ඔබේ දිවි ගමන දෙගුණයක් කරයි | සිළුමිණ

ඔබේ දිවි ගමන දෙගුණයක් කරයි

කොළඹ පොත් ප්‍රදර්ශනය ගැන සටහනක්...

කවර රටක වුවද මහා පරිමණයේ පොත් ප්‍රදර්ශන පවත්වනුයේ නම්, එරට සමාජ සංස්කෘතිය පෝෂණය කිරීමට ද එවැනි පොත් ප්‍රදර්ශන බොහෝ සේ ඉවහල් වෙයි. පොත්පත් ඇසුරු කිරීම මගින් නිර්මාණය වන යහපත් සමාජ සංස්කෘතිය පිළිබඳ ව වූ සිහිනය යම් ප්‍රමාණයකින් යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා වර්තමානයේ දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් ලබාදෙන දායකත්වය ඉතා ම ඉහළ මට්ටමකින් පවතී. දැනුම සහ අවබෝධය වර්ධනය කරන ජාතික හා අන්තර්ජාතික පොත් විශාල ප්‍රමාණයක් අපේ ජන සමාජයට සමීප කරන මේ පොත් ප්‍රදර්ශනය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබේ. එසේම මෑත ඉතිහාසය තුළ අපේ රටේ වැඩි ම ජන සහභාගිත්වයක් සහිත ප්‍රදර්ශනය බවට පත් වී තිබෙන්නේ ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂික ව සංවිධානය කරන මේ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයයි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ කර ඇත්තේ වර්ෂ 1986 දී ය. පසුව ඒ සංගමය විසින් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට යොමු වී ඇත්තේ අපේ රටේ සාහිත්‍ය හා සංස්කෘතිය උන්නතිය වෙනුවෙනි. සෑම විට ම පාඨක අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මුලින් ම පොත් ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ වර්ෂ 1999 දී ය. එහිදී ග්‍රන්ථ ප්‍රකාශකයන් 23 දෙනෙකු ගේ පමණ සහභාගිත්වයෙන් “කොළඹ පොත් සල්පිල” නමින් ජාතික කලාභවන කේන්ද්‍ර කරගෙන ඒ පොත් ප්‍රදර්ශනය පවත්වා තිබේ. එදා ඒ පොත් සල්පිල මෙහෙයවූ සංවිධායකයන්ට වෙ‍ෙළඳ කුටි 34 ක් අලෙවිකිරීම සඳහා පොත් ප්‍රකාශන ආයතන 34 දෙනෙකු සහභාගිකර ගැනීමටද මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇත. ඒ කාල වකවානුව තුළ දී පොත් සල්පිල මෙහෙයවූ සංවිධායකයන්ට ස්වකීය අභිමතය පරිදි විධිමත් ස්ථානයක් නොමැතිවීම හේතුකොටගෙන ගැටලු රාශියකට ද මුහුණ දීමට සිදු වී තිබේ.

එනමුදු ඉන් කිසිසේත් අධෛර්යවත් නොවූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එදා සුළුවෙන් හෝ ආරම්භ කළ ජාතික පොත් ප්‍රදර්ශනය මේ වන විට අන්තර්ජාතික මට්ටමේ සහ අති උත්කර්ෂවයත් පොත් සැණකෙළියක් බවට පරිවර්තනය වී තිබේ. එසේම ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන මේ ප්‍රදර්ශනයට මෙවර ද අන්තර්ජාතික මට්ටමින් ඇගයුමට ලක් වූ, ජාතික හා අන්තර් ජාතික පොත් ප්‍රකාශකයන් පොත් අලෙවිකරුවන් සහ පොත් ආනයනකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබේ. “පොත් ඔබේ දිවි ගමන දෙගුණයක් කරයි” යන තේමාව මුලික කරගෙන 2017 සැප්තැම්බර් මස 15 වන දිනෙන් ඇරඹුණු අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 24 වන දින දක්වා අඛණ්ඩ ව දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ය. එමෙන්ම පූර්ව වර්ෂ සමඟ සන්සන්දනය කිරීමේ දී මෙවර පොත් ප්‍රදර්ශනයට ලක්ෂ දොළහක පමණ දෙස් විදෙස් පාඨක පිරිසක් සහභාගී වනු ඇතැයි පොත් ප්‍රදර්ශන කමිටුවේ අදහසයි.

