ශූර කුටුම්බ විවරණයක් | සිළුමිණ

ශූර කුටුම්බ විවරණයක්

කර්තෘ: චූලාභය ශාන්ත කුමාර හේරත් ප්‍රකාශනය: සුරස ප්‍රකාශකයෝ මිල: රු. 700

ජීවිතය යනු කුමක්දැයි යන්න අරභයා පවතින නිර්වචන රාශියකි. ඒ නිසිදු තැනකදී ජීවිතය යනු සැහැල්ලුවෙන් හා ක්‍රමානුකූලව ගලා යන නදියක් සේ අර්ථ දක්වන තැන් දුලබ ය. කෙසේ නමුදු බහුතරයකගේ ප්‍රාර්ථනාව වන්නේ එබඳු ජීවිතයකි. ප්‍රාර්ථනා හැම විට ම යථාර්ථය විෂයෙහි සාක්ෂාත් නොවේ. ජීවිතය විවරණයට බට කිසිවකුටත් ඉන් මඟ හැර යාම අසීරු ය. එහෙත් හැමෙකෙකු ම ජීවිතය විවරණය මුල් කොටගත යුතු යැයි පැවසීමට නුපුළුවන. ඇතැමකු ජීවිතය විවරණය මුල් කොටගන්නේ සිතා මතා ම ය. තවෙකකු ඒ විලාසිතාවක් පරිද්දෙනි.

චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ අලුත් ම නවකතාව ‘සඛී භාර්යා’ කියවන විට ජීවිතය සම්බන්ධයෙන් යට කී ආකාරයේ සිතුවිලි පැන නඟින්නේ නිරායාසයෙනි. ඒ ‘සඛී භාර්යා’ හිදී චූලාභය ස්ත්‍රියකගේ ජීවිතයට ප්‍රමුඛ කොට ගැනීම හරහා ය. ඇගේ ජීවිතය විවරණයෙන් ඔබ්බට යාමේ අධ්‍යාශයක් ඔහු නො පෙන්වයි. කොහොමත් චූලාභය ප්‍රකට නවකතාකරු‍වකු ගේ හඳුනා ගත හැකි නොවේ. ‘සඛී භාර්යා’ ඔහුගේ දෙවන නවකතාවයි. නමුත් ජීවිතය සම්බන්ධයෙන් වන ඔහුගේ අත්දැකීම් පරාසය ගුවන් විදුලිය ඔස්සේ පුළුල් ව‍ූ බවට කිසිදු සැකයක් නැත.‍ එහිලා ලබාගත් ජීවිත පරිඥානය ඔහුව පොහොසත් නවකතාකරුවකු කරන්නේ දැයි කියා සොයා බැලීමට ‘සඛී භාර්යා’ අනගි නිමිත්තකි.‍

ප්‍රබුද්ධ හා විචක්ෂණශීලී පාඨකයන් ඉලක්ක කොට ගනිමින් එක හුස්මට කියැවිය හැකි නවකතා රචනයට හැම නවකතාකරුවකුම උත්සුක නොවන සැටියකි. අතිශය සංකීර්ණ රටා සහිතව ලියැවුණු වඩා නිර්මාණශීලී නවකතා සම්මාන ආදිය ද ලබමින්, නො එසේ නම් සම්මාන සඳහා නිර්දේශ වෙමින් නවකතා වෙළෙඳ පොළ ජය ගනිද්දී එක හුස්මට කියැවිය හැකි සරල ආකෘති කරා පැමිණෙන නවකතා බැහැර නොකිරීමට කල්පනාකාරී විය යුතු ය. නොයෙක් සම්මාන ප්‍රදානෝත්සව නිසා නවකතා අධි නිශ්චය වන මෙ සමයේ ඒ කෙරෙහි සැලකිලිමත් වීම කෙසේවත් නිෂ්ඵල නොවන්නකි.

