හිර ගෙදරට පෙම් බැඳි කරු අයියා | Page 2 | සිළුමිණ

හිර ගෙදරට පෙම් බැඳි කරු අයියා

 සිළුමිණ හිටපු මාධ්‍යවේදි කරුණාදාස විදානගමගේ මහතාගේ හදිසි වියෝව වෙනුවෙනි.

සිළුමිණේ සිටි හිත හොඳ මාධ්‍යවේදියෙක් අපට නැති විය. ඒ කරුණාදාස විදානගමගේ නැත්නම් වී.ජී. කරුණාදාසය. ඔහු සිළුමිණේ සිටි අවිහිංසක ධෛර්යවන්ත කාර්ය සූර මාධ්‍යවේදියෙකි.

1977 දි ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වී ගෙදර ගියේය. එකල ඔහු ජීවත් වෙන්නට නොකරපු වැඩක් නැත. රාත්‍රියට රේස් බුකිවල චිට් ලියූ බවද ඔහු මට පවසා ඇත. ඔහු මාධ්‍යවේදි‍යකු ලෙස ප්‍රකට වන්නේත් ඔහු සමඟ ආශ්‍රයට අපට ඉඩ ලැබෙන්නේත් 1994 න් පසුවය.

සිළුමිණ කර්තෘ මණ්ඩලයට බැඳි මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීම ඇරඹුණු පසු ඔහු තම වෘත්තිය කෙරෙහි මහා කැපවීමක් පෙන්නුම් කළේය. ප්‍රධානීන් කියන රාජකාරිය අකුරට ම ඉටු කළේය.

දිනක් සිළුමිණ පුවත්පත මුද්‍රණ ද්වාරයෙන් අනුමත කිරීම භාරව තිබුණේ ඔහුටය. නමුත් ඔහුට එය අමතක විය. පසුව එය මතක් වී ඇත්තේ ගෙදර ගිය විටය. කරන්නට දෙයක් නැත. ඔහු කළේ තම පුතාත් සමඟ ඔහුගේ මෝටර් රථයෙන් මහ රෑම ලේක්හවුස් ආයතනයට පැමිණ පුවත්පත අනුමත කිරීමයි. එවැනි ක්‍රියා අද පරපුරට ආදර්ශයක්ය.

සිළුමිණ පුවත්පතට මුලින් ම ඔහු විශේෂාංගයක් ලෙස ලියා ඇත්තේ සිළුමිණ පුවත්‍පතේ ම පළවන මංගල යෝජනා පිළිබඳ රසමුසු තොරතුරුය. එය යම් විධියක ගවේෂණාත්මක ලිපියක් වූ බව එය සංස්කරණය කළ සිළුමිණ විශේෂාංග කර්තෘ සේමාලි දිනක් මා සමඟ පැවසුවේ කරුගේ පුවත්පත් කලාව පිළිබඳව විග්‍රහයක යෙදෙමින්ය.

කරුගේ ලේක්හවුස් සේවා කාලය වසර 36 කි. ඔහු දෙවරක් ම දීර්ඝ සේවා සම්මාන ලබා ගත්තේය. ඉන් 1994 සිට 2008 දක්වා ම අපි ඔහු සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කළෙමු. ඔහු අප සමඟ කාර්යාලයේ ටික වේලාවක් සිට කෙළින් ම යන්නේ සිරගෙදරටය. නැත්නම් බන්ධනාගාරයට ය. ඒ හිරේ ලගින්නට නොවේ. නිකරුණේ හිරේ සිටින අසරණ රැඳවියන්ගේ ප්‍රශ්න පිළිබඳව සිළුමිණ මඟින් රසවත් කතා හෙළිකිරීමටය.

‘කිරි කැඳ’ නම් රැඳවියන් පිළිබඳව කරු ලියූ ලිපිය අතිශය ජනප්‍රිය විය. එය සිළුමිණේ පළවූ පසු වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය. ‘කිරි කැඳ’ යනු නඩුවක තීරණයක් නැතිව වසර 25 ක් හිරේ සිටි යුවතියකි. නඩුහබවල ලේඛන සාක්ෂි හා වෙනත් විවිධ දෝෂ නිසා දඬුවම් නැතිව නමුත් වසර ගණනක් හිරේ සිටි අය පිළිබඳව කරු සොයා බලා සිළුමිණට ලීවේය. ඒ කාටවත් අපහාසයක් නොවන පරිදිය. මේ ලිපි පළවූ පසු බස්ධනාගාර නිලධාරින්ට ද කට උත්තර දෙන්නට සිදු විය.

හිටපු ඇමැති මර්වින් සිල්වා කරුගේ හිතවතෙකි.

සමහර අවස්ථාවල ‘කරු’ පළකළ ප්‍රවෘත්ති හා ලිපිවලට මර්වින් සිල්වා මහතාට තරහ ගිය අවස්ථා ද තිබුණි. නමුත් කරු අසනීප වූ අවස්ථාවලදි ඔහුගේ අවධානය කරු වෙත යොමුවූ බව කරුගේ ආදරණීය භාර්යාව අප සමඟ කීවාය.

