සිංහල ප්‍රශස්ති කාව්‍ය හා එම කෘතීන්ගේ ඓතිහාසික වටිනාකම | සිළුමිණ

සිංහල ප්‍රශස්ති කාව්‍ය හා එම කෘතීන්ගේ ඓතිහාසික වටිනාකම

දෙවැනි කොටස

සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද බදුල්ලේ සාහිත්‍ය සම්මේලනයේ දේශන අංක - 6

මේ ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය

ශ්‍රී පරාක්‍රමබාහු රජ්ජුරුවන් කාලිංග පරපුරෙන් ආවේයයි
දි න මි ණි කු ල විජය නිරිඳු පරපුරෙනා පුර කලිංග
දි න පැ රැ කු ම් බුජ රජහිමි රාජවෙශ්‍යා බුජංග

යන තැන කීම ඓතිහාසික සත්‍යයකි. එම රජ ලක්දිවට පැමිණියේ දැනට ඔරිසාවයයි කියන පුරාණ කලිංග දේශයෙන් නොව කාලිංගයන් ගොස් පදිංචිවූ කාලිංග දේශය වන සුමාත්‍රාවේ ශ්‍රී විජයපුරයෙන් බව පසුගිය අවුරුද්දේ කෑගල්ලේ පැවැත්වූ සාහිත්‍ය දිනයෙහි ආචාර්ය පරණවිතාන මහතා විසින් උලකුඩයදේවීගේ මංගල්‍යය යන මාතෘකාවෙන් කළ කථාව ඇසූ හෝ කියවූ ඇත්තන් දන්නවා ඇත.

තවද මෙම රජුගේ දැන උගත්කම ගැන කියන (77)
පැ න ය කියන විසඳන කලැ මිළිඳු නිරිඳු සදිසි වාද
වි න ය යුතබිදම් සසමය තකුසත දිඞ්නාග පාද
ස න ය විකුම් පැරැකුම්බා නිරිඳු කිඳුරු මඳුරු නාද
වි න ය විතත වසුමතිපති මව්ළිමාල සුරබි පාද

යන කීම් පසු කාලයේ කීම් මෙන් අතිශයෝක්තියක් නොවන බව මෙම රජුගේ කාලයේ කෝට්ටේ රාජධානියේ ඇතිවූ ශාස්ත්‍ර ඥානය ගැන අලුතෙන් සොයාගෙන ඇති ලියවිලිවලින් දැනගත හැකි දේ ගැන ඇසූවන්ට වැටහේ. එම කාලයේදී දිඞ්නාගපාදයන්ගේ ප්‍රමාණ සමුච්චය පැරැණි සෙල්ලිපි අතුරේ ලියන ලද බව ළඟදී ආචාර්ය පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

පැරැකුම්බා සිරිත සම්බන්ධයෙන් සලකන විට ඒ වැදගත් ඓතිහාසික කෘතියක් හැටියටත් සැලකිය හැකියි. කෝට්ටේ කාලය විශේෂයෙන් සිරි පැරැකුම්බා රජුගේ රජ සමය ගැන පර්යේෂණ කළ දොන් බාරොන් ජයතිලක මැතිතුමා වැනි ශූරීන් පැරැකුම්බා සිරිත තමන්ගේ ඓතිහාසික ලියවිලිවලට ප්‍රතිෂ්ඨා කරගත්තාහුය.

ප්‍රශස්ති කාව්‍යයන් බඳනා ලද්දේ රජවරුන් උදෙසා පමණක් නොවේ. යුඞ සේනාපතීන්ගේ ශූර වීර භාවය ආදි ගුණ කීමට ප්‍රශස්ති කරනු ලැබුණා. සීතාවක පළමුවන රාජසිංහ රජුගේ (ක්‍රි. ව. 1581 - 1593) රජුගේ ගුණ කථනය සැවුල් සන්දේශය ආදියෙන් දැනගත හැකියි. එම රජ්ජුරුවන්ගේ සේනානායක වික්‍රමසිංහ ආදිකරන් ගැන ප්‍රවෘත්ති තවම සීතාවක අසළ පළාත්වල අසන්ට ලැබේ. වික්‍රමසිංහ අදිකාරන්ගේ වලව්ව තිබූ තැනත් සමහරු පෙන්වති. එහෙත් එම මැතිඳුන්ගේ පුවතක් සඳහන් සිංහල ලිපියක් සොයා ගැනීම අමාරුයි. එහෙත් එම අදිකාරම සඳහන් කුඩා ප්‍රශස්ති කවක් තවම අත්පිටපතක් වශයෙන් ඉතුරුව ඇත. එනම් වික්‍රමසිංහ අදිකාරන් වර්ණනාවයි. මෙම කවි පොතේ එන හැටියට වික්‍රමසිංහ අදිකාරන්ගේ සම්පූර්ණ නම සේනානායක සමරදිවාකර වික්‍රමසිංහය. මොහුට සපරගමුවේ දිසාව ද ලැබී තිබුණේය.

