිබ්බොත් ඌව ගහල එළවනවා. සමාජයත් අන්න ඒ වගේ. සුදු චරිතයක් කියල විශ්වාස කරන පරෙවියෙක් කපුටු වෙස් අරගෙන කපුටෝ අතරෙ එහෙ මෙහෙ ගියාම ඒක දකින සමාජෙ කියන්නේ අන්න අසරණ පරෙවියා.. අතරමං වෙලා. අර ජරා කපුටු ගොඩේ.. අන්න එහෙම...

ඇත්තටම අපි ඒ සුදු යැයි විශ්වාස කරන චරිත ඇස් පනා පිටම වැරැද්දක් කරනවා නම් අපි ඒක නොසලකා හරිනවා. අනේ එයාට වැරැද්දක් වෙන්න ඇති. ඒ වගේ කෙනෙක් එහෙම කරයිද? මම දැක්ක දේ වැරදි ඇති.. අන්න ඒ වගේ කාරණා කියමින් සුදු චරිත තවත් සුදු කරන්න තමයි අපි උත්සාහ ගන්නේ. ඒත් අපි කීයෙන් කීදෙනාද හිතන්නේ ඒ චරිතේ පාට සුදු වුණාට ඇතුළතින් කළුයි කියල. නැත්නම් සුදු අය වුණත් හිටි ගමන් කළු ‍වැඩ කරන්න බැරි නෑ නේද කියලා.

ඕක අනිත් පැත්තත් එහෙමයි. කපුටෙක් පරෙවියෝ ගොඩක් අතරේ සැරි සරනවා. එකට කෑම හොයනවා. එකට කම්බියක් උඩ ඉන්නවා. එයාලා රණ්ඩුවක් කරන්නේ නැ. ඒත් බලන අය හිතන්නේ අනේ අර නපුරු කපුටා අහිංසක පරෙවියන්ට කරදර කරනවා කියල. කපුටා හොඳ වෙන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. පරණ ජීවිතේ වෙනස් කරගෙන අළුතින් ජීවිතය පටන් ගන්න හදන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවකදි අපි කරන්න ඕනෑ එයාගේ ජීවිතේ අලුතින් පටන්ගන්න දිරි දෙන එකද නැත්තම් එයාව පහත හෙළා කතා කරලා ආපහු තිබ්බටත් වඩා අන්ත තත්වයකට ඒ ජීවිතේ ඇදල දාන එකද?

කපුටෙක් පරෙවියෙක් රණ්ඩු වෙන්න පටන් ගත්තම බලා ඉන්න මිනිස්සු එක පාරම බනින්නෙ කපුටට. රණ්ඩුව පටන් ගත්තේ පරෙවියා වුණත් ඒක විශ්වාස කරන්නෙ නෑ මිනිස්සු.

හැමතිස්සෙම මෙයා සුදු චරිතයක් මෙයා කළු චරිතයක් කියලා වර්ග කරල අපිට පොඩිකාලෙම උගන්නලා තියෙනවා. හිවලා කපටියි. හාවා අහිංසකයි. සිංහයා දරුණුයි. නයා නපුරුයි වගේ. අපි ඒවම සමාජයේ අපි ඇසුරු කරන අයට ආරූඪ කරනවා. ඒ මනුස්සයා නපුරුයි කියලා හිතුවොත් බැරි වෙලාවත් ඒ මනුස්සයා කරන හොඳ වැඩක්වත් පිළිගන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ කරපු හොඳ වැඩෙත් වැරදි දකින්න පුළුවන්.

අපි අහිංසකයි කියල හිතන අය මොන නපුරු වැඩේ කලත් අපි හිතන්නේ ඒ අයට වෙලා තියෙන්නේ වැරදීමක් කියල. අනේ ඒ අයට ඒක කියා දෙන්න ඕනි කියලා. ඒත් ඇත්තටම ඒ අහිංසකයි කියලා හිතන චරිතේ නපුරු වෙන්න පුළුවන්. අනිත් අයට ඊර්ෂියා කරනවා වෙන්නත් පුළුවන්.

