
සිංහල නවකතාව හා දේශීය සාහිත්‍යය සම්ප්‍රදාය යන ශිර්ෂයෙන් 2017.05.28 වැනි සත්මඬල අතිරේකයේ පළ වු දයාපාල ජයනෙත්ති මහතාගේ ලිපියද ඊට පිළිතුරු වශයෙන් රවී තිලකවර්ධන හා සෝමසිරි කස්තුරිආරච්චි යන මහතුන් දෙපළත් විසින් ලියන ලද ලිපි ද අධ්‍යයනය කිරීමෙන් පසුව මේ ලිපිය ලිවීමට අදහස් කළෙමි.
මේ සංවාදයට එක් වෙන්නට කලින් මගේ අදහසක් නොතිබුණත් 2017 ජුලි 23 වැනි දින දයාපාල ජයනෙත්ති මහතාගේ ම නමින් පළවු “සම්භාවනීය ලේඛකයන්ට ගරහන්නෝ කවරහුද? යන ලිපිය කියැවීමෙන් පසු, මේ මහා ලේඛකයන් දෙදෙනාගේ ම නවකතා අගය කරන්නකු ලෙස මෙසේ අදහස් ස්වල්පයක් මේ සංවාදයට එක්කරමි.
ඉහත ලිපියෙන් සම්භාවනීය ලේඛකයන්ට ගැරහීම හෙළා දකින ජයනෙත්ති මහතා ම අඳ බැතියෙන් ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වා බටහිර නවකතා වැලඳගත් බව පැවසීමෙන් මේ සංවාදය ඉදිරියට යා යුතු මඟින් වෙනස් වු බව මගේ අදහසයි. ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වා වැනි බුද්ධිමතකු බටහිර නවකතාවෙන් ළදරු අවධියක පැවති දේශීය ප්‍රබන්ධ සාහිත්‍ය පෝෂණය කළ බව ඔහු විසින් ම සඳහන් කර ඇත. අවිචාරයෙන් එය වැලඳගත් බවක් පැවැසීම ඒ ලේඛකයා අවතක්සේරුවට ලක් කිරීමකි. සිල්වා ශූරීන්ගේ විචාර බුද්ධිය ගැන ප්‍රකට සමාජ විද්‍යාඥයකු වු මහාචාර්ය නන්දසේන රත්නපාලයන්, කරන ඇගැයීමක් පහතින් දක්වමු.
“හිඟන ජීවිතය විශේෂයෙන් ම ජනශ්‍රැතිය ගැන ඩබ්ල්යු. ඒ. සිල්වාගේ තිබු ප්‍රත්‍යක්ෂ අවබෝධය මට පැහැදිලි වූයේ, හිඟන සමාජයේ ජීවත් වී මා විසින්ම ඒ ජීවිතය අත් දැක ගත්තාට පසුවය”
පිටුව - 24 - ශ්‍රී ලංකාවේ යාචකයා
ඩබ්ල්යු. ඒ. සිල්වා නවකතාකරුවකු හැටියට හිඟන්නන් මේ තරම් යථාර්ථවාදී ලෙස හඳුනා ගැනීම අද අප විස්මයට පත් කරයි. හිඟන ජීවිතය ගැන කෙළින් ම අත්දැකීම් නොලබා ඇස දුටු දෙයින් මෙන් සැබෑ නිරූපනයක් කිරීම සදහා ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වාට තිබු පරිකල්පනා ශක්තිය අප අගය කළ යුතුය.
