කාවකු නොවන දියකාවා | Page 2 | සිළුමිණ

කාවකු නොවන දියකාවා

 ත්‍රිකුණාමලයෙන් උතුරු මුහුදු වෙරළට සමීපව කුච්චවේලියේ ඉදි කර ඇති ත්‍රස්තවාදී කඳවුරකි. හතර වටින්ම මුරකපොලුවල සිටි අවි ගත් කණ්ඩායම් නිරතුරුවම විමසිල්ලෙන් සිටියේ කොයි මොහොතක හෝ තමන්ට ප්‍රහාරයක් එල්ල වේයැයි යන්න සිතමිනි.

වේලාව උදෑසන 6.30 පමණ වන්නට ඇත. එක්වරම කඳවුරට පිටුපසින් ඉහළ අහසින් පහතින් පියාසර කළ ගුවන් යානයකින් පිටතට පැරෂුට් ගත් භටයෝ විසි දෙනකු එළියට පැන ගත්හ. ඒ ආයුධත් සමඟය. ගුවන් යානයෙන් එළියට පැනගත් පැරෂුට් භටයෝ කඳවුරට ඈතින් වනාන්තරයට මුවා වී නිරුපද්‍රැතව අවතීර්ණ වූහ. ක්ෂණයකින් අහසට නැඟුණු ගුවන් යානය ඉගිළ ගියේය.

ගත වූයේ තවත් විනාඩි කිහිපයක් පමණි. මුහුදු වෙරළට ආසන්නයෙන් පහතින් පියාසර කළ හෙලිකොප්ටර් යානයකින් භටයෝ රැසක් මුහුදට පැන ගත්හ. ඒ සමඟම එක්වරම මුහුදින් පැමිණි නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා 7කින් බැසගත් අවිගත් රණවිරුවෝ කඳවුර සමීපයට පැමිණ බිම දිගාවෙමින් සතුරු කඳවුර දෙසට ඇදෙන්නට පටන් ගත්හ. ඒ සමගම අධිවේගී කෆීර් ප්‍රහාරක යානයක් මුහුද දෙස සිට පැමිණ සතුරු කඳවුරට ප්‍රහාරයක් එල්ල කරමින් ඇස් පිල්ලන් ගහන වේගයෙන් නොපෙනී ගියේය.

මුහුදින් පැමිණි හමුදාවෝ කඳවුර වටකර වෙඩි තබන්නට පටන් ගත්හ. ඒ සමගම සැඟව සිටි රණවිරුවෝ සහ පැරෂුට්වලින් බැසගත් රණවිරුවෝද සටනට එක් වූහ.

අප මේ කියන්නට යන්නේ මීට වසර 10කට පමණ පෙර පැවැති යුද්ධයේ කතාවක් නොවේ. දිනය හරියටම කියනවා නම් පසුගිය 14 වැනිදා බ්‍රහස්පතින්දාය. යුද හමුදාව විසින් මෙහෙයවන ලද යුද, නාවික, ගුවන් හමුදා ඒකාබද්ධව 2009 වසරින් පසු වසරකට වරක් ක්‍රියාත්මක කරනු ලබන 'දියකාවා' අභ්‍යාසයේ 8 වැනි පි‍යවරේ සතුරු කඳවුර ආක්‍රමණය කරන ප්‍රබල මෙහෙයුමයි.

හතර වටින් හමුදාවන් වෙඩි තබමින් කඳවුර ආක්‍රමණය කරමින් පවතින විට වික්‍රම 2, එඩිතර 2 හා ජගතා නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා ඇතුළු ඩෝරා යාත්‍රා මඟින්ද මේ සතුරු කඳවුර ආක්‍රමණයට තවත් භට පිරිස් පැමිණි අතර, එල්- 820, එල් 821 ඇතුළු නෞකා හතරක් වෙරළ තීරයට ගොඩ බස්සන ලද්දේ අධිවේගයෙනි. මේ වන විට සතුරු කඳවුරට හමුදා රණවිරුවන් ඇතුළු වෙමින් තිබුණු අතර තවත් කෆීර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟම කඳවුර ගිනි ගන්නට පටන් ගත්තේය.