සැප්තැම්බර් මාසයේ දී පවත්වන මේ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය පොත්පත්වලට මහත්සේ ඇළුම් කරන පාඨක පිරිස් සැමට ම වෙස් වළාගත් ආශිර්වාදයකි. කුඩා දරුවන්ගේ පටන් කියැවීමට රුචියක් දක්වන පාඨක පිරිස් පොත් මිලදී ගැනීම සඳහා සාහිත්‍ය මාසය පැමිණෙන තුරු බලාසිටින්නේ මේ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට පැමිණීමට ය.

එමෙන්ම අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන පරිශ්‍රයට පැමිණෙන කොයිකවුරුත් විවිධ පොත්පත් පරිහරණය කර විනෝදවී තමන් කැමති පොත් මිලදී ගැනීමට ද පුරුදු වී සිටිති. එමෙන්ම පොත්පත්වලට ළැදි තවත් පිරිසක් ග්‍රන්ථ කතුවරන් සහ ලේඛකයන් සියැසින් දැක ඔවුන් සමග කතාබහ කිරීමට ද පෙලඹෙති. ඇතැමුන් පෙර අවස්ථා වලදී පරිහරණය කළ ඇතැම් පොත්පත් ආශ්‍රිතව පැනණැගුණු යම් යම් කාරණා සහ විවිධ ගැටලු පැහැදිලි කරගැනීමට ද පොත් ප්‍රදර්ශන පරිශ්‍රය වේදිකාවක් කර ගන්නා අවස්ථාද පවතී. එපමණක් නොව අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ග්‍රන්ථ ප්‍රකාශනය තව දුරටත් කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කර ගැනීමත්, පළකිරීමට සැලසුම් කර ඇති පොත්පත් වඩාත් ගුණාත්මක ලෙස නිෂ්පාදයකර ගැනීමත්, විවිධ විෂයන් සම්බන්ධ පොත් පත් සුලබ කිරීමටත්,

ප්‍රදර්ශනය පැවැත්වෙන සමයේ දී, නව ප්‍රකාශන එළි දැක්වීමටත්, එකම පරිශ්‍රයක් තුළ දී විවිධ පොත්පත් දැක බලා ගැනීමටත්, නියමිත මිලට වඩා අඩුවෙන් පොත් ලබා ගැනීමටත් අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සැලසී ඇත.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ අදහසට අනුව, පොත් ප්‍රදර්ශනය පොත් ලෝකය තුළ එක්රැස් වන සැමට සුහදත්වය ගොඩනංවන මහා පොත් මංගල්‍යයක් විනා, වාණිජ අරමුණු අපේක්ෂාවෙන් හුදෙක් පොත්පත් අලෙවි කිරීම සඳහා පවත්වන්නක් නොවෙයි. විශේෂයෙන් පොත්පත්වලට ඇලුම් කරන බොහෝ පාඨකයන් අන්තර් ජාතික මට්ටමින් යුක්ත මෙවැනි පොත් ප්‍රදර්ශනයක් නොතිබෙන්නට පොත්පත් මිලදී ගැනීම සඳහා විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇති පොත් සාප්පු වෙත ඇදී යාමට සිදුවනු ඇත.