පිටු - 25,26 - ශ්‍රී ලංකාවේ යාචකයා 1996 - මුද්‍රණය
ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වාගේ දෛවයෝගය අමු අමුවේ කොපිකර වික්‍රමසිංහයන් ගම්පෙරළිය නිර්මාණය කළ බවක් සෝමසිරි කස්තුරිආරච්චි මහතා සඳහන් කර ඇත. ඒ අදහස තරයේ ම ප්‍රතික්ෂේප කරන ජයනෙත්ති මහතා එය (දෛවයෝගය) 1936 ප්‍රකාශයට පත්වෙන්නට වසර 2 කට පෙර වික්‍රමසිංහයන්ගේ සිත තුළ කළලයක් ලෙස පිළිසිඳ ගත් අදහසක් බව සාක්ෂි සහිතව ම පැහැදිලි කරයි. මෙහිදී මම ද ජයනෙත්ති මහතා සමඟ එකඟ වෙමි. එහෙත් “මෙය මින් පෙර කිසිදු විචාරකයකු පළ නොකළ අභූත මතයකි” යනුවෙන් සඳහන් වුයේ සුළු අතපසුවීමකින් විය යුතුය. 1960 දශකයේ මැදකාලයේ “කයිසාරුවත්තේ මුහම්දිරම් වලව්ව බවට පත්වුයේ පර්වත විමානයද”? යන ශීර්ෂය රැගත් ලිපියක් “සිළුමිණ” පුවත්පතෙහි පළවී තිබුණි. මට එහි දිනය හෝ ලේඛකයාගේ නම හෝ අමතක බව කණගාටුවෙන් කිව යුතුව ඇත. ඉහත සඳහන් කළ මාතෘකාවද යම් සුළු වෙනසක් තිබෙන්නට පුළුවන. එසේ වෙතොත් ඊට සමාවෙන්න.
මාර්ටින් වික්‍රමසිංහයන් ද ජීවතුන් අතර සිටි ඒ අවදියේ, ප්‍රකට ලේඛකයන් දෙදෙනකු ගැන පළ වුණු ආන්දෝලනාත්මක ලිපියක් විවාදයට බඳුන්වීම සාමාන්‍ය තත්ත්වය වුවත්, යථෝක්ත ලිපියේ සත්‍ය අසත්‍යතාව ගැන විමසීමට කිසිවකු ඉදිරිපත් නොවු බව මගේ මතයයි. එය සාකච්ඡාවකට යොමු නොවුයේ ඒ කිසිම වැදගත් කමක් නැති මුසාවක් නිසාම විය යුතුය. බොහෝ ඇසු පිරූ තැන් ඇති සෝමසිරි කස්තුරිආරච්චි මහතා “දෛවයෝගය” හා “ගම්පෙරළිය” වඩාත් විමර්ශනශීලී ව අධ්‍යයනය කළා නම් මෙවැනි බේගලයක් ඇද බෑමෙන් වළකනු ඇත. විශ්ව සාහිත්‍යය අධ්‍යයනය කිරීමේදී - බොහෝදුරට සමාන කම් ඇති කතා වස්තු අපට හසු වේ. බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් නමැති ජර්මන් නාට්‍ය රචකයාගේ “හුණුවටයේ කතාව” ත් උම්මග්ග ජාතිකයේ එන දාරක පැනයත් එවැන්නකි. එහෙත් වික්‍රමසිංහ මහතා ද රෝහිණි සහ මඩොල්දූව යන නිර්මාණ වලදී බටහිර නවකතාවල ආභාසය ලබා ඇති බව සිල්වා මහතා සඳහන් කර ඇත.
ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වා ශූරීන් නවකතා සක්විති බවට පත් කළේ පාඨකයන් විසින් බව රවි තිලකවර්ධන මහතාගේ ලිපියේ සඳහන් වෙයි. මා දන්නා තරමින් සිල්වා ශූරීන්ට “සාහිත්‍යය කීර්ති” යන ගෞරවනීය නාමය පුද කළේ ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙනි. එය එවකට ලංකාදීප මුල් පුටුව හෙබවූ ඩී. බී. ධනපාලයන්ගේ අදහසක් අනුව ක්‍රියාත්මක වුවක් බව පැවසෙයි. එතැන් සිට සිල්වා මහතා හැඳින්වීම සඳහා “නවකතා චක්‍රවර්තී” යන අන්වර්ථ නාමය ප්‍රකට වූ බව “කතා රජ කතාවේ” සඳහන් වේ. එංගලන්තයෙන් පුද කෙරෙන “නයිට්” නාමයනට වඩා සිල්වා ශූරීන් සාහිත්‍යය කීර්ති යන ගෞරව නාමයට කැමැත්තක් දැක්වූ බව වැඩි දුරටත් එහි සඳහන් වේ. ජීවත් ව සිටියදී එතුමා අගැයීමට ලක්වු එක ම අවස්ථාවද එය ය යනු මගේ විශ්වාසයයි.