එල්- 820, එල් 821 ඇතුළු නෞකාවන්ගේ වෙඩි නොවදින යුද්ධ ටැංකි වෙරළ තීරයට ගොඩ බානා ලදි. ක්ෂණයකින් යුද ටැංකි 4ම ආක්‍රමණය කළ කඳවුරට බාධක මැඬගෙන ඇතුළට යන්නට විය.

සතුරු කඳවුරට මෙසේ ප්‍රහාර එල්ල වීමත් සමඟම සමඟ ගුවන් හමුදා හෙලිකෝපපටර් යානා තුනක් වෙරළට ගොඩ බස්සන ලදී. එයින්ද එළියට බට රණවිරුවෝ වෙරළේ බිම දිගාවෙමින් සතුරු බල‍කොටුවට දිගට හරහට ප්‍රහාර එල්ල කළහ. වෙරළේ සිට එල්ල කරන ලද දුම් බෝම්බ නිසා ප්‍රහාර එල්ල කරන ලද රණවිරුවන් සිටින්නේ කොතැනකදැයි සතුරාට හරි හැටි දැක ගත නොහැකි විය.

විනාඩි 30කට ආසන්න කාලයක් ගත වෙද්දී සතුරු බල‍කොටුව බිඳ වැටෙන්නට පටන් ගත්තේය. එහි අවට අටවා තිබූ බිම් බෝම්ම සියල්ල පුපුරා ගියේය.

කඳවුරු භුමිය අත්පත් කරගැනීමෙන් පසු හමුදා සෙබළුන් දෙදෙනකු විසින් එහි ධජ සිටුවන ලදී. හෙලිකොප්ටර් යානා මුහුදු වෙරළට ගොඩ බස්සා තුවාල ලද රණවිරුවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලදී.

2009 වසරට පෙර උතුරු නැ‍ඟෙනහිර ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නට දිවි පරදුවට තබා සටන් වැදුණු රණවිරුවන් එදා කළ සටන් අද සිහි ගන්වමින් කළ මේ සටන සැබෑ සටනක් නොව සතුරාට එරෙහිව හදිසි අවස්ථාවකදී සටන් කිරීමට යුද ගුවන් නාවික හමුදා ත්‍රිත්වයම එක්ව කරනු ලබන වාර්ෂික යුද අභ්‍යාසාත්මක සංදර්ශනයයි. සැබෑ යුද්ධයක සියලු ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මේ සංග්‍රාමය නමින් 'දියකාවා' මෙහෙයුමයි. දියකාවාට ගොඩබිම, දිය, මෙන්ම ගුවනද හොඳට හුරුය.

මෙවර දියකාවා 8 වැනි වරට පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ බහුමාධ්‍ය ජාලය මගින් (multimedia network) අවසන් යුද අභ්‍යාසය නරඹා එයට සහභාගි වූවන් දිරිමත් කෙළේය.

අපේ හමුදාව විනයක් ඇති හමුදාවක් බව අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති බවත් මේ ජයග්‍රහණ සියල්ල අපට උරුම කර ගන්නට එයද හේතු සාධක වූ බවත් ජනාධිපතිවරයා චන්ද්‍රිකා වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුද අභ්‍යාසය අවසන් වීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවේය. තාක්ෂණය දිගින් දිගටම වර්ධනය වන බවත් ඒ අනුව දැනුම වර්ධනය කර ගෙන දේශීය වශයෙන් මෙන්ම කලාපීය ආරක්ෂාව තහවුරු කර ගන්නට අපට හැකියාව ලැබී තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එඩිතරකම අවංකබව, වීරත්වය හා සටන්කාමීත්වහට නවින ශිල්පීය දැනුම හාතාක්ෂණය අපද එක් කර ගත යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මිත්‍ර රටවල්නි පැමිණි හමුදා නියෝජිතයන්ටද තම කෘතවේදීත්වය පළ කර ජනාධිපතිවරයා මිත්‍ර රටවල ආර්කෂක ප්‍රධානීන්ගේ පැමිණීම අගය කළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හා නාවික හමුදාපතිවරුන් හා දෙස් විදෙස් නියෝජිතයන් මෙන්ම රටවල් 13කින් ආ විදේශීය යුද නියෝජිතයෝ 69ක්ද සහභාගි වී සිටියහ.

