සැත්තෑවිය සපුරන අපේ විමලබුද්ධි හාමුදුරුවෝ | Page 2 | සිළුමිණ

සැත්තෑවිය සපුරන අපේ විමලබුද්ධි හාමුදුරුවෝ

 මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උඩස්ගිරිය පල්ලේසියපත්තුවේ අඹන්පොල ග්‍රාමයේ 1947 අප්‍රේල් මස 09 වන දින යාපා බණ්ඩාර මුදියන්සේලාගේ ගෙදර හීං අම්මා මෑණියන්ටත්, රත්නායක මුදියන්සේලාගේ ගෙදර මුතුබණ්ඩා රත්නායක පියාණන්ටත් දාව මෙලොව එළිය දුටු රත්නායක මුදියන්සේලාගේ ගෙදර ආනන්ද විජේසිරි රත්නායක කුල දරුවා සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැනි දරුවා විය.

මවුපිය දෙපළ ගමේ පදිංචිය වෙනස් කොට මාතලේ නගරයට සමීප ගමක් වූ උඩුපිහිල්ල ගමේ පදිංචි වූ පසු මේ දරුවාට උඩුපිහිල්ලේ සරණංකර විදුහලට ඇතුළත් කරවා පස්වන වසර දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන ලදී.

පසුව 1957 ජුනි 10 වන දින හේනේපොළ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී ප්‍රවුජ්‍යා භූමියට ඇතුළත් වූයේ උඩුපිල්ලේ විමලබුද්ධි යන නමිනි.

ගුරු දේවයාණන් වහන්සේ වූ මාතලේ වෙහෙරගොඩ ශ්‍රී විද්‍යාරත්න පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත මහලකොටුවේ රතනසාර නායක මාහිමිපාණන් වහන්සේගේ පා සෙවණේ උගතමනා බණ දහම් ප්‍රගුණ කළ විමලබුද්ධි පොඩි හාමුදුරුවෝ උපතින් විසි වයස් සපිරෙද්දී 1967 මැයි 31 වන දින ඓතිහාසික මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයෙහිදී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා භූමියට ඇතුළත් වූයේ ඒ වන විට ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ අනුනායක ධූරය දැරූ මල්වතු මහා විහාරාධිවාසී අතිගෞරවනීය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන ලේඛකාධිකාරි මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි. කර්මවාගාචාර්යන් වහන්සේ වූවාහු මල්වතු මහා විහාරාධිවාසී මැණික්දිවෙල ශ්‍රී සිද්ධාර්ථ පේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේය. එවකට මහානායක මාහිමිපාණන් වහන්සේ වූවාහු අතිගෞරවනීය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යභිධාන මහානායක හිමිපාණන් වහන්සේය.

තරුණ විමලබුද්ධි ස්වාමින් වහන්සේ තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනයකින් පාඨමාලා ගෙන්වාගෙන උසස් පෙළ විභාගය සඳහා ස්වයං අධ්‍යයනය ආරම්භ කළහ. සිංහල, පාලි, ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් තැපැල් මාර්ගික පාඨමාලා මඟින් හදාරා 1970 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් (විද්‍යෝදය මණ්ඩපය) අධ්‍යාපනවේදී ගෞරව උපාධියත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් 1992 ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ.

උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමින් වහන්සේ තරුණ වියේ සිටම ධර්ම දේශනා කිරීමට දක්ෂ හිමිනමකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධම්ම චින්තා, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා අවුරුදු ගණනාවක්ම පවත්වමින් දේශීය ධර්ම දූතයකු ලෙස සිදුකළ දහම් මෙහෙවර විශිෂ්ට වේ.

හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ යන කියමන සනාථ කරමින් විමලබුද්ධි හිමියන් ලේඛන කලාවට උනන්දුවක් දැක්වූයේ සාමණේර අවධියේ සිටය. උන්වහන්සේ ලේඛන කලාවට පිවිසුණේ ප්‍රථම වතාවට මිහිර ළමා පුවත්පතට බොරු නොකියන අයට මල්මාලා යන මැයෙන් ලිපියක් සපයමිනි. උන්වහන්සේ බුදුසරණ, දිවයින, දිනමිණ, ලංකාදීප ආදී පුවත්පත්වලට ශාස්ත්‍රීය ලිපි ලියා නමක් දිනාගත් යතිවරයාණන් වහන්සේ නමකි.