සැවුල් සන්දේශයේ සීතාවක රාජසිංහ රජුගේ රාජ සභාවේ විස්තරයක් ඇතත් එම කවි සමය ඇසුරු කළ වර්ණනාවට වඩා එකල පැවැති සිරිත්ම විස්තර කරන තැනක්යයි සිතිය හැකි සීතාවක රාජ සභා වර්ණනාවක් වික්‍රමසිංහ වර්ණනාවේ එන්නේය. රාජ සභාව එක් වන්නේ රාත්‍රියේය. සභාවේ ප්‍රධානියා වික්‍රමසිංහ අදිකාරන්ය. කුඩා වුවත් මෙම පොත සමකාලීන රාජ සභා චාරිත්‍ර දැනගැනීමට බොහෝ සේ ඉවහල් වේයයි සිතිය හැකියි.

අපට ඉතිරිව තිබෙන හටන් කවි පොත් අතුරෙන් ඉතාම පැරැණි වන්නේ දහහත්වන ශතවර්ෂය මුලදී කරන ලද කුස්තන්තීනු හටනයි. මෙම කවි පොතේ කථාව අන්තෝනි බරෙන්තු නම් සිංහළ පෙරෙළියෙකුට විරුඞව කුස්තන්තීනු ද සා ද නොරොඤ්හා විසින් මෙහෙයවූ යුඞයේ විස්තරයත් එම ජනරාළගේ ගුණ කථනයන්ය. එසේ හෙයින් මෙය ද ජනපතියෙකුගේ කීර්තියශස් වර්ණනාවක් හෙයින් ප්‍රශස්ති විෂයෙහිම ලා ගණන් ගත හැකියි.

කුස්තන්තීනු හටනෙන් දැනගත හැකි ඓතිහාසික කරුණුත් වැදගත්ය. සාහිත්‍ය සතිය බදුල්ලේ මෙම අවුරුද්දේ පවත්වන නිසා මෙහිදී පෙන්වන්ට ඕනෑ බදුල්ල සහ එම පළාතත් මේ හටන් කවි පොතේ සඳහන් වන බව.

උඩරට නිරිඳුගෙ න
ඌව තුන්කිඳ ලැබගෙ න
බදුල්ලෙහි ඉඳගෙ න
නනවි සහ සෙබළුන් ලබාගෙ න (14)

පළාතට අයත් සාහිත්‍ය දුර්ලභ වූ ඌව රටේ හෝ බදුලු නගරයේ හෝ ඉතිහාසය ලිවීමෙහි මෙබඳු තැන් බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය.

තවත් කවියකින් මුහුද දක්වාම මෙම ප්‍රදේශයේ ස්ථාන නම් කියවෙන්නේ ය:

 

වෙල්ලස්ස දෙගොඩ ත්
මඩකලපුව පානම ත්
කඳුකර කොස්ගම ත්
වැල්ලවා සහ එතරවාය ත්

තවත් දුරට මෙම පොතේ කවිවලින් කවර ප්‍රදේශ පෙරළියා විසින් යටත් කරගෙන උන්නාදැයි කියවේ. මෙම විස්තර ඒ අන්තොනි බරෙත්තුගේ පෙරළිය පිළිබඳව පෘතුගීසින් ලියූ විස්තර සමඟ සසඳා බලන්ට ප්‍රයෝජන වනවා පමණක් නොව මෙහි කියන ස්ථාන නාම දැන් පවතින ප්‍රදේශ හා ග්‍රාම නාම හා සසඳා බැලීමටත් උපකාරී වන්නේය.

කොළඹ ප්‍රතිකානුන් ගොවේ විසුරේට පණිවුඩ ඇරිය විට නැව්වලින් සේනාව එවූ විස්තරය කියන තැනින් එම කාලේ නාවුක හමුදාවක් ගැන යම්තම්වත් අදහසක් ඇතිකර ගත හැකියි.