මේ සංවාදයට බඳුන් වී ඇති මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සහ නවකතා සක්විති ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වාත් මිතුරන් බවට පත්වූයේ, සිල්වා ශූරීන් “සිරිසර” සඟරාව සංස්කරණය කළ අවදියේදී ය.
එවකට මඩකලපුවේ වෙළඳ ආයතනයක සේවය කළ වික්‍රමසිංහයෝ සිරිසර සඟරාවේ යාවජීව සාමාජිකයෙක් ද වූහ. වික්‍රමසිංහයන්ගේ ශාස්ත්‍රීය ලිපි වලට සිරිසර සඟරාවේ අනුග්‍රහය ලැබුණු අතර ම, සමහර අදහස් සමඟ එකඟ විය නොහැකි වුවත් සංස්කාරකවරයා ඔහුගේ තර්ක ඥානය අගය කළේ ය. පසුව වික්‍රමසිංහයන් කොළඹට පැමිණි පසු මේ දෙදෙනා මිත්‍රයන් බවට පත් වු අයුරු උපන්දා සිට ග්‍රන්ථයේද සඳහන් වේ.
වික්‍රමසිංහයන්ගේ උපන්දා සිට ලියැවෙන අවදියේ සිල්වා ජීවිතයෙන් සමුගෙන වසර 3 ක් පමණ ගතවී තිබුණත්, සිය පැරණි මිත්‍රයා ගැන කෙටි සටහනක් තබන්නට මහ ගත්කරු අමතක නොකළ බව පහත දක්වන ඡේදයෙන් පැහැදිලි වේ.
“ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වා ලක්ෂ්මී කතාව ලියුවේ වෙහෙස නොතකා මහන්සි වීමෙනි. සංස්කෘත පද බහුල එහි බස බුත්සරණ වැනි පැරණි සිංහල ගද්‍යයෙහි බසට ළංවෙයි. පැරණි සකු කවි රීතිය අනුව කරන ලද අලුත් වර්ණනාද “මනුෂ්‍යයා වනාහි අභිසංස්කෘත වානරයෙකි”. වැනි අලංකාරොක්කියට නඟන ලද නින්නාද එහි බොහෝ ඇත. නවකතාවක් වසයෙන් එහි එතරම් උසස් කමක් නැතත් ගතානුගතික නොවන ගාඪ රීතියෙන් කරන ලද රචනයක් වසයෙන් එහි උසස් කමක් ඇත. බෙහෝ මහන්සි වී ලියු ඒ පොත නොවිකුණුණු නිසා ඩබ්ල්යු. ඒ. සිල්වා සිල්වා කලකිරී සිටියේය.
ඔහු හිඟන කොල්ලා ලියුවේ එසේ කලකිරී සිටි කාලයෙහිය. “පොත් කියවන්නන්ට ඕනෑ හොඳ කෑම නොව පොල්කුඩු, මම මේ පාර ඔවුන්ට දෙන්නේ පොල්කුඩු යි‘. ඩබ්ල්යු. ඒ. සිල්වා දවසක් මා සමඟ කීවේ ය. ඔහු මෙසේ කීවේ තමා ලියාගෙන යන හිඟන කොල්ලා උසස් කොට නොසලකන බව අඟවනු පිණිසයි. හිඟන කොල්ලා මුද්‍රණයෙන් පිටවුණු වහාම විකිණිණි. ලක්ෂ්මී ලියා පළ කිරීමෙන් නොලත් කීර්තියක් හිඟන කොල්ලා නිසා ඩබ්ල්යු. ඒ. සිල්වාට හිමිවිය.
ඩබ්ල්යු. ඒ. සිල්වා නැවතත් එවැනි කථා ලියන්නට පොලඹවන ලද්දේ පාඨයන් විසිනි. එක සමාන අත්භූත රසාත්මක කතා ලිවීම නිෂ්ඵල යැයි සිතු ඔහු ඓතිහාසික නවකතා ලියන්නට පටන් ගත්තේ ය. ඔහුගේ ශක්තියත් කල්පනාවත් ඵෙතිහාසික නවකතා ලිවීමට වඩාත් උචිත විය.