තවත් විදිහකින් උදාහරණයක් ගත්තොත් ගෑනු ළමයෙක් ඉන්නවා හුඟක් අහිංසක පාට. අඳින්නේ දිග ගවුම්. කනට ඇහෙන්න කතා කරන්නෙ නැ. ඒත් එයා තමන්ගේ යාළුවන්ට ලෙක්චර් නෝට් එකක්වත් දෙන්නැ. දන්න කෙනෙකුට උදව් කරන්නෙත් නැ. ලෙක්චරගෙන් පේපර් එකකට එන ප්‍රශ්නයක් දැනගෙනත් කාටවත් කියන්නෙත් නැ. ආදරේ කරන්නෙත් තාවකාලිකව. තමන්ට ඉහළට යා හැකි යැයි හිතන චරිතයකට.

ඒත් එක්කම උදාහරණයක් විදිහට ෆැෂනබල් ගෑනු ළමෙක් ගත්තොත්. අඳින්නේ කෑලි බෑලි එල්ලෙන ඇඳුම්. සමහර විට අත දිගට ටැටූඑකකුත් ගහගෙන. එත් පාරේ වැටිලා ඉන්න කෙනාටත් උදව් කරනවා. උදව් ඉල්ලන කෙනාටත් උදව් කරනවා. නැති කෙනාටක් උදවු කරනවා. ඒත් මිනිස්සු බනින්නේ එයාගේ ඇඳුමට. එයාගෙ ගතිගුණ දැනගෙන නෙවෙයි.

ඊළඟට අපි හරි කැමතියි අපේ ඔළුවලට බලෙන් මත ඔබ්බවන අයගේ අදහස්වලට ඉඩ දෙන්න. අපි අතරේ ඇතැම් අය ඉන්නවා, තමන් වටේ ඉන්න අයට බලපෑම් කළ හැකි. ඒ වගේම බලපෑම් කරන. මේ වගේ අයත් එක්ක ස්වාධීන මතයක් තමන්ටම තියාගෙන ඉන්න පුළුවන් පෞරුෂත්වයක් තියන අය විරලයි. මේ වගේ අය කරන්නේ ඉතා සුහදව කතා බහ කරලා තමන්ගේ අදහස් නිකම්ම අනෙක් අයගේ හිත් ඇතුළට කා වද්දන එක. එහෙම අය කරන ප්‍රධානම දේ තමයි තමන්ට අහිතවත් එහෙමත් නැත්නම් තමන්ට ප්‍රයෝජයක් නැති, එහෙමත් නැත්නම් තමන්ගේ බහට නැමෙන්නේ නැති අය සම්බන්ධව විකෘති ජනමතයක් ඇති කිරීම.

'ඔහොම හිටියට එයා කාටවත් උදවු කරන්නේ නෑ...'

'අපෝ එයාගෙන අහල වැඩක් නෑ. කියලා දෙන්නේ නෑ. අනික් අතට එයා ඕවා දන්නෙත් නෑ..'

'මහ කුහකයි. පේන්නැද්ද මූණක් බලලා හිනා වෙන එකක්යෑ...'

මෙහෙම දේවල් හැමදාම කියනකොට මිනිස්සු ඒවා විශ්වාස කරන්න පටන් ගන්නේ දන්නෙම නැතිව. ඒ වෙනුවට මේ දේවල් ඇත්තද කියලා විවේචන එල්ල වෙන කෙනාව ආශ්‍රය කරලා බලලා තමන්ම තීරණයට එන්න තරම් පෞරුෂත්වයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?

සමාජෙ ක්‍රියාකාරකම් අන්න ඒ වගේ. පිටින් බලලා තමයි කෙනෙක්ව මනින්නේ. ඒත් ආශ්‍රය කරල තේරුම් ගන්න ඕනෑ දේවල් බොහෝමයක් තියෙනවා. එක පාරට මිනිස්සු ගැන තීරණවලට එන එකත් එහෙම ගන්නා තීරණවලම එල්බගෙන ඉන්න එකත් තමන්ම කරගන්නා මෝඩකමක්.

ඒ නිසා එකපාරටම මෙයා කපුටෙක් මෙයා පරවියෙක් කියල කාටවත්ලේබල් ගහන්න ඉක්මන් වෙන්න එපා.

උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක

Comments