‘සඛී භාර්යා’ ඔස්සේ චූලාභය ස්ත්‍රියකගේ හැල හැප්පීම් සහිත, අත්දැකීම් බහුල, වරෙක වේදනා කාරී, තවත් වරෙක ආස්වාදජනක ජීවිතය විවරණයට අවතීර්ණ වන්නේ වෙසෙසින් ම මැද පංතික හා ඉහළ මැද පංතික කුටුම්භය පිළිබඳ විග්‍රහයක් සහිතව ය. ඒ මවුපිය දූ දරු සබඳතා සම්බන්ධයෙනි. ජයම්පති නමැති ධනවත් වැන්දඹු ව්‍යාපාරිකයා මැදිවිය ගෙවී යන සමයේ පෙමින් බැ‍ඳෙන්නේ දෙවසරක කටුක විවාහයකින් හෙම්බත් ව තනිපංගලමේ දිවි ගෙවන ගුරුවරියක සමඟිනි. එය ජයම්පතිගේ දියණියන්ට, බෑනාවරුන්ට සේම ගෘහ සේවිකාවට ද, මිතුරනට ද බලපාන ආකාරය විෂයෙහි ච‍ූලාභය කුටුම්භය ප්‍රශ්න කරන අවස්ථා කරා ද සේන්දු වෙයි. ‘සඛි භාර්යා’ යනු සම්ප්‍රදායික කුටුම්භය ප්‍රශ්න කරන නවකතාවක් සේ හඳුනා නොගත යුතු ය. නමුත් සම්ප්‍රදායික කුටුම්භයේ එන සීමා, එහි නො වෙනස් වන සුළු බව නිසා මතුවන ගැටලු, නූතන කුටුම්භයක් පිළිබඳ අදහස් බැහැර නොකරන්නට චූලාභය ප්‍රවේශම් වෙයි. ඇරත් ‘සඛී භාර්යා’ නවකතාවක් සේ මනා ඒකමිතියක් ප්‍රකට කරන්නේ ම එම ‘කුටුම්භ’ විවරණය නිසාවෙනි.

ඉන් කුටුම්භය රැක ගැනීම සේ ම එය වෙනත් ආකෘතියක් කරා රැගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ නවකතාවකට පාඨකයා සූදානම් කෙරේ. නවකතාවේ පළමු පරිච්ඡේදය කියවා අවසන් කිරීමත් සමඟම පාඨකයාට සිදුවන්නේ චූලාභ‍යගේ අත්අඩංගුවට පත්වන්නට ය. ඒ අකමැත්තෙන් හෝ නීරස, හැඟීමකින් යුතුව නොවේ.‍ රසාලිප්ත බස් වහරකින් චූලාභය සිය පාඨකයා අත්අඩංගුවට ගැනීම අවධාරණය කරයි.

එසේ ම තමන්ගේ ඉලක්ක පාඨක පිරිස කවුරුන් දැයි කියා යම් අදහසක් සරි කර ගන්නට ද චූලාභය කල්පනා කළේ යැයි සිතේ. පළමු කොට ම ඒ නව කතා පරිශීලනය ජීවිතය හා සමාජය පිළිබඳ නව ඥානයක් උපදවන මඟක් සේ දකින පාඨකයන් ය. දෙවනුව නම් සැලකිය යුතු ජීවිත අත්දැකීම් සහිත පාඨකයන් ය. පනස් විය සපුරන්නට ආසන්න ජයම්පති පෙමින් බැ‍ඳෙන සුජාතා හතළිස් තුන් හැවිරිදි ය. ජයම්පතිගේ වැඩිමහලු දියණිය විවාහක ය. එක් දරු මවකි. බාල දියණිය ද විවාහයට සූදානම් වන්නියකි. ස්ත්‍රි - පුරුෂ ප්‍රේමය, කායික සබඳතා ආදී මානුෂික හැඟීම් චූලාභය විසින් ගොනු කරනු ලබන්නේ ජීවිතයේ පසු අවදියට‍ ලක ලැහැස්ති වන ජයම්පති හා සුජාතා ආශ්‍රයෙනි.

ජයම්පති, සුජාතා හා සෙසු භූමිකා ‘සඛී භාර්යා’ නවකතාව තුළදී ලබන අත්දැකීම් තත්‍ය ලෝකයම පිළිබිඹු කරන වග සඳහන් කළ යුතු ය. නවකතාව අග හරියේදී සුජාතාට වසර විසි ගණනකට ප්‍රථම ලද දරුවා, ජයම්පතිගේ බාල දියණිය විවාහ වන්නට සූදානම් පෙම්වතා යැයි චූලාභය පවසන්නේ අතිශයෝක්ති බැහැර කරමිනි. නවකතාවේ සමස්තය නො දැක ඒ කරුණ විනිශ්චයේදී මතු කෙරෙන්නේ එහි එන විශ්වාසනීයත්වයට අදාළ කාරණා ය. ඒ එම සබඳතාව දෛවෝපගත අදියරත් කරා යන අන්දම අපැහැදිලි නොවන හෙයිනි. කෙසේ වෙතත් නවකතාවේ සමස්තය සමඟ මෙතැනට එන කල හැඟී යන්නේ තත්‍ය ලෝකයේ ජීවිතය තුළද එබඳු බොහෝ අහම්බයන් සම්මුඛ වන්නේය යන්න ය.

