බදු සහන සිදුරු නිසා වසරකට කෝටි 25,000ක් මකර කටට | Page 2 | සිළුමිණ

බදු සහන සිදුරු නිසා වසරකට කෝටි 25,000ක් මකර කටට

බදු සහන පිරිනැමීමේ පවතින අක්‍රමවත් බව නිසා වසරකට රුපියල් කෝටි විසි පන්දහසක ඍජු බදු ආදායමක් රජයට අහිමි වන බව මහා භාණ්ඩාගාරය ගණන් බලා තිබේ. මෙය දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කි.

විවිධ ආයෝජන හා නව ව්‍යාපාර සඳහා රජය හා පෞද්ගලික අංශයේ සමාගම්වලට ලබාදෙන බදු සහනවල මෙම අක්‍රමවත් බව පවතී.

රටේ වක්‍ර බදු ආදායම් ලැබීම්වලට වඩා ඍජු බදු ආදායම් ලබා ගැනීම් සඳහා පියවර ගත යුතු බවත්, නව ආදායම් පනත ගෙන එනුයේ ඒ අනුව බවත්, මේ පනත නිසා ඍජු බදු ආදායම් අහිමි වීම මඟ හැරී අක්‍රමවත් බවට විසඳුමක් ලැබෙන බවත් මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 “රජය අලුතින් හඳුන්වා දෙන බදු පනත නිසා රටේ ඍජු බදු ආදායම් ලැබීම් ඉහළ යනවා. දැනට රටට අහිමි වන රුපියල් කෝටි 25000 ක නැතිනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක ප්‍රමාණයක් වන ඍජු බදු ආදායම් ලැබීම ඉහළට එනවා. මේ නව පනතින් රටට හිමිවන විශාල වාසියක් බව ද මහාභාණ්ඩාගාරයේ උසස් නිලධාරියා පෙන්වා දුන්නේ ය.

“නව බදු පනතින් ආයෝජන දිනා ගන්නට සහන ලබාදීලා තිබෙනවා. නව රැකියා බිහිකරන, රටපුරා විසිරුණු කාර්මිකකරණයකට ඉඩකඩ සලසා ගන්නා ආයෝජනවලට තමයි ඉන් මූලිකත්වය ලබාදීලා තියෙන්නේ.”

“උතුරු - නැගෙනහිර පළාත්වල අලුත් ආයෝජන සිදු කරන අයට තම මූලික ආයෝජන යටතේ මිලදී ගන්නා, ගොඩනඟන උපකරණ, යන්ත්‍රෝපකරණවල ක්ෂයවීම්වලට ගණන් බලා සමාගම් බදු ආදායමින් නිදහස් කිරීමක් කර තිබෙනවා” ඔහු කීය.

Comments