උපන්දා සිට, පිටුව 197 -මුද්‍රණය 1961
සිල්වා සූරීන් හා වික්‍රමසිංහයන් නවකතා හෙවත් ප්‍රබන්ධ කතා සාහිත්‍ය ගැන ප්‍රතිවිරුද්ධ මත දැරූහ. දීර්ඝ පුවත්පත් ලිපි මඟින් වාද කළෝය. එහෙත් ඔවුන්ගේ මිත්‍රත්වයට ඔවුන් දැරූ මතවාද බාධාවක් නොවීය. 30 වසරක් පමණ (කතා රජ කතාවේ දැක්වෙන පරිදි) එකට මධුවිත ගන්නා තරම් සමීපව ඇසුරු කළ මේ දෙදෙනා පසු කලෙක අමනාප වුයේ ඇයි? ඊට පිළිතුරු සොයන මට හමුවුයේ මේ වියතුන් දෙදෙනාගේ ම ඇසුර ලැබීමට තරම් වාසනාවන්ත වූ තවත් පඬි රුවනකි. විශ්ව සාහිත්‍යයේ සම්භාවනීය කෘති ගණනාවන රසවිඳීමේ අවස්ථාව අපට උදාකර දුන් සිරිල්. සී. පෙරේරා මහතාගේ ප්‍රකාශයක් පහතින් දැක්වේ.
“සරච්චන්ද්‍ර උන්නැහැ නූතන නවකතා ගැන ලියපු පොතෙන් ( සිංහල නවකතා ඉතිහාසය හා විචාරය) ඩබ්ල්යු. ඒ. සිල්වයි-පියදාස සිරිසේනයි අවතක්සේරු කරලා වික්‍රමසිංහව විතරක් අගය කළානේ. මේකෙන් සිද්ධ වෙච්ච නරක දෙයක් තමයි හොඳ මිත්‍රයන් වෙලා හිටපු වික්‍රමසිංහයි, සිල්වයි දුරස් වුණු එක. ඒ කාලෙ වෙනකොට මමත් ඒ දෙන්නව හැඳිනගෙන හිටියා. ඇත්ත ම කියනවා නම් ඒ දෙන්නට ම ඔවුනොවුන්ට ආවේණික වුණු විශේෂ හැකියාවක් තිබුණා. දෙන්න ම සමාජ ඇසුරට හරි ප්‍රියයි. වික්‍රමසිංහ හොඳ සවන් දෙන්නෙක් වගේ ම කතා බහටත් ළැදි කෙනෙක්. ඩබ්ල්යු. ඒ. සිල්වාත් එක්ක කතාකරන එක විශ්ව කෝෂයක් ඇසුරු කරනවා වගෙයි. පියදාස සිරිසේන ව ආශ්‍රය කරන්නනම් මට ඉඩක් ලැබුණේ නැහැ. ඒත් වික්‍රමසිංහගෙ සාහිත්‍ය මෙහෙවර වගේම සිල්වයි සිරිසේනයි කරපු වැඩ කොටසත් අහක දාන්ඩ බැහැ කියලයි එදා වගේම අදත් මම විශ්වාස කරන්නේ. ඒ කාලෙ ඔය දෙන්නගෙ පොත් 2500 ක් විතර මුද්‍රණය කළ බව මම අහල තියෙනවා.
සිළුමිණ - පුන්කලස 2009-11-08 - සිරිල්. සී. පෙරේරා
තවදුරටත් ඒ ගැන අදහස් දක්වන සිරිල් සී පෙරේරා මහතා, පසු කලෙක වික්‍රමසිංහයන් විසින් සරච්චන්ද්‍රයන් විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඩේලිනිවුස් පුවත් පත හරහා වික්‍රමසිංහයන්ට පහර දුන් බවද කියයි. විචාර කෘති රචනා කරමින් නවකතා සාහිත්‍යයට සේවකයන් කළ ලේඛකයන් හෑල්ලු කරනවාට වඩා විශ්ව සාහිත්‍යයේ උසස් කෘති දේශීය පාඨකයක්ට කියැවීමේ අවස්ථාව ලබාදීමෙන් නවකතාවේ ප්‍රමිතිය ඔවුන්ට ම වටහා ගැනීමට හැකි වන සේ තමන් විශ්ව සාහිත්‍යයේ උසස් කෘතීන් සිංහලට නැඟීමේ සත්කාර්යට අවතීර්ණ වූ බවද ඒ මහතා සඳහන් කරයි.