මුලින් ම විදුලි බල මණ්ඩලය, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සමෘද්ධි අමාත්‍යාංශය, බන්ධනාගාරය වැනි ආයතන ආශ්‍රිත ප්‍රවෘත්ති හා විශේෂාංග කෙරෙහි කරුණාදාසගේ වැඩි අවධානය ‍යොමුවිය. පසුව කර්තෘතුමා නියම කරන ඕනෑම වැඩක් කිරීමට ඔහු පසුබට වූයේ නැත.

ලේක්හවුස්හි විශ්‍රාම ගැනීමෙන් පසු මව්බිම පුපත්පතේ ද ඔහු ටික කාලයක් ප්‍රවෘත්ති හා විශේෂාංග ලිව්වේය. ඒවා ඉතා රසවත් විශේෂාංග විය.

මේ සුවිශේෂි මාධ්‍යවේදියාගේ මා දුටු සුවිශේෂ ලක්ෂණය වන්නේ ඔහු නොදන්නා දේ ඒ පිළිබඳව හොඳටම දන්නා අයෙකුගෙන් අසා දැන ගැනීමයි. අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ හා භාෂාව පිළිබඳව ඔහු ප්‍රබල උනන්දුවක් ඇතිව කටයුතු කළේය.

අනදපිය කුඩාතිහි මහතා ලියූ ‘ණ න ල ළ’ පොත ඔහු තම ලාච්චුවේ දමාගෙන තිබිණි. ඒ එය පරිශීලනය කර තම ලිපිවල අඩුපාඩු සකස් කර ගැනීමටය. මේ අතර ඔහු පිළිබඳව රසකතා ද රැසක් ඇත.

වරක් කරු දිනමිණේ දුමින්ද ගුරුගේ සමඟ එවකට වෙළෙඳ ඇමැතිව සිටි කිංස්ලි වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය ආවරණ කටයුත්තකට දඹුල්ලට ගියේ ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සමඟය. නමුත් දඹුල්ලට ගිය පසු මාධ්‍ය ලේකම්වරයා ඔවුන්ට රාත්‍රි ඉන්න හිටින්නට තැනක් ලබාදීමට කටයුතු කර නැත.

ඊට පසු මාධ්‍ය ලේකම්වරයාගේ කිසිම උදව්වක් නොලැබුණු නිසා කරුත්, දුමින්දත් දෙදෙනාම මුළු රැයම නිදි වර්ජිතව කාලය ගෙවා ඇත.

ඊට අමතරව වරක් කරු බෙහෝ දුරක් කොළඹ නුවර පා‍ෙර් ප්‍රධාන ලාම්පු නොදල්වා වාහනය ධාවනය කරගෙන ගොස් තිබේ. ඔහුට වාහනයේ ලයිට් නැති බව මතක් වී ඇත්තේ අතුරුපාරට දැමීමෙන් පසුවය.

ආදරණීය බිරිඳ කුසුම් තම එකම පුතා වූ සඳමල් විතානගමගේත් සමඟ සුන්දර ජීවිතයක් ගත කළ කරුණාදාස විදානගමගේ මෑත කාලයේ මුණුබුරු මිණිබිරියන්ගේ ද සතුට ලැබීය.

වරක් රාගම රෝහලේ අසනීපයෙන් පසු‍‍ වෙද්දි මමත් තාරකත් ඔහු බලන්නට ගියෙමු. එදා ඔහු කකුලේ තිබූ තුවාලය නිසා ඉතා වේදනාවෙන් කෑගැසීය. පසුව තුවාලය සුවවෙමින් තිබුණත් දියවැඩියා මට්ටම එලෙස ම තිබුණි. ඔහ‍ුගේ භාර්යාව කුසුම් ගුණරත්න මහත්මියත් පැවසූ පරිදි කරු මියගොස් තිබුණේ හෘදයාබාධයකිනි.

කෙසේ වුවත් බුදු වදන අනුව මරණය අප කාටත් නියත දෙයකි. නමුත් ඔබගේ හොඳ නම, පුවත්පත් කලාවේදියකු ලෙස තැබූ නම සිළුමිණ කතු මඬුල්ලේ හා පොදු ජනතා හදවත්වල පවතිනු ඇත. එය කරුටත් අපටත් පොදු දෙයකි.

සිළුමිණ කතු මඬුල්ලේ සේවය කළ කරුණාදාස විදානගමගේ සොයුරාගේ අභාවය පිළිබඳව සිළුමිණ ප්‍රධාන කර්තෘතුමා ඇතුළු කතු මඬුල්ලේ සියලු දෙනාගේ ශෝකය අපි කරුගේ භාර්යාවටත් පුතාටත් පළ කරමු. යළිත් කරු අප අතර ම ඉප‍දේවා!. අවසානයේ ඔහුට නිවන් සුව පතමු.

නිහාල් පී. අබේසිංහ 

 

Comments