“මායක්කායි” ගැන දැන්වත් හිතමු | Page 3 | සිළුමිණ

“මායක්කායි” ගැන දැන්වත් හිතමු

 තල් කුරුම්බා බොන එක පොල්කුරුම්බා බොන තරම් පහසු වූයේ නැත. අතට ගත් තල්කුරුම්බය බොන හැටි මනී අපට පෙන්වන විටත් මේ මොන සෙල්ලමක් දැයි හිත කිහිපවරක් ම මට චෝදනා කර අවසාන ය. කෙසේ හෝ අතට ගත් තල් කුරුම්බය මුවට ගත්විට දැනුණු ඒ සිහිල් රසය ගතට ගෙන දුන්නේ මහත් ප්‍රබෝධයකි. දඩබ්බර ඉර ඉඳහිට වලාකුළක සැඟවී ගොස් අපට ඔච්චම් කරනවා විය හැකි ය. ඒ ඉර යට ම සිට කිහිප දෙනකු ජිවන සටනට මුහුණ දී සිටින අයුරු පෙනේ. පිරිසක් ඈත වැව් කණ්ඩියට වී රෙදි සෝදති. තවත් පිරිසක් ලූනු වගාවේ නියැළෙති. තල්කුරුම්බා කඩමින් වෙළෙඳපොළට ගෙන යන පිරිස හමුවන්නේ ඊට මඳක් මෙහාට වන්නට ය. ඔවුන් තල් කුරුම්බයක්, දෙකක් අපට දික්කළේ සුහදත්වය පෙන්වීමට විනා මුදල් ඉපැයීමේ අදහසින් නො වේ. ඒවායින් කිහිපයක් රස විඳි අප යෝධ නුග ගස් සෙවණක් යටට ගොස් අත් හරින ලදැයි සිතිය හැකි දේවාලයක් අසලට පිය නැගුවෙමු.

මනි දේවාලයට ගොස් ආගමික වතාවත් කරන්නට වූයේ මේ අතර ය. දේවාල භූමියේ සිට අඩි කිහිපයක් දුරින්, අඩි කිහිපයක් පහළට වන්නට ගල් ගුහා දෙකක් දක්නට ලැබෙන්නේ මේ අවස්ථාවේදී ය. කැළි කසළ දැමීමෙන් විවර අර්ධ වශයෙන් වැසී ගොස් තිබූ මේ ගල් ගුහා දෙක පිළිබඳ තල් කුරුම්බා බොමින් සිටින අතරතුර රමනන් කියූ දෙයක් මතකයට නැඟෙන්නට විය.

“ දැන් අවුරුදු 15-20කට විතර ඉස්සරලා ඔය ගල් ගුහාව ඔච්චර වැහිල තිබුණේ නැහැ. ඇතුළු වෙන දොර පැහැදිලිව තිබුණා. අපි කුඩා දවස්වල තලගොයි අල්ලන්න දුවන කොට, තලගොයි ඔය ගුහාව ඇතුළට රිංගනවා. එතකොට අපිත් උන් පස්සෙන් ගුහාවට බඩගාගෙන යනවා. ඇතුළට වෙන්න බෙදිලා තියෙන්නේ. ඒත් එතනින් එහාට යන්න බය නිසා අපි ගිහින්ලා නැහැ“ එතනින් එහාට දෙයක් කියන්නට රමනන් දන්නේ නැත. එහෙත් මේ සියල්ල අස්සේ සැඟවී ලොවට තවමත් හරිහැටි නිරා නොවුණු වටිනා කියන සම්පතක් පේදුරුතුඩුවට අයත් කරවඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මායක්කායි භූමියේ තිබේ.

විවිධ අවස්ථාවල මේ ස්ථානය නිරීක්ෂණය කළ පුරාවිද්‍යාවට සම්බන්ධ පිරිස්වලට මෙහි තිබී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක හමුවී තිබේ. මේ අනුව පළමු වරට පහළ පුරාශිලා යුගයට අයත් යැයි සිතන සාධක හමුවූයේ 1983 දී ය. එහිදී ශිලා අත්පොරෝ තුනක් හමුවී තිබිණි.

