නිවැරැදි කරන්න පුළුවන් නම්... | Page 3 | සිළුමිණ

නිවැරැදි කරන්න පුළුවන් නම්...

 පිහිටීම අතින් විතරක් නෙමෙයි භූගෝලීය විෂමතා අතින් බැලුවත් අපේ රට සුවිශේෂයි. ලස්සනයි. තෙත්, වියළි සහ අර්ධ ශුෂ්ක කියලා කලාපවලට බෙදුවත් අපේ රටේ හැම තැනටම වැස්සෙන් මහ අහේනියක් නැහැ‍. ඉඳලාමත් පායන මහා පෑවිල්ලක් ඇරෙන්න කන්න දෙක වගා කර ගන්න අපට ඇති වෙන්න අහස් දිය ලැබුණා. ඒත් ‍දැන් ටික කාලෙක ඉඳන් අපේ රටේ සමහර පළාත්වලට අහස් දිය කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් වෙලා.

රටේ එක පැත්තක පොළොවේ පැලි වළං පැලෙද්දී තවත් පැත්තක් අඩි ගාණක් යට වුණා. ඔව්. අපේ රටේ සංචාරය කරන බොහෝ විදේශිකයෝ කියන දෙයක් තමයි පැය කිහිපයක් ඇතුළත දේශගුණයේ මේ තරම් වෙනස්කම් දකින්න ලැබෙන තවත් රටක් නැති තරම් කියන එක. දහදිය වැගිරෙන කොළඹ ඉඳන් පැය දෙක තුනකින් සීතලේ වෙවුලන නුවර එළියට යන්න පුළුවන්. ඒ තමයි අපේ රට.

දැන් රටේ බොහෝ ප්‍රදේශවලට නියං ආධාර දෙන්නත් පටන් අරගෙන. වතුර කියන්නේ කොතරම් වටිනා සම්පතක්ද කියන එක තේරෙන්න එ් වගේ පැත්තකට යන්න ඕනේ. ඒත් තාමත් අපි බහුතරයකට ඒ බව තේරිලා නැහැ.

ඕනෑම ස්වභාවික විපතකදී මිනිස්සු කෙරෙහි අවධානය යොමු වෙන තරමටම අමතක කරලා දාන පිරිසකුත් ඉන්නවා. ඒ තමයි සත්තු. මිනිස්සු තමන්ගේ ගැටලුවලට කොහොම හරි විසඳුම් සොයා ගන්නවා. එහෙම නැතිනම් ආණ්ඩුව හරි ස්වේච්ඡා සංවිධාන හරි ඔය කවුරු කවුරු හරි සංවිධානය වෙලා මිනිස්සුන්ට පීඩාවෙන් ගොඩ එන්න නොයෙක් උපකාර කරනවා. ඒත් සත්තු. එයාලා දන්නේ සොබාදහමත් එක්ක ජීවත් වෙන්න. ඉතින් සොබා දහම අකාරුණික වුණාම එයාලට කාගේ සරණක්ද?

පහුගිය දවස්වල යාල පැත්තේ සංචාරයක යෙදෙන්න අවස්ථාව ලැබුණා. හැම තැනම වියළී ගිය කුඩා වැව්, දිය පාරවල් අතර කණාටු වුණු ගස්. මේ ගස් යට තියෙන හෙවනට හෙවනක් කියන්න බැහැ. ඒත් ඔවුන් ඒ හෙවන යට නිවනක් හොයනවා. වැඩියෙන්ම දුක හිතෙන්නේ පුංචි දරු පැටව් දැක්කම. මව්වරු සහ කුඩා දරුවෝ මේ කණාටු හෙවන යටට වෙලා. අපිව දැක්කත් ඔවුන් බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තුළ මිනිසුන් දැක්කම ඇති වෙන්නේ කන්න මොනවා හරි ලැබෙයි කියන බලාපොරොත්තුව. ඒක හරිම භයානකයි. මොකද ඇතැම් මිනිස්සු වන ගත වෙන්නේ වනාන්තරයේ සුන්දරත්වය නරඹන්න විතරක්ම නොවෙන නිසා.

