මුග්ධ ක්‍රීඩාලෝලයන්ගේ ගොන් පාට්... | සිළුමිණ

මුග්ධ ක්‍රීඩාලෝලයන්ගේ ගොන් පාට්...

තාර්තික බුද්ධිමතුන්ගේ නිහඬතාව මුග්ධයන්ට පාරාදීසයක්වන වටපිටාවක ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව තවත් බොහෝ දෑ බිඳ වැටී ඇති බව පැහැදිලිය. මරාගෙන මැරෙන කප්පරක් ප්‍රශ්න තිබෙන වටපිටාවක ක්‍රිකට් තරග පරදින්නට නුවරට එන්න එපා යැයි මෝඩ රැලක් උඩුබිරූ අයුරු ඉන්දු - ලංකා පළමු එක්දින තරගයේදී දඹුල්ලේදී ඇසුවෙමු. දුටුවෙමු. තරගයක ජය පරාජය විඳ දරාගැනීමට නොහැකි මෝඩයන්ගෙන් ලාංකේය ක්‍රීඩාවට පමණක් නොව සමාජයටවත් ශත පහක දායකත්වයක් හෝ සේවයක් වෙතැයි නොසිතමු. කතරගම දෙවියන් පසුගිය දිනක දේවාලය තුළ සිරකර ඉබි යතුරු දමා පුද පූජා පවා පවත්වන්නට නොදී කපුවකු කළ අලකලංචියකින් රටම ඇවිළිණි. කතරගම දෙවියන් ලාංකේය ජනමාධ්‍ය මවන තරම් බලවත් නම් මෙවැනි අලකලංචිවලට මුහුණදීමට සිදුවනු ඇද්ද? කොටින්ම දොරගුළුලා හරි මෙවැනි මෝඩ මුග්ධයන් ගෙන් තොරව සිටි පැය කිහිපය තමන් නිදහසේ සිටි පැය කිහිපය හෝ දිනය ලෙස කතරගම දෙවියන් සිතුවේ නම් අපි ඒ ගැන පුදුම නොවෙමු.

දඹුලු මත දැක්ම අනුව ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන කුක්ලා දැන් පිළිල බවට පත්ව තිබේ. අද ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව දුවන්නේ පුහුණුකරුවාට හෝ කණ්ඩායමට අවශ්‍ය ආකාරයකට නොවන බව පැහැදිලිය. මේවා වැඩි දුරටත් හෙලිදරව්වනවාට අකැමැති පාලකයෝ මාධ්‍යයට සීමා බාධක තර කිරීමට පෙළඹීම දක්වාම ඔවුන්ගේ ටිකිරි මොළ බංකොලොත්ය. ලාංකේය ක්‍රිකට් පරාජයන්ට ක්‍රීඩකයන්ම පලි නැති බව සිදුවීම් පෙළ ගැසෙන ආකාරය දෙස විමසිලිමත්වීමේදී පැහැදිලිය. කුක්ලා කල්ලියට අවශ්‍යව ඇත්තේ මෙකී පරාජයන් අවියක් ලෙස ගෙන ක්‍රීඩකයන් පාලනය කිරීමට ඇවැසි කෙවිට අතට ගැනීමටය.

ක්‍රීඩකයන් කිහිපදෙනකු හැර මේ ගෙවෙන මොහොතේ හැකියාවන්ගෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායම මෙය බව බැහැර කළ නොහැකිය. එසේ නම් මේ පසුබෑමට ක්‍රීඩකයන් පමණක් හේතුවන බව අපි බැහැර කරන්නෙමු. මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම නැගිටීමට වෙර දරමින් සිටින අවදියකි. එයට ඇවැසි දේ දන්නේ පුහුණුකරුවන් හා ක්‍රීඩකයන්ය. තමන්ගේ අඩුපාඩු සකසා ගෙන නැගී සිටිය යුතු ආකාරය දන්නේ ද ඔවුන්මය. ප්‍රවීණයන් සහ නවකයන් ගේ මනා සංකලනය ජයග්‍රහණයට මඟය. මෙය මඟහැර ගොස් ජය ගැනීමට සිතීම මුළාවකි.

ෂිකර් ධවාන්ගේ ප්‍රකාශයට අනුව අද මාලිංග වයසකය. මාලිංගගේ මැජික් වූයේ වේගය සහ යෝකර් පන්දුවය. මාලිංගට මුහුණ දෙන ධවාන් ප්‍රකාශ කරන ආකාරයට අද ඒ මැජික් නැත. වේගය නැති යෝකර් පන්දුව ලැබෙන්නේ පිත්තටමය. පිත්තටම ලැබෙන පන්දුවට කළ යුතු දේ ධවාන් වැනි පිතිකරුවන් දනියි. මේවා තේරුම් ගෙන හෙටට සූදානම් වීමට අසමත් වන්නේ නම් ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්, සිම්බාබ්වෙන් පමණක් නොව තවත් රටවලින් පරාජයවීමට සිදුවනු ඇත.

Comments