පස්යොදුන් කෝරලයේ සිසු දරුවන්ගේ මිණිපහන මතුගම කන්නන්ගර විදු පියස | Page 2 | සිළුමිණ

පස්යොදුන් කෝරලයේ සිසු දරුවන්ගේ මිණිපහන මතුගම කන්නන්ගර විදු පියස

 දිවයිනේ ඇති ප්‍රමුඛතම පාසල් අතුරින් කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරලේ සිසු දරුවන්ගේ මිණිපහනක් බඳු දස දහස් සංඛ්‍යාත දූ දරුවන් ගේ නැණස පහදමින් දිනෙන් දින දිදුලන මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය 75 වසරට පා තබන්නේ මහත් අභිමානයෙනි.

මෙම විදුබිමේ 75 වැනි වසර සැමරීම සඳහා අතිඋත්කර්ෂවත් උත්සව රැසක් සංවිධානය කර ඇත. මෙම වැඩපිළිවෙළ අතුරින් විද්‍යාලීය සාම පා ගමන මෙම සැප්තැම්බර් මස 23 වැනි දින පෙරවරු 7.00 විවිධාකාර අංගවලින් සමන්විත උත්කර්ෂවත් අලංකාර සාම පා ගමනක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙම සාම පා ගමනට විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විවිධ අධ්‍යාපන අංශ ඇතුළත් කරමින් තූර්ය වාදන කණ්ඩායම්, ශිෂ්‍යභට කණ්ඩායම්, සරඹ සංදර්ශන, අධ්‍යාපන අංශවල නිර්මාණ, සංදර්ශන රථ, විවිධ රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශන රථ, හෙලිකොප්ටර් සංදර්ශන ඇතුළත් ය.

විදුහල්පතිනිය වසන්තා කුලසේකර මහත්මිය ඇතුළු ගුරු මඬුල්ල, ආදි ශිෂ්‍ය සංගම්, විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි.

මෙම මධ්‍ය විද්‍යාලීය 1880 දී ආරම්භ වන්නේ ස්වභාෂා ප්‍රාථමික පාසලක් ලෙසිනි. පසුව 1920 දී රජයේ ද්විභාෂා පාඨමාලාව බවට පත්විය. පසුව පස්යොදුන් කෝරලේ ප්‍රධාන පාසලක් ලෙස දියුණු වන්නට පටන් ගත්තේ ය.

මතුගම ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත් වීමත් සමඟ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ මධ්‍ය මහා විදුහල් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගත්තේ ය. ඒ අනුව තමන් උපන් ගම වෙනුවෙන් ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස 1937 දී මෙම විද්‍යාලය ආරම්භ වන්නේ ය.

මධ්‍ය විද්‍යාලය බවට පත්වීමත් සමඟ පාසලේ සියලු පරිපාලන කටයුතු නව ජීවයකින් ආරම්භ වන්නේ ය. සියලු පහසුකම් සහිත ක්‍රමවත් විධිමත් අධ්‍යාපනික ආරම්භ වන්නේ ය‍. පස්යොදුන් කෝරලේ නන් දෙසින් දරුවන් ඇතුළත්වීමට පැමිණීම නිසා කඩිනම් දියුණුවක් ඇති විය.

සිසු දරු දැරියන් 5000 කට ආසන්න පිරිසකගේ සිප් පහන දල්වාලන මෙම විදු මෑණියන්ගේ පරිපාලන කටයුතු අද මෙහෙයවනු ලබන්නේ විද්‍යාලීය ශිෂ්‍යාවක් වන වසන්තා කුලසේන මහත්මියයි. ඇය මෙන් ම මෙම විද්‍යාලයෙන් බිහිවූ ආදි සිසු දරු දැරියන් අද ලංකා භූමියේ පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයින් ගුරුවරුන් හා රජයේ ඉහළ නිලතල හොබවන පිරිසක් වී ඇත. මෙය 75 වන අභිමානවත් සංවත්සරය සමරන කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයට මහත් අභිමානයකි.

විද්‍යාලීය ආදි විදුහල්පතිවරු මෙම විදුපියස භෞතික හා මානව සම්පතින් පෝෂණය කිරීමට මහත් කැප කිරීමක් කොට ඇත. එහි ප්‍රථිඵල විද්‍යාලයේ විෂය හා විෂය සමගාමී ජයග්‍රහණ තුළින් මනාව පැහැදිලි වේ. ඒ තුළින් එදා කන්නන්ගර ශ්‍රීමතාණන් ගේ අභිප්‍රාය ද මල්ඵල ගැන්වී ඇත.

