කොයි කන්දත් එකයි | Page 3 | සිළුමිණ

කොයි කන්දත් එකයි

 මේ විශ්ව විද්‍යාල සිසුන්ගේ එකතුවකි. එහෙත් එහි වෙනස වන්නේ ඔවුන් එකමුතු වී ඇත්තේ හැදැරීමට නොව ගවේෂණයට වීමය. සැබෑ විශ්වවිද්‍යාල සිසුවා නියම ගවේෂකයෙකි. එහෙත් විභාග ක්‍රමයට යටපත් වී ඇති විශ්වවිද්‍යාල ජීවිතයේදීද ගවේෂණයට ලැබෙන ඉඩකඩ ප්‍රශ්න කළ යුතු කාලය එළඹ ඇතැයි සිතෙන්නේය.

එසේ වන වටපිටාවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මූලිකත්වයෙන් ගවේෂකයන්ගේ කණ්ඩායම ක්‍රියාත්මකව සිටින්නේය. ඔවුන් ගවේෂණය කරන්නේය. ඒ මේ රටය. මේ රටේ භූගෝලීය පිහිටීමය. දේශගුණික විශේෂතාය. සත්ත්ව සම්පතය. ඒ අතරම ඔවුහු විශ්වවිද්‍යාල සිසුන් සහ ගවේෂකයන් ලෙස තමන්වම ගවේෂණය කරන්නෝය. සැබැවින්ම විය යුත්තේද එයමය. අප ඔවුන් හා කතාවට පිළිපන්නේද එහෙයින්මය.

අද ඊයේ වැඩක් ලෙස පෙනී ගියද විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ ආරම්භය සටහන් වන්නේ 1971 වර්ෂයේදීය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිල් ජේ. විමලවීර මහතාගේ මූලිකත්වයෙනි. මෙම සංගමයේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ පරිසරය ගවේෂණය කරමින් සමාජයට පණිවිඩයක් ගෙන යෑමය. වර්තමානයෙහි මේ සංගමයේ සාභාපතීත්වය දරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එච්.එල්.එස් හෂාන්තය. ලේකම් ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එන්.එච්.ඩී. තාරකය. අප සමග අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ මේ වනවිට අප රටේ තිබෙන උස් කඳු මුදුන් සියල්ලම ඔවුන් මේ වන විට ගවේෂණය කොට අවසන් කර ඇති බවයි සංගමයේ සභාපති හෂාන්ත තම සංගමයේ ක්‍රියාකාරකම් මෙසේ හෙළි කළේය.

"අපි පය නොතබපු තැනක් මේ ලංකාවේ නැහැ. වෙරළබඩ පරිසර පද්ධතීන්, වියළි කලාපීය පරිසර පද්ධතීන්, කඳුකර පරිසර පද්ධතිය සහ දිය ඇලි සියල්ලක්ම වගේ අපි ගවේෂණය කරලා තියෙනවා. නැගෙනහිර වෙරළ තීරය, උතුරු වෙරළ තීරය ගවේෂණය කර තිබෙනවා මධ්‍යම කඳුකරයේ සියලු කඳු ගවේෂණය කොට අවසන්.

ඒ අතරින් පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටපොළ කන්ද, හෝටන්තැන්න ආදියත් අපි තරණය කොට තිබෙනවා.විශේෂයෙන් හෝර්ටන් තැන්නට අයත් කඳු වන අග්‍රාබෝප කන්ද, සමනල කන්ද, ග්‍රේට් වෙස්ටර්න් කන්ද යනාදිය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. නුවරඑළිය ප්‍රදේශයේ කඳු සහ නකල්ස් කඳු පන්තියට අයත් රාම මොල්ලිය, යක්දෙස්සාගල, කළුගල් කන්ද, රෑන කිතුල්ගල, මානිගල කිරිගල්පොත්ත ආදී කඳු සියල්ලත් එහි සත්ත්ව ප්‍රජාවත් අපි ගවේෂණය කොට අවසන්

නකල්ස් කඳු වළල්ලේ කෙහෙල්ගස්දොරුව මෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ තොප්පිගල කන්ද, ලක්ෂපාන ප්‍රදේශයේ සප්තකන්‍යා කඳුවැටිය, මාවනැල්ලේ අශ්රොෆ් කන්ද, උදුරාගල කන්ද, බදුල්ලේ නමුණුකුල කන්ද යනාදිය ගවේෂණය කොට අවසන් කර තිබෙනවා.

මේ ගවේෂණ සඳහා විශේෂ කණ්ඩායමක් සහභාගී වෙනවා. අප සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පමණක් සීමා වී නැහැ. වෙනත් විශ්ව විද්‍යාලයට සිසුන් ද අප සමග එක්වනවා. කඳු නැගීම්, පරිසර පද්ධති ගවේෂණය කිරීම්වලට අමතරව අප සෑම වර්ෂයකම අන්තර් විශ්වවිද්‍යාලයීය ත්‍රාසජනක ක්‍රීඩා තරගාවලියක් පවත්වනවා.අපේ සාමාජිකයන් ලෝකය පුරාවම විසිරී ඉන්නවා. අප ඔවුන් සමඟ අන්තර්ජාලට මගින් සබඳතා ගොඩනඟාගෙන තිබෙනවා. අවුරුදු හතළිස් හයක් පුරාවට අප ගේ සංගමයේ සමාජ මෙහෙවරක නියැළී සිටිනවා. ඇතැම් විදේශිකයන්ද අප සංගමය සමග වැඩසටහන්වලට එකතු වනවා.

