ඉන්දීය මාධ්‍යවේදිනී ගෞරී ලන්කේෂ් මරාදැමුවේ කවුද? | සිළුමිණ

ඉන්දීය මාධ්‍යවේදිනී ගෞරී ලන්කේෂ් මරාදැමුවේ කවුද?

 ඉන්දියාවේ කර්ණාටක් ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයද ‍එරට සෙසු ප්‍රධාන නගරවලින් වැඩි වෙනසක් දක්වන්නේ නැත. දිල්ලිය ඇතුළු සෙසු නරගවල මෙන්ම මේ නගරයේද වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර ආදි වූ මෙකී නොකී ගැටුම්වල කිසිදු අඩුවක් නැත. මේ කලවම් හොද්දට තවත් රසකාරක එකතු කළ කර්ණාටක් මාධ්‍ය අතර 'Lankesh Patrike' නමින් වූ සුප්‍රසිද්ධ සඟරාවක්ද විය. මේ සඟරාවේ සංස්කාරකවරිය වූයේ ගෞරී ලන්කේෂ් නම් වූ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියකි.

ඇය ඇයගේ මාධ්‍ය භූමිකාවත් සමග කාර්යබහුල වූ අතර, ඉන්දියාවේ සාම්ප්‍රදායික කාන්තාවගේ ජීවන රටාව වෙනුවට ඇයට නූනත වෘත්තියවේදිනියකගේ ජීවන රටාව උරුම කරගත්තාය. එමගින් ඇය සමාජයේ කිසියම් කැපීපෙනෙන චරිතයක් බවටද පත්ව තිබිණි.

පසුගිය අඟහරුවාදා රාත්‍රිය උදා වීමත් සමග කාර්යාලයේ තම කටයුතු අවසන් කළ ඇය මෝටර් රථයෙන් නිවෙස කරා පැමිණියාය. එහෙත් ඇයට නිවෙසට ඇතුළු වීමට ඉඩ ලැබුණේ නැත. ඒ වෙනුවට ඇයගේ මඟ හරස් කළ හඳුනා නොගත් මිනිස්සු කිහිප දෙනෙක් ඇයගේ සිරැර පසාරු වන සේ වෙඩි කිහිපයක් මුදාහළහ.

ඉන්දියාවේ තවත් ජනමාධ්‍යවේදිනියකගේ ඝාතනය ඒ සමඟ වාර්තා වූ අතර, 1992 සිට බලන විට ගෞරී ලන්කේෂ්ගේ ඝාතනය 28 වැනි ජනමාධ්‍යවේදී ඝාතනය ලෙස වාර්තා පොතට එක් විය.

ගෞරී ලන්කේෂ් මරාදැමීම කවුරුන් විසින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි මේ දක්වා කිසිදු හෝඩුවාවක් සොයාගෙන නැත. ඇයගේ ඝාතනයට සැක කළ යුත්තේ කවුරුන්දැයි අනුමාන කිරීමට තවමත් කාලය වැඩි බව කර්ණාටක් පොලීසියේද අදහස වී තිබේ.

බැංගලෝර පොලීසියේ වගකිව යුතු ධුරයක් හොබවන ආර්කේ දත්තා නමැති පොලිස් නිලධාරියා පවසා තිබුණේ ගෞරී ලන්කේෂ් යනු නිතර තමාට මුණගැසෙනා මධ්‍ය‍වේදිනියක බවත් එහෙත් එලෙස මුණගැසුණු කිසිදු අවස්ථාවක තමන් මරණ තර්ජන ඇතැයි ඇය පවසා නැති බවත්ය.

එහෙත් රටම දන්නා කරුණක් වී ඇත්තේ 2016 වසරේදී තම සඟරාවේ පළ කළ ලිපි කිහිපයක් හේතුවෙන් අන්තවාදී හින්දු භක්තික සංවිධාන කිහිපයක්ම ඇය සමඟ අමනාපයෙන් සිටි බවයි.‍ කෙසේ වුවද තහවුරු කිරීමට කිසිදු සාධකයක් නැති වීම හේතුවෙන් මේ දක්වා අන්තවාදි හින්දු සංවිධානවලට චෝදනා එල්ල කිරීමට කිසිදු පාර්ශ්වයක් ඉදිරිපත් වී නැතැයි ඉන්දීය ප්‍රවෘත්ති සේවා වාර්තා කර තිබේ.

කෙසේ වුවද ගෞරී ලන්කේෂ්ගේ ඝාතනයත් සමග පසුගිය බදාදා දිනයේ සිට ඉන්දියාව පුරා උද්ඝෝෂණ කිහිපයක්ම ක්‍රියාත්මක විය. මාධ්‍යවේදීන්ගේ සංවිධාන කිහිපයක් එකතුවෙන් නව දිල්ලියේදී පැවති ප්‍රධාන උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර මාධ්‍යවේදිනියන්ගේ සංවිධාන ඒ අතර ඉදිරියෙන්ම විය. උද්ඝෝෂණ සඳහා සහභාගි වූ පිරිස් ප්‍රකාශ කර සිටියේ මෙවැනි ඝාතන ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවයි.

එහෙත් ඉන්දියාවේ හැටි දන්නා බොහෝ දෙනා පවසන්නේ ඉන්දියාව විශේෂයෙන්ම බැංගලෝරය නම් මෙවැනි ඝාතන සහ කඩාකප්පල්කාරි ක්‍රියාවලට ආගන්තුක නගරයක් නොවන බවයි. 

 

Comments