සෑම වසරකම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා සමත්වන සිසු දරුවන්ගේ ප්‍රමාණයේ ප්‍රගතියක් දක්නට ලැබෙන අතර සා.පෙළ හා උ.පෙළ විභාගවලින් සමත්වන සිසුන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. මෙය විදු මෑණියන්ගේ පහස ලබන දරුවන් විද්‍යාලයට දක්වන කෘතවේදී බවකි‍. මේ නිසා සෑම වසරකම විදු මෑණියන්ගේ තුරුලෙන් බිහි වන වෛද්‍ය, ඉංජිනේරු, නීති හා ගණකාධිකාරිවරු ප්‍රමාණය ඉහළ යමින් පවතී. මෙය කන්නන්ගර විද්‍යාලයේ අභිමානයට මහත් පිටුබලයකි. විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි වසන්තා කුලසේකර මසහත්මිය මෙම විද්‍යාලයෙන් ම බිහිවූ ආදි සිසුවියක් වන අතර ඇය තම විදු මව දියුණුව වෙනුවෙන් මේ වනවිට විශාල කැප කිරීමක් කරනු ඇත.

එතුමිය 2014 වසරේදී විද්‍යාලයේ පරිපාලනය භාරගන්නා අතර එහි සිට අද දක්වා ම විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධනය මෙන් ම භෞතික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය උත්සාහයක් ගනු ඇත. විශේෂයෙන් ම ඇයගේ පරිපාලන ආගමනයත් සමඟ විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධනය තුළ ප්‍රගතියක් ලැබුවා සේම විද්‍යාලයේ භෞතික සංවර්ධනය වඩාත් ශීඝ්‍ර වී ඇත. විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ තෙමහල් ගොඩනැඟිල්ලක් දැනට ඉදිවී සිසු අයිතියට පත්වී ඇති අතර තාක්ෂණ විද්‍යාගාරයක් හා තවත් තෙමහල් ගොඩනැඟිල්ලක් දැනට ඉදිවෙමින් පවතී. මීට අමතරව විද්‍යාලීය කීර්තිමත් ආදි සිසුවකු වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවීමට යෝජිත පිහිණුම් තටාකය හා විද්‍යාලය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය මඟින් ඉදිකිරීමට යෝජිත ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා ද මේ වනවිට මුල්ගල් තබා ඇත. එහි ඉදිකිරීම් කටයුතු ද තව නොබෝ දිනකින් ආරම්භ වනු ඇත.‍ මේ සියල්ල ම වත්මන් විදුහල්පතිතුමියගේ ආගමනයත් සමඟ විද්‍යාලයට ලැබුණු භෞතික සම්පත් ය. මතුගම සී‍.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ අභිමානය හා දියුණුව උදෙසා කටයුතු කරන විදුහල්පතිනි වසන්තා කුලසේකර මහත්මිය සිය ආචාර්ය මණ්ඩල‍ෙය් සහාය උපරිම ලෙස ලබාගනිමින් විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධනය සිදු කරනු ලබයි. ඇය ඒ වෙනුවෙන් නිරන්තර උත්සාහයක නියැළෙනු ඇත.

විද්‍යාලයේ වර්තමානය වනවිට පරිපාලන නියෝජ්‍ය විදුහල්පති ලෙස කේ.ජී. චන්ද්‍රදාස මහතා කටයුතු කරන අතර අධ්‍යාපන සම නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස විමලසිරි මාකලන්දාව මහතා කටයුතු කරයි‍. විෂය සමගාමී නි. විදුහල්පති ලෙස හේමන්ත ගුණරත්න මහතා කටයුතු කරන අතර සහකාර විදුහල්පතිවරුන් ලෙස සකුන්තලා රත්නායක මිය, සීතා සෙනෙහෙලතා මිය, මනෝරි ධර්මරත්න මිය හා සුජීව ප්‍රියදර්ශන මහතා කටයුතු කරනු ලබයි. මෙම පරිපාලන මණ්ඩලයේ හා සියලුම අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ගේ සුහදශීලී සහයෝගයෙන් විද්‍යාලය දිනෙන් දින අභිවෘද්ධිය කරා ගෙන යාමට විදුහල්පතිතුමිය සිය කැප කිරීම උපරිම ලෙස සිදු කරනු ලබයි.

වත්මන් විදුහල්පතිතුමිය මෙන් ම ආචාර්ය මණ්ඩලයේ ද විද්‍යාලීය දුවා දරුවන්ගේ ද ඒකායන පැතුම තම විදු මෑණියන් දිනෙන් දින අභිමානවත්ව නවීන ලෝකයට ප්‍රවිෂ්ට කිරීමයි.

මතුගම සංචාරක

Comments