
ලාංකේය ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන උතුර - දකුණ - නැගෙනහිර සහ බටහිර බෙදී වෙන්නොවී මුළුගැන්වෙන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර කොටවිල පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියෙන් නිමා වේ. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති උත්සව අගමැතිවරයාගේ මෙන්ම ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල දකුණේ මාතර පැවැතිය ද, මීට පෙර 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට යෝජනා වී තිබුණේ සබරගමු පළාතේ රත්නපුරයේදීය.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රීඩා 25 කින් සමන්විත වන අතර 22 - 23 සහ 24 දා පැවැත්වෙන මලල ක්‍රීඩා ඉසව්වලින් මෙකී උළෙල නිමාවට පත්වේ.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම යාපනයේ සිට මාතර දක්වා ගමන් ආරම්භකර තිබේ. පුරා දින 22 ක් පළාත් නවයකදී, දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගමන් කිරීමට නියමිතය. මෙහිදී යහපත් හෙටක් වෙනුවෙන් පාරිසරික වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක්ද සංවිධානය කර තිබේ.
මේ අතර ක්‍රිකට්, බැඩ්මින්ටන්, අත්පන්දු, වොලිබෝල්, බොක්සිං, පාපන්දු, වෙරළ කබඩි, පිහිනුම්, කඹ ඇදීම, කායවර්ධන තරග මේ දිනවලදී පැවැත්වේ.
1972
1972 සුගතදාස පිටියේ පැවැති පළමු ජාතික මහා ක්‍රීඩා උළෙලේ දකුණු පළාතේ මුතුලක්ෂ්මි කොඩිකාර කාන්තා උස පැනීමේ ඉසව්වේද අඩි 4.7 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, පසුගිය වසරේ උතුරු පළාතේ යාපනයේ පැවැති ප්‍රථම ජාතික මහා ක්‍රීඩා උලෙලේ දකුණු පළාතේ නිමාලි ලියනආරච්චි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමත් විශේෂත්වයකි.
42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පළමුවරට රන් පදක්කම් සියය ඉක්මවූ බස්නාහිර පළාත සුපුරුදු පරිදි ජනාධිපති කුසලානය උතුරින් - බස්නාහිරට රැගෙන එනවිට, එතෙක් අනුශූරතාව වැඩිම වාරයක් හිමිකරගෙන සිටි මධ්‍යම පළාතෙන් එය ඩැහැ ගැනීමට මෙවර සත්කාරකයන්වන දකුණු පළාත සමත් විය. එමෙන්ම ගෙවී ගිය වසරේ මලල ක්‍රීඩා කාන්තා ශූරතාව ද දකුණු පළාතට හිමිවිය. පිරිමි ශුරතාව බස්නාහිර පළාතට හිමිවිය.
පසුගිය වසරේ මලල ක්‍රීඩා තරගාවලියේ නව ශ්‍රි ලංකා වාර්තා හතරක් බිහිවිය. ඒ මිටිය විසි කිරීමේ ඉසව්වේදී තාරුකා ප්‍රනාන්දු, රිටි පැනීමේ ඉසව්වේ ඉෂාර සඳරුවන් සහ අනිතා ජෙගදීස්වරන් සහ මීටර් 800 ඉසව්වේ නිමාලි ලියනආරච්චියි. මේ ශ්‍රී ලංකා වාර්තා හතරට අමතරව නව තරග වාර්තා හතරක්ද පිහිටුවිමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
2010 සිට අඛණ්ඩව ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වූ දකුණු පළාතේ මංජුල කුමාර විජේසේකරට පසුගිය වසරේ එකී සම්මානය අහිමි වුවද, මීටර් 2.16 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේය.