වන සත්තු ස්වභාවයෙන්ම මිනිසා සැක කරන සුළුයි. ඔවුන් කරන්නේ මිනිස්සු දැක්ක ගමන්ම පුළුවන් තරම් ඈතට යන එක. නැතිනම් මිනිසා නොසලකා හරින එක. ඒත් මේ සතුන් ඒ වෙනුවට මිනිසා විශ්වාස කරලා ඔවුන් ළඟට එන්න පටන් අරන්. මේ කියන්නේ දරු පැටවුන් පිරිවරාගෙන හිටි වල් ඌරු රංචු, මුව රංචු ගැන විතරක් නෙමෙයි. වල් අලි අතර මේ තත්ත්වය වැඩියි. අනික් අතට නියඟයෙන් වඩාත්ම පීඩාවට පත් වෙලා ඉන්න සත්තු අතර තමයි අලි ඇත්තු ඉන්නේ. රස්නය දරා ගන්න ඔවුන්ට ස්වභාවයෙන්ම අපහසුයි. ඒත් මොනවා කරන්නද? සොබාදහම ඔහොම තමයි. ඒත් අමතක කරන්න නරකයි. සොබාදහමට මෙහෙම නපුරු වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මිනිසාගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් බව. වැස්ස නොලැබෙන්න ප්‍රධාන හේතුව තමයි වන විනාශය. ඒකට වගකිව යුත්තේ මිනිසා.

කේඬෑරි වුණු ගස් යට මුවෝ. ඔවුන්ටත් ආහාර හිඟයි. නියඟය තදින්ම බලපාන ශාක භක්ශකයන් අතර ඔවුන් ඉදිරියෙන්. මාංශ භක්ෂකයන්ට මේ තත්ත්වය වාසියි. බිම කොළපාටක් පේන්න නැතිව ඔවුන් මොනවා කන්නද?

වැහි වළාකුලක් දැක්කම මොනරු නටනවාලු. පිල් විහිදාගෙන. ඒ වැස්ස ඔවුන්ට එතරම් සතුටක් ලබා දෙන නිසා. ඒත් මේ වියළි පරිසරයේ ඔවුන් ජීවත් වෙන්නේ හරිම පීඩාවෙන්. ඊටත් වැඩිය දුකයි හි‍‍ඳෙන්නට ඔන්න මෙන්න තියෙන වැව්වල ඉතිරි වෙලා ඉන්න මාළු ගැන. ඔවුන්ගේ ජීවිතයේ අවසන් දින කිහිපය ඔවුන් ගෙවාදමන්නේ මරණ රාශියක් මැද. ඒ අතරින් ‍කුමන මරණය ඔවුන් තෝරා ගනීවිද කියන්න බැහැ. ඒ කියන්නේ ඔවුන්ට තේරීමක් නැහැ. තියෙන්නේ මරණය ඔවුන් තෝරා ගැනීමක්. වැව් පිටියේ වතුර මොහොතින් මොහොත වියළෙමින් යනවා. ඒ කියන්නේ කොයි මොහොතක හරි වැව් වතුර අන්තිම බින්දුවත් හිඳුනාම ඔවුන්ට මැරෙන්න සිද්ද වෙනවා. මේ අතර ඉතිරි වූ බොර දියේ දිගු දෙපාවලින් ඇවිද යමින් වරින් වර හොට ඔබා මසකු බැගින් දැහැ ගන්නා නොයෙක් ජාතියේ පක්ෂීන්. වැව් ජලය හි‍‍ඳෙන්නට පෙර බොහෝ විට මේ තියුණු හොටකින් තම ජීවිතය කෙළවර කරන්න මසුන්ට සිද්ධ වෙන්න පුළුවන්. මේ අතර ඉතා දිගු දැල් අරගෙන වැව් දියේ ඉතිරි ජීවය දඩයම් කරන මිනිසුන්. ඔවුන්ගෙන් බේරීම නම් සිහිනයක්.