අප සංගමයේ ආම්භකයා වූ මහාචාර්ය සුනිල් ජේ. විමලවීර මහතා දැනට අමෙරිකාවේ වාසය කරනවා. අප නොඅඩුව ඔහුගෙන් උපදෙස් සහ මගපෙන්වීම් ලබනවා. අප සංගමය පවත්වා ගැනීමේදී සහ ක්‍රියාකාරීත්වය වඩා වර්ධනය කර ගැනීමේදී එ් උපදෙස් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. අපගේ සංගමයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම කරන්නේ සාමාජික මුදල් වලින්. මේ කටයුතුවලින් පරිබාහිරව අප සියලු දෙනා අපගේ උපාධිය සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් අධ්‍යාපනයේ යෙදෙනවා. මම ඉගෙන ගන්නේ ඉංජිනේරු පීඨයේ. උප සභාපති තිළිණ සඳරුවන් විද්‍යාපීඨයේ. ලේකම් තාරක ඉංජිනේරු පීඨයේ.

අප සංගමය මගින් නොයෙක් තරගාවලි පවත්වනවා වගේම සමාජ හිකතාමී ක්‍රියාකාරකම්වලත් නිරත වෙනවා. ශ්‍රී පාදය වන්දනා සමය අවසන් වූ විට එහි එකතු වී ඇති කැළිකසළ ඉවත් කිරීම සෑම වසරකදී ම අප සිදුකරනවා. අනුරාධපුරයේ පිච්චමල් පූජාව අවසන් වූ විට එහි අවට එකතු වී ඇති අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීම් කරන්නේ අප සංගමය මගින්‍‍. පිච්චමල් පූජාව සංවිධානය කරන ශාන්ති පදනම හා මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව අප කටයුතු කරනවා. සත්ත්ව ප්‍රජාව රැකගැනීමට පොලිතින් ඉවත් කිරීමට අපගේ සංගමය කටයුතු කරනවා. අවුරුද්දකට ගවේෂණ තිහකටත් වඩා පවත්වනවා. මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද අප සංගමය මගින් සිදු කරනවා. ඒ සඳහා අප යොදා ගන්නේ වාර්ෂිකව ඉදිරිපත් කරන අපේ ගවේෂණ වාර්තාවයි. එමෙන්ම සංගමයේ ඡායාරූප ප්‍රදර්ශනයක් ද සෑම අවුරුද්දකම පවත්වනවා. එසේම පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ද සිදු කරනවා. ගවේෂකයා නමින් සඟරාවක් ද අප සංගමය මගින් එළි දක්වනවා. සංගමය මගින් මුද්‍රණය කරන ගවේෂකයා සඟරාව කලක් අඩපණව තිබුණත් මේ වන විට එය යථා තත්වයට පත්වෙලා තිබෙනවා. එම සඟරාව සෑම වසරකදීම එළි දකිනවා. සංගමයේ සාමාජිකයන් එවරස්ට් කන්ද ගවේෂණයටත් එක් වී තිබෙනවා. ඒ වගේම අප සංගමය මගින් ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර පැවැත්වෙන විශාලතම තරගාවලියක් වන අන්තර් විශ්වවිද්‍යාල ත්‍රාසජනක ක්‍රීඩා තරඟාවලිය සෑම වසරකදීම පවත්වනවා. මේ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල නවයක් එක් වනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ හන්තාන ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ බෝට්ටු පැදීම, ගඟ හරහා කඹ ආධාරයෙන් යෑම, පිහිනුම් ක්‍රීඩා වැනි ක්‍රීඩා සඳහා 150ක් විතර පිරිසක් සහභාගී වෙනවා. හන්තාන කඳුකරයේ රාත්‍රියේ කඳවුරු පවත්වා එහිදී ආහාර ගැනීම මෙන්ම නොයෙක් ගවේෂණ කටයුතුවලද නිරත වෙනවා.

අපේ සාමාජිකයන් මෙසේ ගවේෂණයට සහභාගී වූ විට අපේ ආහාරය අප විසින්ම සකසා ගන්නවා. විවිධ දේට දක්ෂ පිරිසක් අප සතුයි. ගවේෂණයේදී නොයෙක් අවස්ථාවල දුෂ්කර ක්‍රියාකාරකම්වලට මුහුණ දෙනවා. මේ දීර්ඝ ගමන්වලදී අපි එම ප්‍රදේශවල සත්ත්ව ප්‍රජාව ගැනත් ශාක වර්ග ගැනත් අධ්‍යයනය කරනවා. ලංකාවට ආවේණික පක්ෂීන් හා මත්ස්‍ය විශේෂ ගැනත් විශේෂයෙන් අධ්‍යයනය කර අධ්‍යයන වාර්තාවක් ද අපි සකස් කරනවා. මේ සියල්ල අප කරන්නේ මහත් කැපවීමකින් යුතුවයි.

මේ අවුරුද්දේ ත්‍රාසජනක ක්‍රීඩා තරගාවලිය ‍මේ සැප්තැම්බර් මාසයේ 22 23 24 දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. අප සංගමය ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය යන ලිපිනයෙන් ඔබට දැනගත හැකියි.

තිලක් පුෂ්පකුමාර සේනානායක 

Comments