පසුව මේ ගල් අත්පොරෝ 2010 වර්ෂයේ දිනක එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාට දැක ගැනීමට හැකි විය. එහිදී මේ ශිලා මෙවලම් 90%ක් ම ඇචූලියන් නම් ගල් ආයුධ සම්ප්‍රදායට ආසන්න බව ආචාර්ය නිමල් පෙරේරා මහතා පෙන්වා දුණි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇචූලියන් සම්ප්‍රදායට අයත් සාධක මීට ‍පෙර හමු නොවී තිබීමයි. එමෙන් ම එවැනි සාධක තිබීමට ඉඩක් නොමැති බව ද අවධාරණය කෙරී තිබිණි. ඒ අනුව එම ආයුධ අදින් වසර ලක්ෂ 5-16ත් අතර කාලයට අයත් වීමට ඉඩ ඇති බව ද උපකල්පනය කෙරී තිබිණි. එහෙත් එතනින් ඔබ්බට පරීක්ෂණයක් නො‍ කෙරුණු අතර, මායක්කායි පිළිබඳ උනන්දුව ද ක්‍රමයෙන් තුරන් වෙමින් පැවැතිණි.

රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ‍මේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නියැළෙන්නේ මේ අතර ය. එහිදී ප්‍රදේශයේ කරන ලද දළ නිරීක්ෂණයකින් ඔවුන්ට ශිලා මෙවලමක් හමුවිය. එය කාලයා විසින් අමතක කර දමා තිබූ මායක්කායි කතාවට නැවැතත් පණ ලබාදෙන්නක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අං‍ශයේ ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතා,

''අපිට මේ හම්බවුණේ ස්ථීර ව‍ශයෙන්ම ගල් ආයුධයක්. මෙතැන ගත්ත ම ගල් ආයුධ නිපදවීම සඳහා භාවිත කරලා ඉතිරි වෙන කොටස් වටපිටාවේ බොහෝ දක්නට ලැබෙනවා. ඒ එක්කම ශිලා උපකරණ දකින්න පුළුවන්. ගල්පතුරක් කියන්නේ ගලකින් කැඩිලා යන එකක්නේ. නමුත් ටූල් එකක් කියන්නේ ‍එහෙම එකක් නො‍ වේ. ඒවා සකස්කර ගන්න ඕනේ. ගල් ආයුධයක් හඳුනාගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ඒවත් එක්ක තමයි ගල් ආයුද කියලා පුරාවිද්‍යාවේදී හඳුනාගන්නේ''

මෙලෙස සැලකීමේදී මෙරට මානව ජනාවාස සම්බන්ධයෙන් පැරණි ම ස්ථානය මෙය විය හැකි ය. දැනට ලංකාවේ හමුවී තිබෙන පැරණි ම සාධක හමුවී ඇත්තේ බූන්දල පතිරාජවෙල ප්‍රදේශයෙනි. එය මීට අවුරුදු 74,000-250,000ක් අතරේ ය. උපකල්පනය කෙරී ඇති පරිදි මායික්කායිවලින් හමුවී ඇත්තේ ඊටත් වඩා එහාට ගිය ඉතිහාසයකි. බූන්දලින් හමුවන්නේ නූතන මානවයාගේ සාධක ය. එහෙත් යටකී පරිදි ඉතිහාසය තවත් ඔබ්බට යන්නේ නම් එමගින් මානව ජනාවාසකරණයේ ඉතිහාසය හොමෝඉරක්ටස් යුගය දක්වා යා හැකිය.

ආචාර්ය තුසිත මෙන්ඩිස් මේ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ කීය.

''මෙතැන විද්‍යාත්මක තලයේ ඔප්පු කිරීමක් තව ම වෙලා නැහැ. එහෙත් ගල් ආයුද වල තිබෙන ස්වරූපය බලපුවා ම ඒවා ලෝකයේ වෙනත් තැන්වල හමුවෙලා තියෙනවා. ඒවත් එක්ක සන්සන්දනය කරලා බලපුවා ම අපිට දළ වශයෙන් තමයි මේව‍ගේ ඉතිහාසයක් ගැන කියන්න පුළුවන්. ඒත් විද්‍යාත්මක කැණීමක් කළොත් ස්ථිර තීරණයකට එන්න පුළුවනි.''

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මහාචාර්ය නිමල් පෙරේරා මහතා කියා සිටියේ මේ ප්‍රදේශයෙන් හමුවූ ශිලා උපකරණ පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුව ඇති බවයි.

“මායක්කායි ප්‍රදේශයේ තිබූ ප්‍රාග් ඓතිහාසික යුගයට අයිතියැයි කිව හැකි ගල් ආයුද හමුවෙලා තියෙනවා. මේ ගැන මට දැනගන්න ලැ‍බුණේ 2010දී විතර.

2010දී අපි කණ්ඩායමක් යාපනයේ කන්තරොඩෙයිහි කෑණීමක් කරන කොට යාපනයේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්‍රිෂ්ණරාජා මට ඇවිල්ලා කිව්වා, මායික්කායි ප්‍රදේශයේ තිබිලා ගල් ආයුධ වගයක් හම්බ වුණා කියලා.