මේ මොන දෙයක් වත් වෙන්නේ නැහැ අහස ගුගුරා පොළොව පෙඟෙන්න වහිනවා නම්. ඇතැම් අභය භූමිවල සතුන්ට බොන්න තැන් තැන්වලට වතුර දමන බව අසා තිබෙනවා. එහෙම වෙනවා නම් කොච්චර හොඳද? ඔවුන් පිපාසය නිවා ගනීවි. ආහාර කොහොම වුණත්. ඒත් උචිතයා ජය ගන්නා කැලේ නීතියෙන් බේරෙන්න නම් අහසට කාරුණික වෙන්නම සිද්ධ වෙනවා.

ඒත් ඉතින් කෝ වැස්ස. එතනදී අපට පුළුවන් සත්තු වගේම බලාගෙන ඉන්න විතරයි. සොබා දහම දැන් ඉතින් ඇති නේද? අපි එහෙම කියන අතර අනික් පැත්තට අපිවම ප්‍රශ්න කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? අපි සොබාදහමට කංකෙඳිරි ගානකොට සොබාදහම ඇඟිල්ල දිගු කරන්නේ අපට. වැස්ස වහින එක හොඳයි. ඒත් එතකොට අනවසර සහ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ඇතිවෙන ගං වතුර, නාය. වන විනාශය නිසා ඇතිවන නියඟය. මේවා සොබාදහමේ වැරදි නෙමෙයි. අපේම වැරදි.

එක කාලෙකදි සංවර්ධනය කියලා එක දිගට කැළේ කප කපා ගොඩනැගිලි හැදුවා. මහා මාර්ග ඉදි කෙරුණා. සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වුණා. එහෙම ගිහින් ආපස්සට හැරිලා බලනකොට තමයි පේන්නේ සොබා දහම ඒවට උත්තර දෙන්න පටන් අරන් කියලා. එතනදී කියනවා තිරසාර සංවර්ධනය කියලා. ආයෙමත් අලුතෙන්. හරි. අපිත් කැමතියි හැම දෙනාටම සාධාරණයක් වෙන පසුබිමකට. මිනිසා විතරක් නෙමෙයි, වන සතුන්, ගහ කොළ, සොබා දහම පවා. එවැනි පසුබිමක එක් පිරිසක් විතරක් වැරදි කාරයන් හෝ පීඩිතයන් වෙන්නේ නැහැ. හැමෝම සමානයි. හැමට සාධාරණය ඉශ්ට විය යුතුයි.

එහෙම පසුබිමක් ඇති වෙන්න නම් ඉස්සෙල්ලාම නිවැරදි වෙන්න ඕනෙ කවුද? කවුරුවත් නෙමෙයි අපි. අපි සොබ‍ාදහමට සාධාරණ වුණොත් සොබාදහම කවදාවත් අකාරුණික වෙන්නේ නැහැ.

යුග ගණනාවක් ගත වුණා තමයි. ඒත් අපට පුළුවන් දැන් ඉඳන් මේ වැරැද්ද නිවැරැදි කරන්න. අඩුම ගාණේ අපේ තරුණ පරම්පරාවට පුළුවන් නම් සොබාදහමත් එක්ක ජීවත් වෙන්න.

ඔව්. ඒක තමයි කරන්න තියෙන සුදුසුම දේ. තරුණ පරම්පරාව කියන්නේම හැම තිස්සේම වෙනසක් කළ හැකි කොට්ඨාසය. අලුතින් හිතන්න පුළුවන් සහ ඒ අනුව වැඩ කරන්න පුළුවන් ඔවුන්ට. අවශ්‍ය කරන්නේ ආකල්පම වෙනසක් විතරයි. දැනෙන විදිහට නම් අපේ තරුණ පරපුර ආපසු හැරෙන්න අකමැති පිරිසක් නෙමෙයි. එහෙනම්, මේ මොහොතේ ඉඳන් පටන් ගත්තත් පරක්කු වැඩි නැහැ.

සටහන සහ ඡායාරූප
ටිරෝනි වෑවලගේ

Comments