එසේම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කමාන්ඩෝ සහ විශේෂ බළකා භටයින්ගේ සාර්ථක පුහුණුව පිළිබඳවත් සහභාගි වූ අනෙකුත් භටපිරිස් මෙහෙයුමට දැක්වු දායකත්වය පිළිබඳවත්, ඔවුන්ගේ කුසලතා පිළිබඳවත් මෙහිදී පැසසුමට ලක් කළේය.

මේ ඒකාබද්ධ යුද අභ්‍යාසයට කමාන්ඩෝ සහ විශේෂ බළකා සෙබළුන් බහුතරයක් ඇතුළත්ව යාන්ත්‍රික හා පාබළ හමුදා සෙබළු 2108ක් නාවික හමුදා සෙබළු 370ක් සහ ගුවන් හමුදා සෙබළු 197ක් සහභාගි වූහ. විශේෂයෙන්ම පසුගිය වසරේ මෙරට ස්ථාපිත කළ නාවින හමුදා මැරින් කළ මැරින් බළකායේ සෙබළු 78ක්ද මේ සඳහා සහභාගි වූහ. එසේම මේ අභ්‍යාසය සඳහා ගුවන් යානා ‍හා හෙලිකොප්ටර් යානා 27ක් නවීන ප්‍රහාරක යානා, යුද්ධ ටැංකි ප්‍රවාහන නෞකා යාත්‍රා ඇතුළු නවීන යාත්‍රා 48ක් එක් කර තිබිණි. චීනයේ නිෂ්පාදිත අතිනවීන වෙඩි නොවදින යුද්ධ ටැංකි 4ක්ද අවසන් අභ්‍යාසයට එක් කර තිබිණි. ඒ මේ අභ්‍යාසයක ප්‍රථම වතාවටය. එසේම මුහුදින් යුද්ධ ටැංකි ප්‍රවාහනය කර ‍ දියකාවාට සහාය ලබා දුන්නේ ප්‍රථම වතාවට වීමද විශේෂ සිදු වීමකි.

යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පැවසුවේ මේ වන විට මෙම අභ්‍යාසය සිදු කරන නැගෙනහිර පළාතේ තෝරාගත් ඉහළ වටිනාකමක් ඇති ඉලක්කයන් සඳහා විශේෂ මෙහෙයුම් භට පිරිස් යොදා සටන් බිම හැඩගස්වා අනතුරුව සිදු කරන ප්‍රහාර සඳහා වාතාවරණය සකස් කර ඇති බවයි.

පසුගිය 3 වැනිදා මින්නේරිය පාබළ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලද මේ අභ්‍යාසය මුලතිව් සිට හම්බන්තාට දක්වා කලාපය ක්‍රියාත්මක අතර, අවසානයේ සතුරු බල‍කොටුවක් විනාශ කර දැමීමේ ඉලක්කය සාර්ථකව සපුරාගෙන ඇතැයිද පැවසීය. එමෙන්ම ලබන 24 වැනිදා දක්වාම මෙය පැවැත්වේ.

අප රටේ මේ වන විට යුද බිය නැතත් අපේ හමුදාවන් ඕනෑම අවස්ථාවක රට දැය වෙනුවෙන් තම දායකත්වය ලබා දීමට සූදානමින් සිටිය යුතුය. එසේම ජනාධිපතිවරයාගේ අදහස පරිසි කලාපීය ආරක්ෂාව වෙනුවෙන්ද අප කටයුතු කළ යුතුය. ඒ සඳහා මේ දියකාවා අභ්‍යාසය වැදගත් වන්නේ එය කාවකු නොව රට වෙනුවෙන් වැදගත් වන දියකාවකු නිසාය.

(විශේෂ ස්තුතිය: මාධ්‍ය සහයෝගයට මේජර් නලීන් මාරසිංහ මහතාට)
තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගමගේ

Comments