 

නෙකයුද දිනූ පෙ ර
එමහත් නැවක් තරකර ර
හැම මේ නිමාක ර
රුවල් සහ කඹ කුඹත් සුලක ර (52)

මෙයින් පෙන්නේ පරණ යුඞ නැවක් ප්‍රතිසංස්කරණය කරගත් බවයි.

නැවට කප්පිත්තන් නංවා, ඉන්පසු

කාලත් තුවක්කු ත්
දිගුතර කයිතුවක්කු ත්
වෙඩි උණ්ඩ බේතු ත්
ලන්ස පටිසාන සහ නනවි ත් (54)

 

රන් රිදී පෙට්ටි ත්
නන්වග පිළීකට්ටු ත්
ලුණැඹුල් දිය දර ත්
නංවමින් නන්වතුන් අනිකු ත් (55)

දහහත්වන සියවසෙහි රුවල් නැව් ලංකාවට ආ හැටි මෙම කවියෙන් දැනගත හැකියි.

 

මාලිම සතර ලෙ ස
තුරු පෙළ බලා නුබ කු ස
ලක්දිවට එන ලෙ ස
රුවල් අදිමින් හළෝ සිඳුකු ස

කැලණිගඟබඩ මල්වාන කොළඹ ළඟට පෘතුගීසින්ගේ මූලස්ථානයක් වූ බවත් මැණික්කඩවර ඔවුන්ගේ කොටුවක් තිබූ බවත් හටන් පොතෙන් කියවේ.

ඊළඟට කුස්තන්තීනු හටනේ යුද්ධ ගමන විස්තරයෙන් සන්දේශ කාව්‍යයක මෙන්ම මල්වානේ සිට ඌව පළාතට ගිය මාර්ගය විස්තර කරනු ලැබේ. ගමන තැනක් තැනක් පාසා නම්කර විස්තර නොකළාට කිය යුත්තක් නම් සබරපුරේ සිට බළන්ගොඩ ගියේ දැන් යන පාරේ නොව නිවිතිගල මඩවලගම කොහොම්පිටිය හා පොල්ලමුරේ හරහායි. පුරාණ මාර්ග දැනගැනීමට හටන් පොත් ඉවහල් වන තැන් බොහෝයි.

කුස්තන්තීනු හටනෙහි මෙන්ම කිරිමැටියාවේ මැතිඳුන් විසින් කළ මහහටනේත් ඉතිහාසය හදාරන්නාට වැදගත් කරුණු ස්වල්පයක් සඳහන් වේ. මෙම පොතේ මුල පරංගින් ගෝවේ සිට කොළඹට ඇවිත් බුවනෙකබා රජ­ුගෙන් ගෙරිසමක් එලන පමණට භූමි භාගයක් ඉල්ලාගන කොටුව බැඳගත් කථාව කියා ඇත. කොලොම්තොට යන නම කොළොම්පුරය බවට පෙරලූයේ ප්‍රතිකාලුන් යයි කියත්.

කො ළොම්තොටය යන නම පෙර ළා පූ
කො ළොම් පු ර ය කියමින් නම ලා පූ

ඉන්පසු ඉතිහාසය ක්‍රමයට කියත්. සීතාවක රාජසිංහ රජ ප්‍රතිකාලුන්ට විරුද්ධ යුද්ධ කළේයි. විමලධර්මසූරිය රජ ප්‍රතිකාලුන්ගේ උඩරට ගන්ට කළ ප්‍රයෝග විනාශ කළේය. සෙනරත් රජ කාලයේ විශේෂයක් සිදු වුණේ නැත. ඉන්පසු පරංගින්ට බැට දුන්නේ මහනුවර රාජසිංහ රජය. කුස්තන්තීනු ජනමැතියා උඩරට යුද්ධයට ඒම සහ ගන්නොරුවේදී ඔහු පරාජය කිරීම මෙහි මහහටන නමින් එන කථාවයි. ගන්නොරුවේ හටනේ වේගවත් වර්ණනාවක් ඉතිහාස පොතක ලීමට මහහටන අතිශයෙන්ම ඉවහල් වන බව කිව යුතුයි.

මහහටනේ අග පරංගි එළවා දැමීමට ලන්දේසින් ගෙන්වන්ට සිංහළේ ඇමැතියන් රාජසිංහ රජුට සැල කළ ප්‍රවෘත්තිය කියනු ලැබේ. මෙම රාජකාරිය පිණිස තානාපතිකමට ගල්ටැඹුවේ මැතිවරයන් ඕලන්ද දේසයට යවති. ඕලන්දයෝ ගාල්ලට පැමිණෙති.

තව කොටසක් ලබන සතියේ...

Comments