පොලිස්, වෛද්‍ය, විදුහල්පති 36ක් අල්ලස් කොමිසම් දැලට හසු වෙති | Page 2 | සිළුමිණ

පොලිස්, වෛද්‍ය, විදුහල්පති 36ක් අල්ලස් කොමිසම් දැලට හසු වෙති

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මේ වන විට සාර්ථක වැටලීම් 36ක් කර ඇති අතර, එහිදී 36 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සිළුමිණට පැවැසීය. මේ අතර විශේෂඥ වෛද්‍යවරයකු, විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන්, සුරා බදු පරීක්ෂකවරුන්, වන ජීවී නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීෂකවරුන් මෙන්ම රාජ්‍ය සමාගම් කළමනාකරුවන්ද වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වසරේ සැප්තැම්බර් දක්වා පමණක් එම කොමිසමට පැමිණිලි 1906ක් ලැබී ඇති බවත්, මේ වන විට එම කොමිසම විසින් අධිකරණයේ නඩු 58ක් ගොනු කර ඇති බවත් සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසූයේ අධිකරණයේ පවරා ඇති මෙම නඩු 58න් 29ක් මහේස්ත්‍රාත් අධිකරණයටත්, 29ක් මහාධිකරණයටත් යොමු කර ඇති බවත්ය. මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැරූ දූෂණ නඩු අතර හිටපු ගුවන් සේවා ඇමැතිවරයකු, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු, ගුවන් සේවා අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු, ලක්සල හිටපු සභාපතිවරයකු හා අධ්‍යක්ෂකවරයකුද වන බවද ඔහු පැවසීය. මීට අමතරව මහාධිකරණයේ පැවැරූ අල්ලස් නඩු අතර ඇවන්ගාඩ් සභාපති, යුද හමුදා මේජර්වරයකු, දිසා විනිසුරුවරයෙක්, සුරා බදු කොමසාරිස්වරයකු, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද වන බනව පවසයි.

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ මේ වසරේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැරු නඩු 9ක්ද, මහාධිකරණයේ පැවැරූ නඩු 37ක්ද අවසන් කර ඇති බවයි. එසේම පසුගිය වසරවලට සාපේක්ෂව අධිකරණය මඟින් වැඩිම පිරිසක් විත්තිකරුවන් කර ඇත්තේ මේ වසරේය. 

Comments