කොළඹ බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ නිර්මාතෘ ගෞරවාර්භ කොටපොල අමරකිත්ති හිමිපාණන්ගේ කලණ මිතුරකු වූ විමලබුද්ධි හිමියන් අමරකිත්ති හිමියන්ගේ ශාසනික, ශාස්ත්‍රීය සේවාවන්ට පසුබිමෙහි සිට දැක්වූ නොමඳ සහයෝගය මෙහිදී සඳහන් කළ යුතුය. සතිපතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වූ ශාන්ති ළමා හඬත්, සාමණේර ස්වාමින් වහන්සේලා සඳහා සඟ සරණියන්, දිගු කලක් මෙහෙයවූ උන්වහන්සේ ශාන්ති පුවත්පතේ සංස්කාරක ලෙස ද කටයුතු කළහ. උසස් පෙළ බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන දරුවන් සඳහා සතිපතා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයෙන් උපකාරක දේශන මාලාවක්ද පැවැත්වූ විමලබුද්ධි හාමුදුරුවෝ උඣීසන ධම්ම චින්තා මඟින් බොදු හදවත් සනසමින් සිදුකළ සදහම් මෙහෙවර ආගමික අංශයේ වැඩසටහන් නිෂ්පාදනය කළ අස්ත්‍රික චන්ද්‍රසෝම සහ සුසිල් ජයනෙත්ති යන මහත්වරුන් අප සමඟ පැවැසුවේ ප්‍රශංසා මුඛයෙනි.

උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමින් වහන්සේ කැනඩාවට වැඩම කළේ 2002 ඔක්තෝබර් මාසයේය. ටොරොන්ටෝ මහා විහාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ ලෙස 2003 සිට කටයුතු කරන උන්වහන්සේ ශ්‍රී ලංකාවට වඩින අතරමඟදී සති දෙක තුනක් විදේශ රටවල සංචාරය කරන්නේ ඒ ඒ රටවල ධර්ම දූත සේවාවේ යෙදෙන ස්වාමින් වහන්සේලාගේ සහයෝගය නොමඳව ලැබෙන නිසාවෙනි. විමලබුද්ධි හිමියන් ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ඔස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ජපානය, ප්‍රංශය, ජර්මනිය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, නවසීලන්තය සහ ඉන්දියාව යන රටවල ධර්ම දූත චාරිකාවෙහි යෙදෙමින් ලබාගත් අගනා අත්දැකීම් උන්වහන්සේගේ සේවා ඵලදායිත්වය වඩාත් පුළුල් කළේය.

සමස්තයක් ලෙස සලකා බැලුවහොත් ගෞරවාර්භ උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ථෙරවාදී භික්ෂු සම්ප්‍රදාය සරසන, සංඝ ශෝභන ගුණයන්ගෙන් පිරිපුන් භික්ෂු රත්නයක් බව සඳහන් කළ යුතුය. අත්තුක්කංසන, පරවම්භන නුගුණයෙන් තොරව දයා දක්ෂිණ්‍යෙ ගුණයෙන් ශෝභාවත්ව, පරෝපකාරයෙහි තත්පරව, අත්තහිත-පරහිත සාධනීය ධර්ම චර්යාවෙහි නියැළී වැඩ වසන ආදර්ශවත් උතුම් භික්ෂු චරිතයක් ලෙස උන්වහන්සේ අපට අගය කළ හැක්කේ සම්භක්ත කල්‍යාණ ආශ්‍රයෙන් බොහෝ දෙනාගේ අත්දැකීම ද එයම වන නිසාය. සමාජයේ සදාචාරාත්මක ප්‍රවර්ධනයට ද සම්බුද්ධ ශාසනයේ අභිවර්ධනයට ද සංඝ සමාජයේ උද්දීපනයට ද කීර්ති ප්‍රශංසා ලාභාපේක්ෂාවලින් තොර වූ නායක පදවි නැතත් සැබෑ සංඝ නේතෘත්වය හිමි කැරගෙන සිටින මෙබඳු මාහිමිවරුන්ගේ ආදර්ශ රූප අත්‍යන්තයෙන්ම උපකාර වේ.

උපතින් 70 වන විය ද පැවිද්දෙන් 60 වන වසර ද, උපසම්පදාවෙන් 50 වසර ද සපුරන අතිගරු උඩුපිහිල්ලේ විමලබුද්ධි මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට උතුම් තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවත් දිගාසිරිත් පිණිපා පෙරටුව පතමු.

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනාහිමි
සිරි වජිරාරාමය - බම්බලපිටිය
තිරිකුණාමලේ ආනන්ද

 

Comments