ඊට පස්සෙ මම බලන්න කැමැතියි කිව්වම එතුමා මට ගෙනල්ලා දුන්නා. පස්සේ කොළඹදී ආචාර්ය සිරාන් දැරණියගල මහත්තයාටත් පෙන්නලා අපි මේ ගැන සාකච්ඡා කළා. ‍මේ ගල් ආයුධවල විශේෂත්වයක් තිබෙනවා. මේවායින් ප්‍රාග් ඓතිහාසික යුගයේ තොරතුරු රැසක් එළියට එන්න පුළුළුන්. නමුත් මේ ගැන අපිට හරිහමන් නිගමනයට එන්න බැහැ. මොකද තවම මේ ප්‍රදේශයේ කැණිමක් වෙලා නැහැ. මේ හම්බවෙලා තිබෙන ගල් ආයුධය හම්බවෙලා තියෙන්නෙත් පොළව මතුපිටින්. මේ ගැන නිශ්චිත තීරණයට එන්න කැණීමක් කිරීමෙන් පසුයි ගන්න වෙන්නේ.''

කැණීමක් සිදු නොවුව ද, මේ සම්බන්ධයෙන් විද්වතුන් අතර මතවාද ගණනාවක් ඇතිවී තිබිණි. මේ අතර පිරිසක් කියා සිටියේ යාප‍නයේ ‍මෙවැනි ඉතිහාසයක් නොමැති බවත්, මෙවැනි ගල් ආයුධ වෙනත් ස්ථානයකින් කුමන හෝ ආකාරයකින් මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බවත් ය.

මේ හැර තවත් ශාස්ත්‍රීය තලයේ ගැඹුරු මතවාද රැසක් ද අපට දැක ගතහැකිය. කෙබඳු මතවාදයක් පැවැතිය ද කුමන හේතුවක් නිසා මායක්කායි ප්‍රදේශයේ කැණීම් තවමත් සිදුවී නැත. දශක තුනක් තිස්සේ මෙරට පැවැති යුද්ධය ද මෙයට හේතු වූ බව ඇතැම් විද්වත්හු ප්‍රකාශ කරති.

විශේෂයෙන් ම 1983 දී හමුවූ ගල් ආයුධය පිළිබඳ විධිමත් පරීක්ෂණයකට යොමු නොවන්නේ මේ නිසාවෙනි. මේ වන විට යුද්ධය හමාර වී තිබෙන නිසා අවශ්‍ය කැණීම් සඳහා යොමුවීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත.

එහෙත් අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බව අපට ඒ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු පෙනී ගියේ ය. ඒ මක්නිසා ද යත් මේ ගල් ගුහා සෑදී ඇත්තේ හුණු ගලිනි. එම හුණු ගල් ප්‍රදේශයේ ජනතාව තම අවශ්‍යතා සඳහා යොදා ගැනීම සිදුවේ. මේ නිසාමදෝ මේ වන විටත් භූමියට කර තිබෙන හානිය සුළුපටු නො වේ.

විශේෂයෙන් ම ගුහාව ආශ්‍රිත ප්‍රදේශයේ පාෂාණය මේ වන විටත් සෑහෙන දුරකට විනාශ කර තිබේ. මේ තත්ත්වය වළක්වා ගැනීමට බලධාරීන් කටයුතු නොකළ හොත් මේ වටිනා ප්‍රාග් ‍ඓතිහාසික භූමිය විනාශ වී යනු නො අනුමාන ය.

මේ මෙය මෙරට අනාවරණය වී පවතින ප්‍රාග් ඉතිහාසය වෙනස් කරන භූමියක් වන ඇතැයි බොහෝ විද්වත්හු අදහස් දක්වා තිබෙති.

මේ ඓතිහාසික භූමිය අද සංරක්ෂණය හෝ කෙරී නැති හෙයින් විනාශයට පත් ව යන බවද විද්වතුන් ද ප්‍රකාශ කරන අතර ම පුරා විද්‍යාව සම්බන්ධ ඉහළ පෙළේ විද්වතුන් ද අවස්ථා ගණනාවකදී ම මේ ස්ථානයේ කැණීම් කටයුතු ඉක්මන් කළ යුතු බව අදාළ බලධාරීන්ට දැනුම් දුන් බව අප සමඟ ප්‍රකාශ කළහ. එහෙත් කුමන හෝ අවාසනාවකට මේ කැණීම් කෙ‍රෙන බවක් පෙනෙන තෙක් මානයකවත් දක්නට නොමැත. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධක ‍අවස්ථා දෙකකදී හමුවීත් බලධාරීන් තවත් මේ ගැන කටයුතු නො කරන්නේ මන්ද යන්න ගැටලුවකි.

මලික් චමින්ද ධර්මවර්ධන 

Comments