මෙවර අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ප්‍රදර්ශන කමිටුව විසින් තවත් වැදගත් පියවරක් ගෙන තිබේ. එනම් පොත් ප්‍රදර්ශනය පවත්වන භූමිය පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත්කර තිබීමයි. ඒ ක්‍රියාවලිය මෙවර සාර්ථක වූවහොත් අනාගතයේ අපේ රටේ ජාතික හා අන්තර්ජාතික මට්ටමේ ප්‍රදර්ශන පැවැත්වීමේ දී, හොඳ ආදර්ශයක් සපයා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙවරද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් ගේ සංගමය විසින් ප්‍රදර්ශන භූමියට ඇතුළු වීමේ දී, රුපියල් විස්සක මුදලක් අයකර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ තවත් යහපත් කර්තව්‍යක් ඉටුකර ගැනීම සඳහා ය. ඒ “දරුදිරිය” නමින් පිහිටුවා ඇති ශිෂ්‍යත්ව අරමුදල පුළුල් කරගෙන, එහි ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ආර්ථීක දුෂ්කරතා වලින් පෙළෙන දූ දරුවන්ට ලබා දීමට ය. එමෙන්ම තෝරාගත් ප්‍රදේශවල පුස්තකාල වැඩි දියුණූ කිරීම වෙනුවෙන් වටිනා පොත්පත් ලබාදීමට ද පොත් ප්‍රකාශකයන් ගේ සංගමයේ විශේෂ අවධානය යොමු වී තිබේ. එබැවින් පොත් ප්‍රදර්ශනය නැරඹීමට යන සෑම පාර්ශ්වයක් ම ඇතුළත් වීමේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම සමාජ සත්කාර්යයකට දායක වීමකි.

අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමී ව සිදුකරන තවත් විශිෂ්ටතම අංගයක් වන්නේ වසරෙහි ප්‍රකාශිත ප්‍රශස්ත මට්ටමේ සිංහල නවකතා නිර්මාණ උදෙසා “ස්වර්ණ පුස්තක සම්මාන” පිරිනැමීමයි. මෙහිදී නිර්මාණශීලී සාහිත්‍යකරුවන් නිසි ලෙස ඇගයීමට පාත්‍ර වෙයි. මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් මගින් ප්‍රවීණ මෙන්ම ආධුනික ලේඛකයන් වඩාත් සාර්ථක නිර්මාණ බිහිකිරීම සඳහා තවතවත් පෙලඹෙනු ඇත. ආනන්දය සහ ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා පොත්පත් මගින් ලැබෙන පිටිවහල කිසිසේත් ලඝු කර දැක්විය නොහැකි ය. නූතත සමාජයෙහි බොහෝ තරුණ තරුණයන් නව තාක්ෂණයෙහි බලපෑම මත ගුවන්විදුලිය, රූපවාහනිය, පරිගණකය පමණක් නොව, ජංගම දුරකථන භාවිත කිරීමත් සමග පොත්පත් වලට ඇති ළැදියාව අහිමිකරගෙන ඇත. ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන තරඟකාරී සමාජය තුළ දීල නූතන තරුණ තරුණියන්ට පොත්පත් පරිහරණය කිරීමට ඉතා කුඩා කාලයක්වත් ඉතිරිකර ගැනීමට නොහැකි වී තිබීම අතිශය කනගාටුදායක තත්වයකි.

එනමුදු ශ්‍රී ලංකාව තුළ බෞද්ධ දර්ශනයට අනුකූලව හැඩගැසුණු විනයගරුක තරුණ ප්‍රජාවක් සිටින බැවින්, දැනුමින් පොහොසත් සමාජයක් බිහිකිරීම එතරම් අපහසු කර්තව්‍යක් නොවෙයි. ඒ අරමුණ වෙත වේගයෙන් ළඟාවීමට අන්තර් ජාතික ප්‍රමිතියකට අනුකූලව සංවිධානයවූ මෙවැනි පොත් ප්‍රදර්ශන ඉතා ම ප්‍රයෝජනවත් වෙයි. පොත්පත් කියැවීමට රුචියක් දක්වන දැනුමින් පොහොසත් සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් පොත් ප්‍රකාශකයන් ගේ සංගමය විසින් දල්වන ලද මේ පහන් ආලෝකය හෙට දවසේ දී තව තවත් ආලෝකය විහිදුවනු ඇත.

Comments