තත්‍ය ලෝකය මතම රැඳී සිටීමට චූලාභය දක්වන අධිකතර කැමැත්ත නිසා සුජාතාගේ අත්දැකීම් බහුල - සිදුවීම් බහුල ජීවිතය වියුක්ත ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා කරා ද ගමන් කරයි. සුජාතාගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අභිප්‍රායක් පාඨකයා තුළ ද මෝදු වේ. එහි සාධනීය ම ප්‍රතිඵලය වන්නේ සුජාතා අභව්‍ය චරිතයක් වීමෙන් වැළැකීමයි. ඈ ගන්නා හදිසි තීරණ ඇගේ චරිතයේ අභව්‍ය ලක්ෂණ ඇති මග නො කියවනවා ම නොවේ. නමුත් චූලාභය සූක්ෂ්ම ලෙස මීළඟ පියවරක් අනුගමනය කරන්නේ එය යටපත් කරමිනි; බැහැර කරමිනි. සුජාතාගේ චරිතය සත්තකින් ම අභව්‍ය වූයේ නම් ජයම්පති හා ඔහුගේ පවුලේ උදවියගේ චරිත පුළුල් අර්බුදයක් කරා යාමට ඉඩ තිබිණ.

සුජාතා යනු ඒ ඒ අවස්ථාවනට අනුව වෙනස් වන, ස්වකීය තීන්දු - තීරණ වහා හකුලා ගන්නට නොපැකිලෙන ස්ත්‍රියක සේ නිරූපණය කිරීමට චූලාභය දක්වන කැමැත්ත ‘සඛී භාර්යා’ හි සාධනීය අංගයක් බඳු ය. කිසිසේත් ම සුජාතාට සීමාව ඉක්මවූ අනුකම්පාවක් හෝ වීරත්වයක් හිමි කර නොදේ. වරක් ඈ විදේශයකදී විදේශිකයකු හා උණුසුම් යහන්ගත වීමකට එක්වන අන්දම ද සඳහන් ය. නවකතාව නිමා වන්නේ සුජාතා සිය ප්‍රියතම සමාජ සේවා කාර්යයට එක්වන බව පවසමිනි. නමුත් එසැණින් ම ඈ ජයම්පති දැක හඬා වැටෙයි. කෙසේ වුව ද ජයම්පති අරභයා සුජාතා තුළ ඇති වන පළමු වෙනස්වීම් මාලාව රචනා කිරීමේදී චූලාභය දක්වන්නේ වඩා පරිණත ඉවසීමකි.

‘සඛී භාර්යා’ විෂයෙහි සමාජයීය හෝ දේශපාලනික කියැවීමකට ඉඩක් නොමැති බව පැහැදිලි ය. එනිසා එය ඉහළ මැද පංතියේ කුටුම්භය පිළිබඳ දේශපාලනික කියැවීමක් කරා නොයයි. එක අතකට එසේ කළේ නම් ‘සඛී භාර්යා’ එක හුස්මට කියැවිය හැකි නවකතාවක් නොවන්නට ද ඉඩ තිබිණ. එහෙත් එය වඩා ගැඹුරු - මනුෂ්‍ය ස්වභාවයේ එන නොයෙක් සසලවීම් හසු කර ගන්නා නවකතාවක් විය හැකිව තිබුණේ යැයි සිතේ. චූලාභයගේ එක් මූලික බලාපොරොත්තුවක් වී ඇත්තේ වැඩි පාඨක පිරිසකගේ සහභාගිත්වය සපුරා ගැනීමයි‍. නමුත් එය සිදු කළ යුත්තේ අර්ථාන්විත ලක්ෂණ මුළුමනින් ම බැහැර නොකරන පිළිවෙතකිනි. ඒ අනුව ඔහු හැසිරෙන්නේ ප්‍රබුද්ධ හා විචක්ෂණශීලී පාඨකයන් මෙන් ම නවකතා පරිශීලනයට මනාප සෙසු පාඨක කණ්ඩායම් ද අමතමිනි.

Comments